- Advertisement -

අපහරණයට ලක් වූ දරුවෙක්ට නොකිය යුතු මේ දේවල් ගැන ඔබ දැන සිටියාද?

-

මල් වගේ අපේ පුංචි දරුවෝ අපි රැක ගන්නේ අපේ ඇස් දෙක වගේ. ඒත් අපිට අත හැරෙන එක තත්ත්පරයකුත් මේ මල් කැකුලුවලට හානියක් සිද්ධ වෙන්න හොඳටම ඇති කියලා හිතෙන්නේ පුංචි දරුවන් මුහුණ දෙන එක් එක් ආකාරයේ හිරි හැර ගැන දවස ගානේ අසන්න ලැබෙන නිසයි. අපේ සමාජයේ වැඩිහිටියන්ට, හිතවතුන්ට ගරුකිරීම ආදරය දැක්වීම ඉතා හොඳ දෙයක් වුවත් ඇතැම් විට අපේ මේ පුංචි දරුවන්ට එය නරකට හිටින අවස්ථාත් එමටයි. මොකද මේ අපේ මල් කැකුළු වැඩිපුර මෙවැනි අපහරණයන්ට ලක් වෙන්නේ අපි හොඳින්ම දන්නා හඳුනන අපේම හිතවතුන් අතින්. එය හරිම ඛේදනීයය පුවතක්. නමුත් සමාජයක් විදියට අපේ දරුවන්ට සිදු විය හැකි මෙවන් ලිංගික පීඩා ගැන දැනුවත් වුනොත් මෙවැනි දේ අවම කරන්න අවස්ථාව ලැබෙනවා.

අපි නොහිතුවත්, විශ්වාස කල නොහැකි වුවත් පාසලේ ගුරුවරුන්, අචිචිලා සීයල, ඥාති සහෝදරයින්, පුජ්‍ය පක්ෂයේ ඇතැමුන්, මෙහෙකරුවන්, අසල වැසියන් විතරක් නෙවෙයි තමන්ගේම සහෝදර සහෝදරියන් වගේම තමන්ගේම දෙමාපියන් අතින් පවා දරුවන් ලිංගික අපහරනයන්ට ලක් වූ බවට සත්‍ය පුවත් අප වෙත ලැබී තිබෙනවා. මෙවැනි තත්ත්ව යටතේ මේ හය හතර නොදන්නා පුංචි දරුවෝ කොයි තරම් නම් අවසනාවන්තද කියා ඔබට වැටහෙනවා ඇති.

- Advertisement -

අපහරණයට ලක් වූ දරුවෙකුගේ පවුලක් අධ්‍යයනය කිරීමේදී පෙනී යන වැදගත්ම කරුණක් වන්නේ දරුවා අපහරණයට ලක් කල පුද්ගලයා (predators) එම පවුලට එනම් වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ටද ඉතාම වටිනා මෙන්ම අත්‍යවශ්‍ය අයෙකු බවටත් විශ්වාසනීය පුද්ගලයෙකු බවටත් පත්ව සිටි බවයි. එසේම මොවුන් තමා කෙරේ ආකර්ෂණයක් සහ ගරු කිරීමක් ඇති කර ගැනීමට (grooming) සමත් වනු ඇත. තවත් විදියකින් සිතුවොත් මෙවැනි පුද්ගලයින් දෙමාපියන්ගේ/පවුලේ දුරුවලතා හොඳි  වටහා ගෙන, ඒවා උදව්වෙන් මේ පුංචි දරුවන් වෙත ලංවෙනවා.

