- Advertisement -

අපේ අම්මලා දියවැඩියාවෙන් මිදෙන්න

-

කාන්තාවන් දියවැඩියා රෝගයෙන් පෙළීම අජීවී දරු උපත්වලට ප්‍රධාන හේතුවක් විය හැකි බව අලුත්ම සමීක්ෂණයකින් හෙළි වී ඇත.

අපේ අම්මාවරුන් ගැබිණි කාලයේදී දියවැඩියා රෝග තත්වයෙන් පසු වෙනවා නම් අජීවි දරු උපත්වලට හේතු වීමේ විශාල අවදානමක් ඇති බව ග්ලාස්ගෝ’ සරසවියේ සිදු කරන ලද පර්යේෂණයක් මගින් පෙන්වා දෙනවා. ඒ නිසා ගර්භනී සමයෙහි කාන්තාවකගේ රුධිරයේ සීනි මට්ටම අධි මාත්‍රාවක පැවැත්ම අජීවී දරු උපත්වලට හේතු වෙනවා.

- Advertisement -

දරුවන් ප්‍රසූත කරනු ලැබීම සඳහා කාන්තාවන්ට ඇති හොඳම කාලය වයස අවුරුදු විස්ස සහ තිස්පහ අතර බව ” ග්ලාස්ගෝ සරසවි සමීක්ෂණයේ නියමුවරිය වන වෛද්‍ය ෂරෝන් මැකින් (Dr Sharon Mackin) සඳහන් කරනවා. .  ඒ වගේම මේ කාලයේදී වුනත් ගැබ් ගත් කාන්තාවක් දියවැඩියා රෝග තත්වයට පත් වුනොත් ඔවුන්ගේ එම සංකුලතාවයන් සඳහා වැඩි අවධානයක් දැක්වීම ඉතාම වැදගත් බැව් මෙම අධ්‍යන වාර්තාව මගින් පෙන්වා දෙනවා.ඒ නිසා වෛද්‍ය වෘත්තිකයන් විසින් නිතරම ගැබ් ගත් මවට ශරීරයේ බර සහ රුධිරයේ සීනි මට්ටම යහපත් අන්දමින් පවත්වා ගැනීමට උපදෙස් ලබා දෙනවා.

වෛද්‍ය ෂරෝන් මැකින් පෙන්වා දෙන අන්දමට යම් කාන්තාවක් දියවැඩියා රෝග තත්වයෙන් පසුවෙනවා නම් ඇය ගර්භණීත්වය පිලිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්. ඒ වගේම අහඹු ලෙසින් ගැබ් ගත් විටෙකදී වුනත්  ඒ වෙනුවෙන් ඇය දක්වන සැලකිල්ල මත ගැබිණි බවේ සංකුලතාවයන් අවම කර ගැනීමට පුලුවනි.

“දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් මෙය සිතේ තබා ගැනීම වැදගත්. ඉක්මනින් පිළිසිඳ ගැනීමක් ගැන සැලැස්මක් නොමැති තත්වයක් යටතේ වුනත්, ඔවුන්ට දරු ගැබක් පිළිසිඳ ගැනීමට පෙර සුදුසු සායනික උපදෙස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා” වෛද්‍ය ෂරෝන් මැකින් වැඩිදුරටත් සඳහන් කරයි.

වෛද්‍ය ෂරෝන් මැකින් සඳහන් කරන අන්දමට “දියවැඩියා රෝගය සහිත කාන්තාවන් ඔවුන්ගේ සායනවලට යා යුතුයි. ඔවුන් ගැබ් ගෙන ඇති බව තහවුරු වූ වහාම අපට ඔවුන් පරීක්ෂා කරලා කල්තබාම උදව් වෙන්න පුළුවන්”

1998 සහ 2016 අතර කාලය තුළ ස්කොට්ලන්තයේ මව්වරුන් 3,847 දෙනෙකු විසින් ප්‍රසූත කරන ලද බිළිඳුන් 5,392 ක් ‘ග්ලාස්ගෝ’ සරසවි සමීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබුවා.ඔවුන්ගේ නිරීක්ෂණ අනුව,නිරෝගී මවරුන්ට සාපේක්ෂව, පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත මවක් සජීවී බිළිඳකු ප්‍රසුත කිරීමට වඩා අජීවී බිළිඳකු ප්‍රසූත කිරීමට ඇති ඉඩකඩ තුන් ගුණයකටත් වඩා වැඩි අතර, දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත මවක් අජීවී බිළිඳකු ප්‍රශූත කිරීමට ඇති ඉඩකඩ යටත් පිරිසෙන් එහි හතර ගුණයක් වෙයි.

පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ දරු ප්‍රසූතීන් දහසක අජීවී දරු උපත් අනුපාතය 16.1 ක් විය.ඒ අතර, දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ දරු ප්‍රසූතීන් දහසක අජීවී දරු උපත් අනුපාතය 22.9 ක් විය.පොදුවේ සමස්ත මව්වරුන්ගේ ප්‍රසූතීන් සංඛ්‍යාව ගත්විට දරු උපත් දහසකට අජීවී දරු උපත් අනුපාතය දහසකට 4.9 ක් විය.

