මගේ දරුවා හැමදාම ”Bully” වෙනවා… මොකද මේකට කරන්නේ….?

අතීතයේදීට වඩා අද වන විට දරුවෝ අතර ගැටුම්කාරී තත්ත්ව දකින්නට ලැබෙන අවස්ථා වැඩි වී ඇති දැයි බහුතරයක් දරුවන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව සිතෙනවා. දරුවන් යනු හරි වැරැද්ද කුමක්ද යන්න
තර්කානුකූලව සිතීමට ඇතැම්විට අපහසු පිරිසක් වුවත් මෙවැනි ක්‍රියා හේතුවෙන් තවත් දරුවෙක් පීඩනයට පත්වීම එම දරුවාගේ පෞරුෂ වර්ධනයට විශාල පහරක් වන නිසාම මෙවැනි තත්ත්වයන් නොසලකා හැරීම නුවණට හුරු නොවේ. දිනපතා ඔබේ දරුවා කුමක් හෝ දෙයක් ගැන ඔබට පැමිණිලි ගෙන එනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම දෙමාපියන් වන ඔබේ වගකීමයි.

”Bully” වෙන දරුවා වෙනුවෙන් ඔබ කළ යුත්තේ කුමක්ද?

පළමුවෙන්ම දැනුවත් දෙමාපියන් ලෙස ඔබ කලබලයට පත්වීමට වඩා කළ යුතු වන්නේ තත්ත්වය පිළිබඳව දරුවා කරන පැමිණිල්ලට සාවදානව සවන් දීමෙන් මේ ගැටලුව දරුවාටම විසඳා ගත හැකි තත්ත්වයේ පවතිනවාද යන්න අවබෝධ කරගැනීමයි. දරුවෙකුට මෙවැනි තත්ත්වයක් තනිව විසඳා ගැනීමට හැකිද යන්න තීරණය වන්නේ අදාළ දරුවාගේ ස්වභාවය අනුවයි.

යම් දරුවෙක් තම කාර්යයන් පිළිබඳව තනිව තීරණ ගැනීමට සමත් ස්වාධීන, ස්වඅභිමානයක් ඇති  විශ්වාසයක් ඇති එමෙන්ම තම කාර්යයන් තනිව කරගත හැකි දරුවෙක් නම් වැඩිහිටි ඔබේ මග පෙන්වීම හෝ ඉතා සුළු උපදෙසක් මගින් ගැටලුව නිරාකරණය කර ගැනීමේ හැකියාව ඔහු සතුය. නමුත් යම් දරුවෙක් බියසුලු, මෙවැනි අවස්ථා  මගහරින අතම ශක්තිට හීන දරුවෙක්  දරුවෙකුට මෙවැනි තත්ත්වයක් තනිව නිරාකරණය කරගැනීම අපහසු නිසා වැඩිහිටි ඔබේ  සහයෝගය අත්‍යවශ්‍ය වේ. එසේ නොවන්නට එවැනි දරුවෙක් මෙවැනි තත්වයකට දිගින් දිගටම  මානසික ව්‍යාකුලත්වයකට වුවද පත් විය හැකිය. නමුත් මෙතැනදී වැදගත් වෙන තවත් කරුණක් වන්නේ එවැනි පෞරුෂත්ව ඌනතා ඇති දරුවෙක් මෙවැනි අවස්තාවක් තනිව කළමනාකරණය කර ගත හොත් එය ඔහුගේ ජිවිතයේ ලබන විශාල ජයග්‍රහණයක් වන බවයි. මන්ද ඔහු ඒ හරහා ලබන අත්දැකීම තුලින් ඔහුට මනා පෞරුෂයක් ගොඩ නඟා ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ගොඩ නැගෙනු ඇත.

මෙවැනි තත්ත්වයක් පිළිබඳව ඔබේ දරුවා මැසිවිලි නඟන්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රචණ්ඩත්වය යොදා නොගන්නා ලෙස දරුවාට අවබෝධ කරවන්න. මෙවැනි තත්ත්වයක් ගුරුවරයා/පාසැල හෝ සමග ඉතා සහයෝගයෙන් විසඳා ගත යුතුයි.

