- Advertisement -

මවු ඇතිදාටත් සෙනෙහස පුදනා මවු නැතිදාටත් තුරුලේ රකිනා තාත්තා

-

දරුවන් ගේ මනා සංවර්ධනයට සහ යහපත් පෞර්ෂයයක් ගොඩ නැගීම සඳහා මව පියා යන දෙදෙනාගේ ම දායකත්වය අවශ්‍යය වේ. පවුලක් තුළ පියා ගේ කාර්යය ”බත සරි කිරීම” පමණක් නොව දරුවන් ගේ අධ්‍යාපනයේ දී , ආරක්ෂාව සැපයීමේ දී සහ දරුවන් විනයානුකූලව සාදා ගැනීමේ දී පියා ගේ භූමිකාව ඉතා වැදගත් වේ. එක් එක් වර්ධන අවධියේ දි පියාගේ භූමිකාව සහ කාර්යය භාරය විවිධාකාර වේ.

අලුත උපන් බිළිඳා සහ තාත්තා

- Advertisement -

දරුවාගේ ජීවිතයේ මුල් වසර කිහිපය තුළ දී, පියා ගේ සෙනෙහස සහ රැකවරණය ලැබීම, සුරක්ෂිතභාවය සහ ස්ථාවරභාවය පිළිබඳ හැඟීම් දරුවා තුළ ජනිත වීම සඳහා උපකාරී වේ. දරුවාගේ හැඬීමට හෝ අන් සංඥවලට ප‍්‍රතිචාර ලබා දීම මගින් දරුවා පියා සමග සුරක්ෂිත සම්බන්ධතාවයක් ගොඩනගා ගනු ලබයි. පියා තමාට ආදරය, අස්වැසිල්ල ලබා දෙන කෙනෙක් ලෙස දරුවා සැලකීමට පටන් ගනී. පියවරුන් මවුවරුන්ට වඩා ශාරීරික උත්තේජන ලබා දෙන බැවින් අලුත උපන් දරුවන් බලා ගැනීමේ දී පියවරුන් ද එම කාර්යය ට සම්බන්ධ කර ගැනීම දරුවන්ගේ සංවර්ධනය ප‍්‍රශස්ත මට්ටමෙහි තබා ගැනීමෙහිලා අතිශයින් වැදගත් වේ. එනම් අලුත උපන් දරුවා සමග කටයුතු කිරීමේ දී මව පියා යන දෙදෙනාගේම සහභාගිත්වය ලැබීම තුලින් වඩා තෘප්තිමත්, සාර්ථක සහ විනීත දරුවන් බිහි වේ.

සිඟිත්තන් සහ තාත්තා

සිඟිති සිත් කුතුහලයෙන් බහුල යි. ඔවුන් දැඩි විපරමෙන් යුතුයි, ගවේෂණශීලීයි. මෙම අවධියේ දරුවාගේ පියා ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ නියමුවා වෙයි. දරුවාගේ ගවේෂණයන් ට සහය දීම සේම දරුවාට අවශ්‍යය නීති රීති, සීමා පැණවීම ද මෙම අවධියේ දී පියාගේ කාර්යභාරය වේ. පියවරුන් මෙම අවධියේ දී දරුවාගේ සෙල්ලම් සගයා වීම ඉතා වැදගත් වේ. සාමාන්‍යයයෙන් පියවරුන් දරුවන් සමග රළු කී‍්‍රඩාවල යෙදීමට කැමැත්තක් දක්වයි. එසේ ම අභියෝගාත්මක දෑ කිරීමට දරුවා පොළඹවයි. මෙය දරුවා තුළ ආත්ම විශ්වාසය ගොඩ නැගීම සඳහා ඉවහල් වේ. එසේම දරුවාට ඇති වන ගැටලු තනිවම විසදාගැනීමේ හැකියාව දියුණු කිරීමට ඉවහල් වේ. එසේම දරුවාට තමා තුළ පවතින ශක්තීන්, කුසලතාවන් පිළිබඳ අවබෝධය දියුණු වේ. එසේම පියා දරුවා සමග සමීපව කටයුතු කිරීම නිසා දරුවන් පහසුවෙන් සමාජයීය සහ භාවාත්මක සම්බන්ධතා ගොඩ නගා ගනියි.