උදා : දෙමාපියන් නිතර ගැටුම් ඇති කර ගැනීම

මත්පැන් භාවිතය හුරුව සිටීම

දරුවන්ට සැමවිටම බැනුම් ගුටි බැට දෙන දෙමාපියන් වීම

සාමන්‍යයෙන් මෙසේ අපයෝජනයට ලක්වෙන දරුවෙකු ඒ පිළිබඳව තම වැඩිහිටියන්ට නොපවසන්නට හේතු කිහිපයක් තිබිය හැකියි. එකක් ලැජ්ජාව වන අතරම නිතර දරුවන්ට කෑකෝ ගසන දෙමාපියන්ගෙන් මේ සඳහා විසදුමක් නොලැබේය යන අවිශ්වාසය නිසාත් අපහරණයට ලක් කරන පුද්ගලයා විසින් මේ කරුණු හෙලි කල හොත් මරනවා/ දරුවාගේ ලගම කෙනෙක්ට හානි කරන බවට කියමින් දරුවා බියවද්දන  නිසාත් විය හැකියි. එසේත් නැතිනම් මේ සියල්ල දරුවාගේ අවශ්‍යතාවයට අනුව සිදු වූ බව පවසමින් දරුවා අන්ත අසරණ තත්ත්වයට පත් කරනවා විය හැකියි. මේවගේ සිදුවීම්වලදී මේ පුංචි දරුවෝ තම විසින්ම තමාව වැරදිකාරයා බවට පත්කරගනිමින් ජිවිත කාලය පුරාම දුක් විඳින තත්ත්වයට පත් විය හැකියි. මේ තත්ත්වය දරුවෙකුගේ මානසික සංවර්ධනයට විශාල බලපෑමක් ඇති කල හැකි අතරම දීර්ගකාලීනව පෞරුෂ වර්ධනයේ දුර්වලතා ඇති විය හැකියි.

දරුවන් අපහරණය ලක්වීම වලක්වා ගැනීමට නම්,

දරුවන්ට මේ සම්බන්ධව නිසි අධ්‍යාපනය ලබා දෙන්න

  • වයස අවුරුදු 2,3 සිටම දරුවන්ට තම සිරුරේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත යුතු ස්ථාන පිළිබඳව දැනුවත් කරන්න
  • එම ශරීර කොටස් කිසිවෙකුට ස්පර්ෂ කිරීමට ඉඩ නොදිය යුතු බවත් වෙනත් අයෙකුගේ සිරුරේ පෞද්ගලික ස්ථාන ස්පර්ශ කිරීමද නුසුදුසු බවත් වයසට සරිලන සරල බසින් දරුවාට කියා දෙන්න
  • එසේම මෙවැනි දෙයක් සිදු වුව හොත් බය නැතුව දෙමාපියන් වන ඔබට පවසන ලෙස දරුවට ආදරෙන් කියා දෙන්න.

තමන්ගේ දරුවා ගැවසෙන වටපිටාවේ සිටින්නන් සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබාගන්න.

උදාහරණයක් විදියට ළමයින්ගේ ඉස්කෝලේ ගුරුවරු සමග මෙන්ම යාළුවන්ගේ දෙමාපියන් සමගත් වඩාත් හොඳ සබඳතාවයක් ගොඩ නගාගෙන තමන් දරුවන් ගැන හොද අවදානයෙන් සිටින බව ඔවුන්ටත් දැනෙන්න සලස්වන අතරේම දරුවාට මේ සම්බන්ධව අවශ්‍ය දැනුම ඔබ ලබා දෙන බවට වටපිටාවේ සිටින යට ඒත්තු යන්නට ඉඩ හරින්න. හැම විටම දරුවන් සමග දවසේ විස්තර, ගුරුවරුන් සහ යාලුවන්ගේ විස්තර කතා කරන්න.

ඔබ දරුවන්ට සැර වැර කරන, ගහ බනින දෙමාපියෙක් නම් මෙවැනි අවස්ථාවකදී දරුවා ඔබ සමග කතා කිරීමට උනන්දු නොවිය හැකියි. විශේෂයෙන්ම ඔබ හැමදේකටම දරුවා වරදකාරයෙක් කරන මවක්/පියෙක් නම් ඔවුන් හැමදේම සිත තුල රඳවා ගනිමින් පිඩාවට පත්වනු ඇත. ඒ නිසා දරුවන්ට ආදරය, දයාව කරුණාව පාන මව්පියන් විය යුතු බව සිහියේ රඳවා ගන්න.

ඔබේ දරුවා අපහරණයට ලක්වුවහොත්

  • වහාම ළමා ආරක්ෂණ ආයතනයේ/පොලිසියේ සහය පතන්න
  • වෛද්‍යවරයෙකුට පෙන්වා අදාල පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගන්න.
  • දරුවා බියට/කලබලයට පත් කිරීමෙන් වැළකිය යුතු අතරම මේ සිදු වීම දරුවාගේ වරදක් නොවන බව දරුවාට වටහා ගත හැකි සරල බසකින් අවබෝධ කරවන්න
  • ඒවගේම දරුවා අත්වින්දේ ළමා මනස සලිත කරවන අත්දැකීමක් බවත්, එය සිදු නොවිය යුතු දෙයක් බවත්, මේගැන දෙමාපියන් වහාම ක්‍රියාත්මක වී දරුවා ආරක්ෂා කරන බවත් දරුවාට වැටහෙන සේ ආදරෙන් සහ ඉවසීමෙන් පැහැදිලි කරන්න.
  • සිදුවූ දෙය දරුවාගේ ආත්මගරුත්වයට සහ ආත්ම අභිමානයට කැළලක් නොවෙන්න වගබලාගන්නා බව දරුවාට පවසන්න.
  • කිසි විටක දෙමාපියන් දරුවාව තනි නොකරන බව දරුවාට ඒත්තු ගන්නන්න.
  • නව යොවුන් වියේ දරුවෙක් නම් ඔවුන්ට ගැටළු බොහොමයක් ඇති විය හැකි නිසා ළමා මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න

