දරුවෙකුගේ ජීවිතයේ පළමු අවුරුදු පහ ඉතාම තීරණාත්මක කාල පරිච්ඡේදයක් වන්නේ ශාරීරිකවත් මානසිකවත් දරුවෙකුගේ සීග්‍ර වර්ධනය සිදුවන කාලය මේ කාලය නිසයි. දරැවෙකුගේ මානසික සංවර්ධනය පිළිබඳව කතා කිරීමේදී මොළය තුළ ස්නායු තන්තු මිලියන ගණනක් නිර්මාණය වීමෙන් සහ ස්නායු තන්තු අතර හුවමාරුව ප්‍රගුණ වීම සිදුවන බව මීට පෙර ලිපි හරහාත් ඔබට දැනුවත් කළ බව මතක ඇති. මෙන්ම මේ කාලය තුළ දරුවෙක් තමාගේ මව හෝ රැකබලාගන්නා සමග ඇති කරගන්නා බැඳීමට අනුව ඒ දරුවාගේ ජීවිතයේ ඉදිරි කාලය තුළ අනෙක් පිරිස් සමග ඇති කරගන්නා බැඳීම් තීරණය වෙනවා. ඒ වගේම දරුවාගේ පෞරුෂ වර්ධනය සහ මානසික ඒකාග්‍රතාවයත් මේ බැඳීම මත තීරණය වෙනවා.
දරුවා සමග ආරක්ෂිත බැඳීමක් ඇති කරගන්නේ කොහොමද?
ඔබ දෛනිකව අතිශය කාර්යබහුල අවස්ථාවක් සිහියට නඟන්න. උදාහරණයක් විදියට දරැවා සමග ඔබ නිවසට පැමිණෙන අවස්ථාව ගනිමු. මේ වගේ අවස්ථාවක අම්මා කෙනෙක්ගේ හිතේ එකිට එක බොහොමයක් කාර්යයන් පෙල ගැසෙනවා. ගෙදර ගිය ගමන් පැටියා වොෂ් කරන්න ඕනේ, කෑම බීම හදාලා දෙන්න ඕනේ. මෙන්න මේ විදියට වගකීම් ගොඩක් අම්මා කෙනෙක්ගේ මනසට එනවා. ගෙදරට ඇතුලු වුණු ගමන්ම අම්මා මේ රාජකාරී වෙනුවෙන් කැප වෙනවා. ඔය අතරේදී අම්මා ළඟට එන පුංචි පැටියව අපි කී වරක් නම් නැවත හරවා යවනවද, අනේ පැටියෝ තව පොඩ්ඩක් සෙල්ලම් කරලා එන්න කියලා. ඉතිං මේ දරු පැටියා පොඩි වටයක් ගිහින් ආයෙත් කැරකිලා එන්නේ ඔබ ළඟටමයි නේද? මේ වගේ තත්ත්වයකදී දරුවට කෑකෝ ගසන දෙමාපියනුත් නැතිවම නෙවෙයි. තත්ත්වය අපිට කරදරයක් විදියට යම් විටෙක සිතුණත් මෙතැනදී අපි අවබෝද කරගත යුතු සුවිශේෂී යමක් තියෙනවා.
ඇයි ඔබේ දරුවා විටින් විට මෙලෙස ඔබ වෙත එන්නේ?
බැඳීම් ඇති කරගැනීමේ න්‍යායට (Attachment theory )අනුව දරැවන්ගේ ආරක්‍ෂිත ස්ථානය (safe haven) වන්නේ අපියි. මේ පුංචි දරුවෝ නිදිමත, කුසගින්න, වෙහෙස, වේදනාව, සතුට හෝ කිසිදු හේතුවක් නැතිවත් ඔවුන්නේ ආරක්ෂිත ස්ථානය වන අපි වෙත ඇදෙනවාමේ දරුවෝ මේ විදියට විටින් විට අප කරා පැමිණෙන්නේ මානසික සුවය වැඩිකරගන්න. සරලව කිව්වොත් එයාලගේ emotional cup එක පුරවා ගන්න.
ඉතින් අපි මොකද්ද කළ යුතු වන්නේ,
තුරැලු කරගැනීම, සිප වැළඳ ගැනීම, ආදරයෙන් කතා බහ කිරීම වගේම දරුවා කෙරේ අවධනය යොමු කිරීමත් මේ පුංචි පැටවුන්ගේ emotional cup පුරවන්න බොහොම ප්‍රමාණවත්. ඉතිං මේ පුංචි පැටව් විටින් විටේ මෙන්න මේ විදියට එයාලගේ emotional cup එක ආදරයෙන් පුරවා ගන්න අපි ළඟට එනවා. මේ ක්‍රියාවලිය ආරක්ෂිත බැඳීමක් තුළින් දරුවෙකුගේ මානසික සංවර්ධනයට බොහෝ සෙයින් ඉවහල් වෙනවා. සමීක්ෂණ වාර්තා අනුව ගත් කළ දෙමාපියන් වශයෙන් අපට මේ පුංචි පැටවුන්ගේ emotional cup එක 30%කින් වත් පිරවිය හැකි නම් දරුවා සමග හොඳ බැඳීමක් ඇති කරගත හැකි බවයි.