අජීවී දරුවන් ප්‍රසූත කළ පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත කාන්තාවන් ඔවුන්ගේ ගර්භනී කාලය පුරාම රුධිරයෙහි පැවතිය යුතු සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා සීනි පැවති අය වෙති.

ඒ අතරම, ගැබ් ගැනීමට පෙර රුධිරයේ සීනි මට්ටම දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ අජීවී දරු ප්‍රසූතීන් පිළිබඳව වඩාත් වැදගත් පුරෝකථනයක් වෙයි.

වැඩිම බර සහ අඩුම බර සහිත දරු උපත් ඉතා දැඩි අනතුරුදායක තත්වයක වූ බව ‘Diabetologia’ සඟරාවේ පළ කරනු ලැබ ඇති සමීක්‍ෂණ වාර්තාවෙන් කියැවෙයි. ”

එක්සත් රාජධානියේ දියවැඩියා ආයතනයේ (Diabetes UK) පර්යේෂණ සන්නිවේදන අංශයේ ප්‍රධානී වෛද්‍ය එමිලි බර්න්ස් (Dr Emily Burns) සදහන් කරන අන්දමට  දියවැඩියාවෙන් පෙළෙන බොහෝ මව්වරුන් ගර්භනී කාලයේ සෞඛ්‍ය සම්පන්නව සිටින අතර, නිරෝගී දරුවන් ප්‍රසූත කරනවා. ඒත් මේ සමීක්‍ෂණ ප්‍රතිපලය මගින් වැදගත් කරුණක් යලිත් පෙන්වා දෙනවා. ඒක තමයි, දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් ගැබ් ගැනීමක් බලාපොරොත්තු වෙනවා නම් ,රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කර ගැනීමට එම කාන්තාවන්ට උදව් වීමේ වැදගත්කම.සංකීර්ණ තත්වයක් ඇතිවීමේ අන්තරාය අවම කර ගැනීමට එවැනි වැඩ පිළිවෙලක් අවශ්‍යයි”

“දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත අධි ස්ථූලභාවයෙන් යුක්ත කාන්තාවන්ගේ එම අතිරේක බර අඩුකර ගැනීමත් ප්‍රසූතයේ දී නරක ප්‍රතිපල අවම කර ගැනීමට ඉවහල් වෙන බව සමීක්ෂණය මගින් පෙන්වා දී තිබෙනවා” වෛද්‍ය එමිලි බර්න්ස් (Dr Emily Burns) සඳහන් කරයි.

ශ්‍රි ලාංකික කාන්තාවන් අතරත් උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තුරු දරුවන්ගේ හා නිවසේ වැඩ කටයුතු කරන ගෘහණියෝ සිටිති. ඔවුන් නගන මැසිවිල්ලක් වන්නේ තමන් කොතරම් වැඩ කළ ද ශරීරය ස්ථුල වීමේ අඩුවක් නොමැති බවය.

එදිනෙදා වැඩ කිරීමේදී ශරීරයට තෙහෙට්ටුව දැනුණ ද ඒවා ශරීරයේ තැන්පත්ව ඇති තෙල් හා මේදය දහනය වීමට ප්‍රමාණවත් නොවන බව වෛද්‍යවරුන්ගේ අදහස වී තිබේ. එබැවින් දිනකට අවම වශයෙන් දහදිය දමන තුරු විනාඩි විස්සක්වත් ව්‍යායාම කිරීම යෝග්‍ය බව වෛද්‍ය නිර්දේශය වී තිබේ.

ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා නාගරික පදික මං තීරුවල ඇවිදීම, ශරීර සුවතා මධ්‍යස්ථාන වෙත යාම සහ ‘එරෝබික්’ වැනි නර්තනයන්හි නිරත වීම වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර ජනප්‍රිය වෙමින් පවතී.

වැරදි ආහාර පුරුදු, ව්‍යායාම අඩුකම හා ජීවන රටාව වෙනස් වීම කාන්තාවන්ගේ තරබාරු බව වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවාරාත්‍රී ආහාර ගැනීම ප්‍රමාදවීම ද තරබාරු බව වැඩිවීමට හේතු වී තිබේ. ප්‍රමාදවී රාත්‍රී ආහාර ගත් පසු බොහෝ දෙනෙකු නින්දට යාම පුරුද්දක් කරගෙන ඇති නිසා එම ආහාර මේදය ලෙස ශරීරයේ තැන්පත් වීමක් සිදු වේ.

පෝෂණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ වර්තමානයේ කාන්තාවන් එතරම් ක්‍රියාශීලී නොවන නිසා ඔවුන්ගේ ආහාර වේලට එකතු කරගන්නා බත් ප්‍රමාණය අඩකින් අඩුකර ඒ සඳහා වැඩිපුර එළවලු හා පළතුරු වර්ග එක්කර ගැනීම ඉතා යෝග්‍ය බවය.

නින්ද අඩුකම ද තරබාරු බව වැඩිවීමට හේතුවක් ලෙස වෛද්‍යවරුන් හඳුනාගෙන ඇත. වැඩිහිටියෙකුට දිනකට අවම වශයෙන් පැය හතක නින්දක් අවශ්‍ය වන අතර අලුයම 1-2 අතර නින්ද ඉතා වැදගත් බව වෛද්‍ය පර්යේෂණ මගින් හෙළිවී තිබේ.

බිබිසි පුවත් ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article