බිලිදු පැටියාට රන්කිරි කට ගෑවේ කවුද දන්නේ නෑ…ඉස්සර අම්මලා අතර මේ වගේ කතා බහ තිබුනා. නමුත් අද දරුවෙකු උපත ලැබීමත් සමග මේ චාරිත්‍රය සිද්ධ වෙන්නේ නැහැ. ඊට එක හේතුවක් තමයි ඉස්සර වගේ අද කාලයේ දරු ප්‍රසුතිය නිවසේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුනත් ‘‘රන්කිරිකටගෑම “ විදිහට එදා හැඳින්වූ සිරිත මෙහෙමයි.
දරුවා උපත ලද සැන පැටියාට කිරි පෙවීමේ සිරිත පැවැතුනා. එය ‘‘රන්කිරි කට ගෑම““ විදිහට හැදින් වූ අතර සිද්ධ වුනේ මේ විදිහටයි.
අම්මාගෙන් ලබා ගත්තු කිරි ස්වල්පයක් රත්රන් මුදුවක් හෝ ආභරණයක ගල ගාලා ඒ තුළ බැලතණ නමින් හදුන්වන ලද කණකොළ දෙක තුනක් තබලා බැලතණ කොළයකින් දරුවාගේ දොතොලේ මව්කිරි ආලේප කරනවා. මේ ආලේප කිරීම ඇගිල්ලකින් කළ අවස්ථාවනුත් තිබෙනවා.
ඒ වගේම රන්කිරි කට ගෑම බොහෝ විට කරන්නේත් වාසනාවන්ත තැනැත්තෙකු විසිනුයි. සමහර විට දරුවාගේ පියා හෝ පවුලේ දරුවාට සමීප ඥාතියෙකු විසින් කරනවා. සමහර විට ගමේ වෙද මහතා විසිනුත් රන්කිරි කට ගෑම සිදු වෙනවා. රන්කිරි කට ගෑ පුද්ගලයා අනුව දරුවාගේ අනාගතය තීරණය වෙනු ඇතැයිද විශ්වාස කළා.
ඒ වගේම අතීතයේදී අලුත උපන් දරුවෙකු ගෙයින් පිටතට ගැනීම ‘‘ දොරට වැඩීම “ යනුවෙන් හැදින්වුණා. දරු උපතින් දින හතක් ගත වුනාම අම්මා කොළ තම්බන ලද ජලයෙන් නාවනවා. එය ‘‘කොළවතුර නෑවීම “ යනුවෙන් හැදින්වෙනවා. මේ සදහා පාවට්ටා කොළ, ඉරිවේරිය, තිප්පිලි, එඩරු,නික ආදි ඔසු ශාඛ පත්‍ර යොදා ගන්නවා.
දරුවා උපත ලබා මාස තුනක් ගෙවුනාම බෝධියකට හෝ විහාරස්තානයක් වෙත දරුවා ගෙන යනවා.දරු උපතින් මාස තුනක් ගෙවෙන තෙක් කිලි යනුවෙන් සීමාවක් පැනවී ඇති නිසා එතෙක් දරුවා පුජනීය ස්ථානයකට රැනෙ යන්නේ නැහැ.මේ අන්දමින් දරුවා ගෙන යන විට බෝ ගසක් හෝ කිරි ගසක් යටින් ගෙන යෑමත් එක්තරා සිරිතක්.මේ දොරට වැඩුම ඇතැම් දෙමව්පියන් කතරගම කිරි වෙහෙර, ජයසිරි මහ බෝධිය , දළදා මාලිගාව වැනි පුජණීය ස්ථාන වෙතටත් දරුවා රැගෙන යෑමෙන් ඉස්ට කර ගන්නවා.ගමේ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට බිම තබා වන්දනාමාන කර දේවාලයක් ඇතොත් එතැනටත් රැගෙන ගොස් දේවාශිර්වාද ලබා ගන්නවා.
ළදරුවා බිම දණගාන අවධියේදී අතට හසු වෙන දේ කටේ දමා ගන්නා නිසා ඊට පෙරාතුව සුබ මොහොතින් ආාහර ලබා දීම ‘‘ ඉදුල්කට ගෑම “යනුවෙන් හැදින්වෙනවා.මෙහිදී ව්‍යංජන සමග බත් දීම සිදු වෙනවා. එහිදී පැදුරක් බිම එලා ඒ මත සුදු වස්ත්‍රයක් එලා කිරිබත්, කැවිලි, කෙසෙල්ගෙඩි, මිළ මුදල්, පොතක් ආදිය තබනවා. දරුවා ඒ අතරින් මුලින්ම අතට ගත් දේ අනුව අනාවැකි කීමටත් අතීතයේදී බොහෝ දෙනා පුරුදුව සිටියා. පොතක් අතට ගත් විට අනාගත උගතෙක් වන බවද, මුදල් අතට ගත් විට ව්‍යාපාරිකයෙකු හෝ බොහෝ මිළ මුදල් ඇත්තෙකු විය හැකි බවද පිලිගත් මතයන් අතර විය.
අද කන් විදීම වෛද්‍යවරුන් විසින් සිදු වුනත් එදා කන් විදීම නිවසේදී ඉටු කරන ලද පුංචි උත්සවයක්. උල් කරන ලද රන් කෙන්දකින් කන් විද ඒ රන් කෙඳි කණට පළදවනවා.රන් කෙඳි ලබා ගැනීමට වත්පොහොසත්කම් නැති උදවිය ඉදිකටුවකින් කණ විද සිදුරු පෑහීම වලක්වා ගැනීමට කරපිංචා නැටි අතැලු කරනවා.
අද නම් උපත ලද විට හිසකෙස් කැපුවත් අතීතයේදී දරුවන්ගේ හිසකෙස් කැපීම සිදු වුනේ බහ තෝරන්න පෙරාතුවයි.අසුබ හොමොතකදී හිස කෙස් කැපීම දරුවා ගොලු වීමට හේතුවක් යැයි සැලකුනා. මුල්ම කෙස් රොද ආරක්ෂිතව තබා ගෙන ගලා යන දියපහරකට එකතු කලා.
හිසකෙස් කැපීමේදී ඊතණ,අබ, කැකුලු සහල්,විළඳ. සමන් කැකුළු යන ලදපස්මල් වලින් ස්වල්පයක් හක් ගෙඩියකට දමා එයට පිරිසිදු ජලය එකතු කර ‘‘බවතු සබ්බ මගලං ““ ගාතාව තුන්වරක් කියමින් නියම කරන ලද දිසාව බලා හක්ගෙඩිය දරුවාගේ හිස වට තුන්වරක් කරකවා එහි ජලය හිසට වත් කර සුබ මොහොතකින් කතුරකින් හිසකෙස් කැපීම සිදු වේ.
පුන්‍යා චාන්දනී ද සිල්වා