සාමාන්‍යයෙන් ඇතැම් දරුවන් එනම් වින්දිතයා බවට පත්වන දරුවන් මෙවැනි අවස්ථා මග හැරගන්නට දක්ෂ වෙනවා. ඒ ඔවුන්ගේ සමාජ සන්නිවේදන හැකියාවන් ඉහල නිසයි. තමා bully වෙන අවස්ථාවකදී ඒ වෙනුවෙන් තම දැක්විය යුතු ප්‍රතිචාරය කුමක්ද කියා ඔවුන් වටහා ගන්නවා. එවිට ඔවුන් එවැනි අවස්ථාවකදී පෙරලා ලබා දිය යුතු ප්‍රතිචාරය පිළිබඳව දැනුවත්.  මෙවැනි අවස්ථාවකදී ප්‍රතිචාර දක්වන ආකාර ක්‍රම තුනක් යටතේ විස්තර කල හැකියි. එනම් තමාට දක්වන පීඩාකාරී තත්වය හමුවේ,

  1. කිසිවක් නොකිරීම (Passive Approach)

මෙහිදී සිදුවන්නේ මොන දේ කීවත් කළත් කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමයි. මේ ප්‍රතිචාරය හමුවේ පීඩා කිරීම නතර වන්නත්, අඩු වන්නත් වැඩි වන්නත් පුළුවන්. අසාර්ථක විය හැකි ක්‍රමයකි.

  1. ප්‍රචණ්ඩ වීම (Aggressive)

මෙහිදී ප්‍රති ප්‍රහාර එල්ල කිරීම මගින් තත්ත්වයට විසදුමක් බලාපොරොත්තු විය හැකියි. මෙය සුදුසු ක්‍රමයක් නොවේ.

  1. Assertiveness

මෙවැනි තත්ත්වයකදී ප්‍රතිචාර දැක්වීමට සුදුසුම ක්‍රමය ලෙස Assertiveness දැක්විය හැකියි.

” ඔයා ඔය වගේ දේවල් මට කරන එක ගැන මගේ කිසිම කැමැත්තක් නැහැ. ඒ නිසා කරුණා කරලා මේ දේවල් නතර කරන්න”

මේ ක්‍රමය ප්‍රතිචාර දැක්වීමේදී සිදුවන්නේ වින්දිතයා විසින් අදාළ පුද්ගලයාගේ ඇස් දෙස ඍජුව එක එල්ලේ බලා, කොන්ද ඍජුව තබා ගනිමින් තම හැඟීම් පාලනය කරගනිමින් ස්ථාවරව උපේක්ෂාවෙන් බලයක් නොයොදා එක එල්ලේ අවශ්‍ය දේ ප්‍රකාශ කිරීමයි.

සාමාජ සන්නිවේදන හැකියාව ඉහළ මනා පෞරුෂයක් ඇති දරුවෙකුට මේ ක්‍රමය උපයෝගී කරගනිමින් මේ තත්ත්වය මගහරින්න පහසුයි. එවැනි දරුවන්ට වැඩිහිටි ඔබෙන් මානසික සහය මෙන්ම ආත්ම ශක්තිය නැංවීමට අවශ්‍ය සහය හිමි විය යුතුය.

ඇතැම් විට ඔබේ දරුවා මනා සමාජ සන්නිවේදන හැකියාවන් අවම දරුවෙකු නම් දෙමාපියන් වන ඔබට මෙවැනි තත්ත්වයකදී පැවරෙන වගකීම ඉහළයි. එවැනි අවස්ථාවකදී ගුරුවරයා/පාසැල මාර්ගයෙන් හෝ ගැටලුව නිරාකරණය කොට දී දරුවා මේ පීඩනයෙන් මුදවා ගත යුත්තේ මෙවැනි තත්ත්වයක් දිගින් දිගටම සිදුවීම දරුවාගේ ජිවිතයට පවා බලපෑම් කල හැකි බැවිනි.

ඔබ, සැමවිටම ඔබේ දරුවාට සවන් දෙන්න. මන්ද ඔබ සමග දරුවා යමක් පවසන්නේ මව/පියා වන ඔබව දරුවා විශ්වාස කරන නිසාමය. ඔබෙන් යම් විසදුමක් තම ගැටලුවට ලැබෙන බවට විශ්වාසයක් දරුවා තුල තිබෙන නිසාමය. දරුවෙන් මව/පියා සමග යමක් පවසන්නේ තම හැඟීම් මුදා හැරීමටයි. ඒ හැඟීමට වටිනාකමක් ලබාදීම තුළින් ඔවුන් මව/පියා කෙරේ විශ්වාසයක් ගොඩනඟා ගන්නවා. එසේ නොවීමෙන් නව යොවුන් වියට එළඹීමත් සමගම දරුවන් තමාට විශ්වාසය ගොඩ නඟා ගත හැකි වෙනත් අයෙක් සොයා යාමට පෙළඹිය හැකියි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here