- Advertisement -

දැන් කාලයේ දරුවන්ට ලේනාගෙන් දත් ඉල්ලන්න අවස්ථාවක් නැහැ…

-

ඉස්සරකාලයේ පුංචි දරුවන්ගේ දත් වැටුනාම ‘‘ලේනෝ…ලේනෝ….මේ දත අරගෙන පුංචි දතක් මට දියෝ දියෝ කිව්වත් අද වෙද්දී දරුවන්ට ඒ විදිහට ඉල්ලීම් කිරීමට අවසර නැහැ. ඊටහේතුව තමා දරුවන්ගේ කිරිදත් ස්වභාවයෙන්ම වැටෙන්න පෙරාතුව ඒ දත් නරක් වීම නිසා ගලවා දැමීමට සිදු වෙනවා.

දරුවන්ගේ සුන්දරත්වය, ඒ වගේම ප්‍රසන්නබව මුලින්ම අපේ හිතට ඇති වෙන්නේ ඔවුන් කිරි දත් පෙන්වා සිනාසෙන විටයි. ඒ වගේම දරුවන්ගේ දත් ලස්සනට නිරෝගීව තිබුනොත් ඔවුන්ට තමන්ගේ පෞරෂය පවත්වා ගැනීමට පුලුවනි.

- Advertisement -

මාස හයේදී පමණ කිරි දත් හට ගැනීම ආරම්භ වෙනවා. අවුරුදු තුන පමණ වන විට කිරි දත් සම්පුර්ණ වෙනවා. දරුවෙකුගේ මුඛයේ ඇති කිරි දත් ගණන 20ක්. අවුරුදු හයේදී කිරි දත් වැටීම ආරම්භ වෙලා. අවුරුදු 12 පමණ වන විට කිරි දත් වැටීම සම්පුර්ණ වෙනවා.

”කිරි දත් වැටෙනකම් කටේ තියෙන්න ඕන. ස්ථිර දත් හකු ඇටය තුළ හැදිලා හරි තැනට එන්න පාර කියන්නේ කිරි දත්. ඒ නිසා කිරි දත් නියමිත කාලයට කලින් දිරා ගියොත් ස්ථිර දත් වලට හරි පාර කියන්න කෙනෙක් නෑ . දරුවන්ට හරි පාර පෙන්නුවේ නැත්නම් ඒ අය වැරදි පාරේ යනවා වගේ ස්ථිර දතටත් හරි පාර කියන්න කෙනෙක් නැති වුණාම තැන් තැන්වලින් එන්න යනවා. ඊට පස්සේ අපි හිතනවා වැඩිපුර දත් ඇවිල්ලා, නල දත් ඇවිල්ලා කියලා,”

ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ තොරතුරු අනුව ළමුන් කාණ්ඩ තුනකට බෙදනවා. ඒ අවුරුදු 5, 12 සහ 15 වශයෙනි. අවුරුදු 12 දරුවන්ගේ 30%ක ගේ ද අවුරුදු 15 දරුවන්ගේ 40%ක ගේ ද දත් දිරා ඇත. අවුරුදු පහක් වයසැති දරුවන්ගෙන් 63%ක දත් දිරා ඇති බව ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

කිරිදත් නරක් වෙන්නේ ඇයි….?

කිරිදත් නරක් වීමට බලපාන හේතු කීපයක්ම තිබෙනවා. ඒ වගේම දරුවා කුසේ සිටින කාලයේ පටන්ම අම්මා කෙනෙක් තම දරුවාගේ දන්ත සෞඛ්‍ය ගැන උනන්දු වීම ඉතාම වැදගත්. එහෙම නැති වුණොත් අලුත උපන් දරුවට මවගේ කටේ විෂ බීජ බෝ වෙන්න පුළුවන්.

ඒ වගේම අප විසින් මෙතෙක් අවදානය යොමු කළ කරුණක් මෙහිදී වෛද්‍ය මනෝරි ධනප්‍රියංකා විසින් පෙන්වා දෙනවා.

අම්මාගේ විතරක් නොවෙයි, දරුවා ළඟින් සිටින තාත්තා , ආච්චි, සීයා වගේම දරුවන් බලාගන්න කාන්තාවන්ගෙන් වුණත් දරුවට විෂ බිජ ඇතුල් වෙන්න පුළුවන්..

දත් මැදීම පටන් ගන්නේ…

දරුවාගේ මුල්ම කිරිදත මෝදු වුන තැන පටන්ම දත් මැදීම සිදු විය යුතුයි. බොහෝ අම්මලා දරුවන්ගේ කිරිදත් මැදීමට උනන්දු නොවුනත් දත් මැදීම පටන් ගත යුත්තේ මුල්ම දත මෝදු වුන දිනයේ පටන් බව අමතක කරන්න එපා.

ඒ වගේම දත් මැදීමට මෘදු කෙඳි සහිත බුරුසුවක් භාවිත කරමින් , ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දිනකට දෙවරක් දත් මැදීම අවශ්‍යයි. මෙහිදී ෆ්ලෝරයිඩ් දන්තා ලේපය යොදා ගත යුත්තේ දත් බුරුසුවේ ගෑවෙන නොගෑවෙන තුනී පටලයක් විදිහටයි.

ෆ්ලෝරයිඩ් යොදා ගන්නේ ඇයි….?

”දත් දිරා යනවා කියන්නේ දත හැදිලා තියෙන කැල්සියම් දතෙන් එලියට එන එක. ෆ්ලෝරයිඩ් වලින් කරන්නේ කෙළ වල තියෙන කැල්සියම් දත පැත්තට යොමු කරන එක. ඒ වගේම දතේ කැල්සියම් එලියට ගෙනයාම අඩු කරනවා. අනික් කාරණය තමයි කැල්සියම් ෆ්ලෝරයිඩ් සමග එකතු වූ විට අම්ල සමග ක්‍රියා කරන්න බැරි තත්ත්වයකට පත් කරලා දත් ශක්තිමත් කිරීම. තුන්වන කාරණය තමයි ෆ්ලෝරයිඩ් වල බැක්ටීරියා නාශක ගුණයක් තිබෙනවා.”

ආහාර ගැනත් අපි උනන්දු වීම වැදගත්.

පුංචි කාලයේ පටන්ම සීනි අධික, ඇලෙනසුළු පිටි ආහාර භාවිතය අවම කිරීමට අම්මලාගේ උනන්දුව වැදගත්. ඒ වගේම දිනකට දෙවතාවක් දත් මැදීම වැනි පුරුදු ගොඩ නගා ගත්තොත් ඔබේ දරුවාගේ දත් කැකුළු රැක ගැනීමට පුළුවන්.

දතක් දිරන බව හදුනා ගන්නේ…

දතක් දිරන්න පටන් ගැනීම අපට හදුනා ගන්න පුලුවනි. හොඳින් ආලෝකය තිබෙන තැනකට ගිහින් බැලුවොත් දත සහ විදුරුමස අතර දාරයේ දතේ පැහැයට වඩා කිරි  පැහැති පැල්ලම් තිබෙනවා නම් දත දිරන බවට එය පෙරනිමිත්තක්. එතැනදී ප්‍රතිකාර වලට යොමු වීම ඉතාම වැදගත්.

[පේරාදෙණිය දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ, ප්‍රජා දන්ත වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී දන්ත ශල්‍ය වෛද්‍ය එච් එච් මනෝරි ධනප්‍රියංකා]

පුන්‍යා චාන්දනී ද සිල්වා

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article