නමුත් අද වෙද්දී තාක්ෂණික මෙවලම් සමග මව්පියන් මෙන්ම දරුවනනුත් කාර්ය බහුල වෙලා. ඉතිං
emotional cup එක පිරවීමක් සිදු වෙන්න ඉඩ කඩ සීමිතයි. දුරකතනය, ටැබ් එක එක්ක කාර්යබහුල වුණු මවට පියාට දරුවාගේ පැමිණීමක් හෝ වෙනත් දෙයකට අවධානයක් නැහැ. ඇතැම් විට දරැවා වැටුණත් නොපෙනෙනවා විය හැකියි. මොකද වැඩිහිටියන් වුණත් අපේ මනස දුරකතනයට යොමු වෙලා. මේක අනිත් පැත්තට හිතුවොත් අපේ වැඩ පහසු කරගන්න අපි දරැවට දුරකතනය ලබා දෙන අවස්ථාව දැක්විය හැකියි. එතකොට දරැවා එයාගේ emotional cup එක පුරවගන්න අපි ළඟට එන්නේ නැහැ. මේ අවස්ථාවේදී දරුවා බැඳීම ඇති කරගන්නේ දුරකතනයත් එක්ක.
බැඳීමක් නැති තැන, මනුෂ්‍ය වර්ගයාට පැවැත්මක් නැහැ. දරුවා අපේ ළඟට එන විට දක්වන ප්‍රතිචාරය වගේම අපේ ළඟින් ඈත්ව යනකොටත් අපි දක්වන ප්‍රතිචාරය ආරක්‍ෂිත බැදීමක් ඇති කර ගැනීම සඳහා ඉතාම වැදගත් වෙනවා.
අපි දරුවන්ව අනවශ්‍ය ලෙස හිරකර ගත්තොත් මොකද වෙන්නේ?
දරුවා අධික ලෙස ආරක්ෂා කරමින් සෙල්ලම් කරන්න නොදී අප ළඟම තියාගන්නවා නම්, දරුවාට තමන්ගේ පරිසරය ගවේෂණය කරමින් ඉගෙන ගැනීමේ හැකියාව සීමා වෙනවා. අපේ අතින් විවිධ වයස් වල සිටිනා දරුවන්ව විවිධ විදියට සීමා වෙන්න පුළුවන්.
අත දරුවෙක් – අප තුරුලේම තියාගෙන දරුවාට බඩ ගාන්නවත් නොදී තබාගැනීම
වයස අවුරුදු 3 – 5 දරුවෙක් – හැම විටම වඩා ගෙන හිර කරගෙන සිටීම
වයස අවුරුදු 5 – 6 දරුවෙක් – යහලුවන් සමග සෙල්ලම් කරන්න නොදී, ක්‍රීඩාවලින් ඈත් කරලා තබාගැනීම
නමුත් දරැවන්ගේ මානසික සංවර්ධනයට ඔවුන් අප වෙතින් තම emotional cup එක පුරවා ගන්නවා සේම අපෙන් බාහිරව පරිසරය ගවේෂණය කරමින් ලබාගන්නා අත්දැකීම් ලබාගැනීමත් බොහෝසෙයින් වැදගත් වේ. දරුවාගේ මානසික වර්ධනය වන මුලු කාලයම ගතහොත් (අවුරුදු 0 – 25) අවම වශයෙන් 30% ඒ අවශ්‍යතා ඉටු විය යුතුයි. දරුවෙකුට අප වෙත ළං වීමට වගේම වෙන් වීමටත් 30%කවත් අවස්තාවක් හිමිවනවා නම් ඒ දරුවන් අප සමග ආරක්ෂිත බැඳීමක් ඇති කරගැනීමට සමත් වේ. කෙසේ වුවද දරුවන් සමග ආරක්ෂිත බැඳීමක් ඇතිකරගන්න දෙමාපියෙක් සර්වසම්පූර්ණ (100%) විය යුතු නැහැ.
කාර්යබහුල/දරුවන්ගේ මානසික අවශ්‍යතා ගැන අවබෝදයක් නැති/දරුවන් වැඩි ගණනක් සිටින/කායික හෝ මානසික ගැටලු ඇති/ මත්පැන් මත්ද්‍රව්‍ය නිසා හෝ ගෘහස්ත වදහින්සනය නිසා දුක් විදින දෙමපියෙකුට දරුවන්ගේ අවශ්‍යතා 30%ක් සම්පූර්ණ කිරීම පහසු කටයුත්තක් නොවේ. අන්න ඒ නිසාම මූලික වශයෙන් දරුවන් සහ ඔවුන්ගේ හැසිරීම් සහ කායික මානසික අවශ්‍යතා ගැන මූලික අවබෝධයක් දෙමාපියන් වන අප ලබා ගත යුතුයි. එවිට දරැවන්ගේ අවශ්‍යවලට මුල් තැනදී කටයුතු කළ හැකියි. ඒ හරහා දරැවා අප සමග secure attachment එකක් ඇති කරගැනීමට පෙළඹේ.