පාසල් දරුවන් සහ තාත්තා

පියවරුන් අභියෝග සඳහා දරුවන් හුරු කරයි. එසේම අභියෝගවලට මුහුණ දීමට දරුවන් පොළඹවයි, දිරිමත් කරයි. ඔවුන්, දරුවන් තුළ ප‍්‍රමෝදය පෙළඹවීම ඇති කරයි. දරුවන් තම ක‍්‍රියාවන්හිදී පියාගේ අනුමැතිය අපේක්ෂා කරයි. පියවරුන් දරුවන් ට තනිව වැඩ කිරීමට අවස්ථාව ලබා දෙයි. මේ තුලින් ඔවුනගේ ආත්මවිශ්වාසය සහ ආත්ම අභිමානය ගොඩ නැගේ. දරුවන් සාරධර්ම සමාජ හරයන් ඉගෙන ගනුයේ දෙමාපියන් තුලිනි. මෙම නිසා විශේෂයෙන්ම දරුවන් ඉදිරියේ දී යහපත් චර්යාවන් පෙන්වීම ඉතා වැදගත් වේ.

දරුවා ගේ ජීවිතයේ පියාගේ භූමිකා

මනා පෞර්ෂයයකින් හෙබි දරුවකු ගොඩ නගා ගැනීමේ දී පියාගේ භූමිකාව විවිධාකාර වේ. වරෙක ඔහු සෙල්ලම් සගයාය, වරෙක ගුරුවරයා නැතහොත් පුහුණුකරුවාය, තවත් විටෙක ආරක්ෂකයාය, සහචරයාය, ආදර්ශ සපයන්නාය නැතිනම් ගෘහ මූලික නොහොත් ප‍්‍රතිපාදකයා ය. මෙම සෑම භූමිකාවක්ම මනා පෞරෂයයකින් හෙබි දරුවකු ගොඩ නගා ගැනීමේ දී අතිශයින් වැදගත් වේ.

සෙල්ලම් සගයා ලෙසින් – නැලවිලි ගී ගැයීම, කතාන්දර කීම වැනි දෑ මවුවරුන් ගේ කුසලතාව වන අතර ශාරීරිකව වෙහෙසකර කි‍්‍රයාවන්හි යෙදීම පියවරුන් ගේ කුසලතාව වේ. කුඩා කල අස්සයා පිට යාම, ලූණු ගෙන යාම, බයිසිකල් පැදීම, බෝල ගැසීම වැනි දෑ කිරීමේ දී සහ නව යොවුන් වියෙහි දී වීඩියෝ කී‍්‍රඩා කිරීමේ දී පියවරුන් කදිම සෙල්ලම් සගයන් වේ. මෙය මිතුරුකම් ඇති වන මූලික අවස්ථාවයි. දරුවා සමඟ සෙල්ලමෙහි යෙදීම ට පියා කාල වෙලාව වෙන් කර තබා ගැනීම ඉතා වැදගත් වේ. සාමාන්‍යයෙන් පියවරුන් නිහඬ චරිත බැවින් කී‍්‍රඩාව දරුවා සමඟ සන්නිවේදනය පවත්වා ගැනීමේ මාර්ගයක් වේ. දරුවා ට බෙදා හදා ගැනීම ජය පරාජය දරා ගැනීම වැනි ජීවිතය පිළිබඳ පාඩම් කියා දීමට මෙය අවස්ථාවක් වේ.

ගුරුවරයා නැතහොත් පුහුණුකරුවා ලෙසින් – ඉගැන්වීම නැතහොත් පුහුණු කිරීම යනුවෙන් මෙහි අදහස් කරනුයේ ජීවණ කුසලතා පුහුණු කිරීම යි. ඔවුන් වැඩිහිටිවියේ දී ද ඔබ ඔවුනට බයිසිකලය හුරු කළ බව, ඔවුන් සමඟ කි‍්‍රකට් ගැසූ බව සතුටින් සිහිපත් කරනු ඇත. එසේම ඔබ ඔවුනට අභියෝග දුන් බව, අභියෝග කළ බව, පරාජයන් හමුවේ දිරිමත් කළ බව ඔවුන් සිහිපත් කරනු ඇත. පියවරුන් තුල තම දරුවන් පිළිබඳ ඉහළ අපේක්ෂාවන් පවතී. එම නිසාම ඔවුන්ව විශිෂ්ඨත්වය දක්වා රැගෙන යාමට පියවරුන් පෙළඹේ. මෙය උපක‍්‍රමිකව සිදුකළහොත් ඔබේ සිතැඟි හඳුනන ඒවා සඵල කිරීමට පෙළඹවීමක් ඇති දරුවෙක් ගොඩ නැගේ. එසේ වුවද ඔබේ බලාපොරොත්තු සිතැඟි තුල දරුවා සිර කිරීම යුතු නොවේ. එම නිසා සාර්ථකත්වය සඳහා පෙළඹවීම සහ දරුවාට දරුවා ලෙසින් ගොඩ නැගීමට දීම යන කාරණා දෙකම සමතුලිතව පවත්වා ගැනීම වැදගත් වේ.