වැඩිහිටි ඔබ තරයේ සිතට ගත යුතු කරුණක් වන්නේ මේ සම්බන්ධව අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවීම ඔබේ දරුවා වසර ගණනක් පුරා අපයෝජනයට ලක්වීමටත් මානසිකව දරුණු ලෙස පහතට වටිමටත් හේතු වනු ඇත.

දෙමාපියන් ලෙස ඔබ නොකළයුතු දේ

ඔබේ දරුවා කුමන වයස් විමවේ වුවද මෙවැනි දේ දරුවාට පැවසීමෙන් වැළකිය යුතුය.

  • ඕක මොකක්ද? මට ඕවගේ දේවල් කොච්චර උනාද? ඕක අමතක කරලා දාන්න.
  • ආදරේට සෙල්ලමටනේ ඕක කරලා තියෙන්නේ
  • ඔයා කොච්චර නරක ළමයෙක්ද? මෙච්චර දෙයක් කරන කම්, ඔයා මොනවද කලේ
  • ඔයාගේ වරදින් තමයි මේවා උනේ, චික් කොච්චර ජරා වැඩක්ද කරලා තියෙන්නේ

ඉහත කියමන් අසන දරුවෙකුට ඇතිවෙන දරුණු ලැජ්ජාව සහ වේදනාව නිසාත්, දෙමාපියන් තමන්ව අවබෝධ නොකරගැනීමත්, තමන් වෙනුවෙන් නැගී නොසිටීමත් වැනි කරුණු මත දරුවාට තමාට වැදගත්කමක් නොලැබෙන වටපිටාවක් (chronic invalidating environment) දිගින් දිගටම ඇති වීම නිසා දරුණු මානසික රෝග සහ පෞර්ෂය ආබාධ ඇතිවිය හැකියි.

උද :  Borderline personality disorder.

දරුවන් අසරණයි.. අහිංසකයි… මෙබදු දේවල් ගැන අවබෝධායක් ඔවුන්ට සහජයෙන් පිහිටන්නේ නැහැ… බොහෝවිට ඔවුන් මෙබදු දේවලින්  ශාරීරික සතුටක් ලබන එක ස්වාභාවිකයි. විශේෂයන්ම, මෙබදු සතුටක් ලැබුවේ ඔවුන්ගේම පවුලේ කෙනෙක්ගෙන් නම්, ක්‍රමයෙන් මොළය වර්ධනය වීමේදී එය විශාල වරදක් බව අවබෝධ කර ගත්විට දරුවෙකුට ඇති වෙන මානසික කම්පනයෙන් මිදීමට, මත් පැන්/මත් ද්‍රව්‍ය, සුරා සූදු, අත පය කපා කොටා ගැනීම්, භයානක ලිංගික සම්බන්ධතා වගේම වැඩිහිටි වියේදී තමන්ගේ ජීවිතේ සහකරුට සහ තම දරුවන්ට නොයෙක් කායික මානසික වදහිංසා ඇතිකරන්න පෙලෙඹිය හැකියි. එසේම එබදු අය, තව කෙනකුගේ කෝණයකින් බැලීමට අපහසු අය බවට පත් විය හැකියි. එවන් දරුවන් යම් දිනක සමාජය ගැන ඉතා තද බල අවිශ්වාසයක් ඇති කරගන්නා අතරම මොවුන් දරුණු මානසික අතතියන්ට පත්  විය හැකියි. ඇතමුන් සිය දිවි නසා ගැනීමට පවා පෙළඹිය හැකියි. දරුවෙකු රක ගැනීම ඔබෙත් මගෙත් වගකීම සහ යුතුකම වන නිසාම ඔබේම දරුවා දෙස පමණක් නොව සමාජයේ මෙවන් තත්ත්වයන්ට පත්වෙන වෙනත් දරුවන් වෙනුවෙක් ඔබට යමක් කල හැකි නම් ඒ සඳහා ඉදිරිපත් වෙන්න

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article