පියසෙනහසත් කොන්දේසි විරහිත විය යුතුයි

තාත්තා කියන්නේ පවුලක විශිෂ්ට චරිතයක්. පෙරදිග සංස්කෘතියේ පුරුෂාධිපත්‍ය මුල් කර ගත් භුමිකාවේ තාත්තා පවුලක ආධිපත්‍ය්‍ය දැරූ වීරයෙක් බවට පත් වුනා. නිවසේ මූලිකයා, බිරිඳ සහ දරුවන්ගේ ආරක්ෂකයා , දරුවන් හික්මවනු ලබන්නා වගේම සදාචාර උපදෙස් ලැබුනෙත් තාත්තා ගෙන්. ඇයි ඉතින් මේ කාලයේ අම්මා කියන කාන්තාවට තිබුනේ හැඳිමිටේ නුවණ කියලා පැත්තකට කොටු කළ යුගයක්නේ…

  • කාලය සමග වෙනස් වුණා..

ඇත්තටම කාලය සමග පිතෘත්වයටත් යම් යම් වෙනස්කම් ලැබුනා. අම්මා ගැන වැඩිමනත් කතා බහ ආරම්භ වුනාම ‘‘පිය සෙනහසට කවි ගී ලියැවුනා මදි“ යනුවෙන් පියවරුන් ගැනත් යම් ආත්මානුකම්පාවක් ඇති වුනා. ඒ වුනත් තවමත් තාත්තා කියන චරිතය පවුලේ අභිමානය බව අමතක කරන්න එපා.

ආර්. එල්. ග්‍රිස්වල් තම 1993 ‘Fatherhood in America: A History’ කෘතියේ පෙන්වා දෙන්නේ සම්ප්‍රදායික තාත්තා කියන චරිතයට වඩා තාත්තා යනු දරුවන්ගේ ‘‘ චිත්තවේග සුරකින්නා“ යන තැනට පත් විය යුතු බවයි. ආර්. එල්. ග්‍රිස්වල් පෙන්වා දෙන විදිහට බටහිර රටවල් වෙතින් නම් මේ තත්වය හොඳින් දක්නට ලැබුනත් තවමත් ආසියාතික කලාපයට තාත්තා ඉහත සඳහන් කරන ‘‘ චිත්තවේග සුරකින්නා“ යන තැනට පත් වී නැති බවයි.

  • තාත්තාටත් මෘදු කුසලතාවයන් ඕන.

සම්ප්‍රදායික ශ්‍රී ලාංකීය පවුල තුළ, විශේෂයෙන් මුල් කාලයේ දී දරුවා සමාජයට ඇතුළු කිරීම වැනි මෘදු කුසලතාවලින් යුත් චිත්තවේගීය කටයුතු මව විසින් සක්‍රීයව ඉටු කර යි. නමුත් මෙය ගැටළු ඇති කරන්නකි. පුරුෂයන් බොහෝ අවස්ථාවල දී මෙවන් ‘මෘදු’ බැඳීම්වලින් වළකා දමා ඇත.

ඇත්තටම තවමත් පවුලක දරුවන් හුරතල් කිරීම, ආදරය දැක්වීම වැනි බොහොම මෘදු කුසලතාවයන් දරුවන්ට ලැබෙන්නේ අම්මා ගෙන්. සමහර තාත්තලා හිතන්නේ දරුවන්ට මෘදු කුසලතාවයන් විදිහට කියන ආදරය දැක්වීම, සුරතල් කිරීම වැනි සමීපතාවයක් ඇති වුනොත් දරුවන් ‘‘ ගෝනි නැතුව කරේ යන්න“ පුලුවන් බවයි. ඒ කියන්නේ තාත්තලගේ හිතේ තමන්ගේ තරාතිරම ගැනත් යම් අභිමානයක් තිබෙනවා. ඒ නිසාම ඔවුන් මෘදු කුසලතාවයන් හෙවත් දරුවන්ට සමීපව කටයුතු කිරීමට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.

  • එහෙම වුනොත් මොකද වෙන්නේ..

ඔව් ඉතින් තාත්තාගේ සමීපතාවය පුංචි කාලයේ පටන්ම දුරස්  වෙලා. දරුවන්ගේ ලෝකයේ තාත්තා කියන්නේ උත්තම චරිතයක් කියන සංකල්පය ගොඩ නැගුනත් කාලය සමග දරුවා තාත්තාගෙන්  දුරස් වෙනවා පමණක් නොව සෘජු සන්නිවේදනයක් පවත්වා ගන්නත් බැරි තරම් කුලෑටි දරුවෙකු බවට පත් වෙනවා.

  • තාත්තාලා කොහෙද දරුවන්ට බත් කැව්වේ…ඇදුම් සේදුවේ…

අපි නම් හිතන්නේ එහෙම වුනත් තාත්තා කෙනෙක් අතින් මේ කටයුතු ඉටු වීම මනෝවිද්‍යඥයින්ගේ පැත්තෙන් නම් කිසිම වරදක් නැහැ. අම්මා පමණක්ම බත් කවන්න…ඇඳුම් සෝදලා අන්දවන්න කියන නියමයක් ඉහත නැහැ. ඒ නිසා දරුවන් ඉන්න තාත්තා කෙනෙකුට නම් මේවා අවතක්සේරුවක් වෙන කටයුතු නම් නොවෙයි.