ආරක්ෂකයා ලෙසින් – පුරුෂ පක්ෂය සාමාන්‍යයෙන් ආරක්ෂාව පිළිබඳව වඩා සැලකිලිමත්ය. ඔවුන් හොඳ ආරක්ෂකයන්ය. එම නිසා පියවරුන් බාහිරයෙන් තම දරුවන්ට පවුලට සිදුවිය හැකි අනතුරුවලින් වලක්වා ගැනීම සඳහා පවුලට සිටිනා වටිනාම ආරක්ෂකයාය. එසේම ස්වභාවයෙන්ම උරුම වූ වඩා ශක්තිමත් ස්වරූපය නිසා දරුවන් පියවරුන් ආරක්ෂකයන් ලෙස දකියි. දරුවන්ට අවශ්‍ය අවස්ථාවල දී ආරක්ෂා ව සැලසීම සේම දරුවන් ට අනතුරුවලින් ආරක්ෂා වන ආකාරය උගැන්වීම ද වැදගත් වේ. යහළුවන් අතර ඇති වන ගැටුමක දී ක‍්‍රියා කළ යුතු ආකාරය, ආරක්ෂිත සහ අන්තරායකාරී දෑ, ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස අවදානම් ගැනීම ආදිය පිළිබඳ ව දරුවා දැනුවත් කර තැබීම වැදගත් වේ.

සහචරයා ලෙසින් – පියවරුන්ට දරුවන් සමඟ ගත කිරීමට ඇති කාලය බොහෝ විට සීමිතය. එම නිසාම මෙම ලැබෙන කෙටි කාල සීමාව ගුණාත්මක ලෙස ගත කිරීම ඉතා වැදගත් වේ. එසේම දරුවාගේ විශේෂ අවස්ථා වලදී (නිවාසාන්තර කී‍්‍රඩා උළෙල, පංති කව වැනි) ඒ සඳහා කාලය වෙන් කරවා ගැනීම ද අතිශයින් වැදගත් වේ. දරුවා සමඟ ගුණාත්මකව කාලය ගත කිරීම දරුවා සමඟ ශක්තිමත් සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට උදව් වේ.

ආදර්ශ සපයන්නා ලෙසින් – දියණියකට තම ජීවිතයේ පළමු පරිපූර්ණ පිරිමියා ඇයගේ පියා ය. ඇය තම පියාගෙන් තමාට ලැබෙන ගෞරවය අනෙකුත් පිරිමින්ගෙන් ද බලාපොරොත්තු වෙයි. තම අනාගත ස්වාමිපුරුෂයා තුල පියා ගේ ගති ගුණ සොයයි. පුතෙක් තම පියා දෙස බලා වැඩෙයි. ඔහු ව අනුකරණය කරයි. පියා අනෙක් පුද්ගලයන් සමඟ ගනු දෙනු කරන ආකාරයට ගනු දෙනු කරයි. දිනපතාම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ දරුවන්ට ආදර්ශ සපයයි. එම නිසා දරුවන් ඉදිරියේ වගකීමෙන් හැසිරෙන්න.

ගෘහ මූලික නොහොත් ප‍්‍රතිපාදකයා ලෙසින් – වගකීමෙන් කි‍්‍රයාකිරීම සහ ආර්ථික වශයෙන් ස්වාධීන වීම පිළිබඳ දරුවන් දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. ඉහත කී කාර්යයන් මවුවරුන් විසින් ද සිදුකෙරුන ද පියවරුන් විෂයෙහි මෙම කාර්යයන් ඉතා වැදගත් වේ. දරුවන් ස්වාධීන පුද්ගලයන් කිරීමේ දී පියා ගේ කාර්යය භාරය සුවිශේෂී වේ. පියාගෙන් ලැබෙන කුසලතාවන් දරුවා ස්වයංපූරිත කිරීමට ද, විනීත වීමට සහ ශක්තිමත් වීමට ද උදව් වේ.

[කොළඹ 08, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා සහ නව යොවුන් විය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය අපේක්ෂා හේවාගීගන මහත්මිය විසින් සකස් කරන ලද ලිපියකි.]

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article