Secure attachment/ ආරක්‍ෂිත බැදීමක් ඇති විට දෙමාපියන් අතින් වෙන අතපසු වීම්, වැරදි, නොගැලපීම්, emotional cup නොපිරවීම් යන හැම දෙයකිම්ම දරුවා අත්දැකීම් ලබා ඒවගෙන් ඉගෙන ගන්නා අතරම එමගින් දරුවා යම් දිනෙක තනිව ලෝකෙයට යොමු වීමේදී දුක සැල විඳ දරා ගනිමින් ජීවත් විමට අවශ්‍ය ආත්ම ශක්තිය ඔහු තුළ ගොඩනැගෙනවා.
ඉතින් සමහර දෙමාපියන් අතින් වෙන්න පුළුවන් දෙයක් තමයි, මුළු ලෝකයම ගවේෂණය කරන්න දුන්නත්, දරුවෝ තමන් ලගට ආවිට ඔවුන්ව හරවා යවන එක. උදාහරණයක් විදියට, දරුවෙක් වැටිලා රිදිලා ඔයා ලගට ආවම නිතැතින් විය හැකි දෙයක් තමයි ” ඕක මොකක්ද, පොඩි හීරිල්ලකනේ, ඔයා ලොකු ළමයෙක්නේ යන්න යන්න තව සෙල්ලම් කරන්න.” මේ විදියට දරුවා තමන් ලගට එන වෙලාවට දරුවාගේ emotional cup නොපුරවා එයාගේ හැඟීම් නොසලකා හරිනවා නම් දරැවා තුළ ඇති වන්නේ කණස්සල්ලය සහිත බැඳීමක් (anxious avoidant attachment). එමගින් දරැවන් තුළ තමන්ගේ දුක, බය, කේන්තිය, තරහ වගේ හැගීම් යටපත් කරන්න පුරුදුවෙන තත්වයක් ඇති විය හැකි අතරම එය සම්පූරණ ජීවිතකාලයටම බලපෑම් ඇති කළ හැකි තත්ත්වයකි. දරැවෙක් මේ තත්ත්වයට නිතර නිතර මුහුණ දීමෙන් අනාගතය, සබඳතා ඇතුලු හැමදේම දිහා හිස්කමකින් බලන අතරම එය ඔවුන්ගේ මානසික සහ පෞරුෂ වර්ධනයට බලවත් හානියක්/දෝෂ ඇතිකළ හැකි තත්ත්වයකි. වැඩිහිටි වියේදී ප්‍රශ්නවලින් පලායන, මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට පත්විය හැකියි.
තවත් සමහර දෙමාපියන් දරුවාව තුරුළු කරගෙන මිරිකගෙන හැදුවත්, දරුවාට තමන්ගෙන් ඈත් වෙලා ලෝකේ ගවේෂණය කරන්න නම් ඉඩ දෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඇති වන්නේ anxious ambivalent attachment තත්වයක්. මේක හොඳටම පෙන්නේ ඒ දරුවන් දෙමාපියන්ගෙන් තවකාලිකව වෙන්වන අවස්ථාවලදී. උදාහරනයක් විදියට දරුවා පෙර පාසලේදී තමන්ගේ දෙමාපියන්ට අධික ” clingy” තත්ත්වයක් පිළිබිබූ කරන්න පුලවන්”. ලොකු දරුවෙක් නම්, පාසල් යන්න දරුණු අදිමදි කිරීමක් කරන්න පුලුවන්. දිගටම මේ තත්ත්වය පැවතුනොත්, ඔවුන් වැඩිහිටියන් වූ විටත් බොහෝ විට ඕනවට වඩා තම සහකරුවට වදයක් වන තරමටම clingy වී සබඳතාවල ගැටලු ඇති කරගැනීම පමණක් නොවෙයි තමන්ගේ මානසික ඒකාග්‍රතාවය තබා ගැනීමට පවා නොහැකිව අසතුටින් ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත්විය හැකියි.
ඉහත සදහන් කාරණා දෙක 30% වත් කරන්න. ඒ කියන්නේ 70% දරුවට ඉඩ ලැබෙනවා තමන්ගේ emotional cup නොපිරීමෙන් වෙන දුක දරාගන්න පුරුදු වීමටත්, ලෝකය පරිස්සමෙන් දෙමාපියන්ගේ ආරක්ෂාව යටතේ ගවේෂණය කිරීමටත්. මේ විෂම ලෝකයට ආත්ම ශක්තියෙන් අනූනව මුහුණ දෙන්න හැකියාවක් ලැබේවි.
එවන් දරුවෙකු වැඩිහිටියෙක් වූ දිනෙක මානසික ඒකාග්‍රතාවය රැක ගනිමින් නොබියව ජීවිතයට මූණ දී කම්කටුලු වලින් නිසැකවම ජයගනී.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.