  • තාත්තා දරුවන් සමීප වීමෙන් ලැබෙන වාසි….

තාත්තා දරුවන් සමග සම්බන්ධ වීමෙන් ලැබෙන වාසි කීපයක් තිබෙනවා. දරුවන්ට මුල් කාලයේදී භාෂාව ඉගෙනීමේ දායකත්වය ලැබෙන්නේ තාත්තාගෙන්.ඒ වගේම පුද්ගලයන් අතර සන්නිවේදනයන් ගොඩ නගා ගැනීමේ හැකියාවත් දරුවාට ඉබේටම ලැබෙනවා. අපි කොටින්ම මෙහෙම කියමු. තාත්තා සමග හොදින් අදහස් හුවමාරු කර ගන්නා දරුවා ගේ තිබෙන ශක්තිය නිසා ඔවුන්ට මාමා, බාප්පා  වැනි චරිත සමග වුනත් අන්තර් සන්නිවේදනය ගොඩ නගා ගන්න පුලුවනි. ඔබ මේ විදිහට අහලා ඇති..

අපේ පුතා තාත්තාට හරිම බයයි. එයාට උවමනා දෙයක් වුනත් මං හරහා තමයි කියන්නේ…තාත්තාගේ භුමිකාවේ මේ පැත්ත ගැන ඒ විදිහට ගාම්භීරව හිතුවත් එයින් දරුවාගේ පෞරෂයට නම් හානියක් වෙන්න ඉඩ තිබෙනවා.

  • දරුවා තුළ පියා ගැන අභිමානයක් ගොඩ නැගෙන්නේ මේ විදිහටයි..

රෝස් ඩි පාර්ක්  විසින් ඇගේ ‘‘පීතෘත්වය“නැමැති කෘතියේ සඳහන් කරන්නේ දරුවා නිතරම පියාගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දරුවාගේ භුමිකාවේ ආදරශ ආකෘතිය බවට තාත්තා කියන චරිතය පත් වෙනවා. මේ නිසා සම්ප්‍රදායිකව හිතුවාට වඩා අලුත් මානයක් පියා වෙනුවෙන් ගොඩ නැගෙනවා.

  • තාත්තා දරුවන්ට සමීප නම් අධ්‍යාපනය දියුණු වෙනවා…

ජීවිතය ජයගත් බොහොම දෙනෙක් තමන්ගේ අතීත ආවර්ජනාවන්හිදී ඔවුන්ට අත හිත දුන් අය ගැන සඳහන් කරනවා. මේ චරිත අතරට අම්මා, තාත්තා, වගේම ගුරුවරුන් අයත් වෙනවා. ඒ වගේම යුනෙස්කෝ මගින් සිදු කරන ලද පර්යේෂණ වාර්තාවන් මගින් පෙන්වා දෙන්නේ දරුවන් සමග සම්බන්ධතාවයන් ඉතා සමීපව පවත්වා ගෙන යන, තමා  රැකබලාගන්නා සහතිකය දරුවන්ට ලැබී ඇති විට දරුවන්ගේ චිත්තවේගී සුරැකියාව ලැබෙන බවයි. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනයට බොහොම හිතකර පරිසරයක් සකස් වෙන බවත් දැන් පිළිගත් සත්‍යක් බවට පත්ව තිබෙනවා.

  • සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නේ කොහොමද…?

අලුත උපන් දරුවන්ට සරල ක්‍රියාකාරකම් මගින් යම් යම් දේ ඉගෙන ගන්න පුලුවනි. තාත්තාගේ තුරුලට දරුවා වැඩි කැමැත්තක් දක්වනවා. ඒත් සමහර තාත්තාලා දරුවාට මාස තුන හතරක් ගෙවෙන තෙක්ම වඩා ගන්නේ නැහැ. රැවුල ඇනෙයි…දරුවාට රිදෙයි…හදිසියේවත් රිදුනොත් වැනි අධි ආරක්ෂිත හේතු නිසා මේ තීරණ ගත්තත් දරුවා පියාගේ තුරුලට කැමැත්තක් දක්වනවා.

උපත ලැබීමෙන් පසුව මුල් මාස තුනේ දරුවාගේ ඇස් පෙනීම ඉතාම දියුනුයි.මේ කාලයේදී වර්ණ වස්තු, ඡායාරූප ආදිය පෙන්වීම , දරුවාට සිනාසෙන්නට හැකි අන්දමේ ක්‍රිඩා කිරීමෙන් තාත්තාට දරුවාට සම්බන්ධ වීමට පුලුවනි.

මාස හයක් පමණ ගෙවුනාම තාත්තාට  ආහාර ලබා දෙන වේලාවටත් සම්බන්ධ වෙන්න පුලුවනි.

ඒ වගේම දරුවාට පියාගේ ආදරය දැනෙන විදිහට තාත්තා හැසිරෙන්න ඒන. තාත්තාගේ ආදරය කොන්දේසි විරහිත බව දරවාට ඒත්තු යෑම ඉතාම වැදගත්.

UNICEF පත්‍රිකාවක් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here