- Advertisement -

එදා අකුරු කියැවු මංගල්‍යය

-

අතීතයේ පටන් අද දක්වාම දරුවෙකුට අකුරු කියවීම සිද්ධ වෙන්නේ වයස අවුරුදු තුන සම්පූර්ණ වූ විටයි. ඒත් අද ඇතැම් අය අවුරුදු දෙකහමාර වැනි වයසේදී වැඩිමහල් අය අකුරු කියවන විට ඇසෙන නිසාත්, දිවා සුරැකුම් මධ්‍යස්තානයට ඇතුළු කිරීමට පෙරාතුව අකුරු කියා දීම වඩාත් සුදුසු යැයි හිතන නිසාත් වයසට කලින්ම මේ චාරිත්‍රය සිදු කරනවා.

නැකතට අනුව අකුරු කියවීම සිදු කරනු ලැබුවේ ගමේ පන්සලේ හාමුදුරුවන්,පාසලේ ගුරුවරයා හෝ ගමේ වෙදමහතා විසිනුයි. අද වෙන විට හැම දෙමව්පියෙකුගේම සාක්ෂරතාවය ඉහල නිසා තමන්ගේ දරුවා වෙනුවෙන් අකුරු කියැවීම ඔවුන්ගෙන්ම සිදු වෙනවා. එහිදී අනුගමනය කරන වතාවත් මේ විදිහටයි.

- Advertisement -

මුලින්ම බුදුරජාණන්වහන්සේට මල්, පහන්, සුවඳදුම් පුදා තෙරුවන් වැද දෙවියන්ට පිං දීම සිදු වෙනවා. පොත අතට දීම වෙනුවෙන් සකස් කරන ලද මේසයක් තිබෙනවා. එහි ගනදෙවියන්ගේ රූපයක්/සරස්වතී මෑනිය්නගේ රූපයක් තබා තිබෙනවා. ගණදෙවියන් නුවණට අධිපතියි.සරස්වතියත් නැණ නුවණට අධිපතියි.

ඉස්සර කාලයේ අකුරු කියවීම පුහුනු කරනු ලැබුවේ වැලිපිල්ලේ ලිවීමෙන්. වැලිපිල්ල යනුවෙන් හැදින්වෙන්නේ ලී පුවරුවක් හතර පැත්තේ ලී පටි ගසා පුවරුව කලු පැහැයෙන් පාට කර ඒ මත සිහින් වැලි අතුරා සකස් කර ගත් උපකරණයකි. මේ වැලිපිල්ලේ අකුරු  ලිය්නනේ ඇගිල්ලෙන්. එහෙම ලියද්දී වැලි ඈත් වී අකුර ඉස්මතු වෙනවා. යටින් තිබෙන කළු පැහැය දැන් මතු වී පේනවා. ඇඟිල්ල වැලි වලට කැවී තුවාල වීමෙන් ආරක්ෂා කර ගැනීමට ‘‘කුඹුරු“ යනුවෙන් හැදින්වුන ගෙඩි වර්ගයක් කපා එය ඇඟිල්ල අගට සවි කර ගත්තා.

ලියන අතරේම අකුර ශබ්ද නගා කියවනවා. එය හැදින්වුයේ ‘‘පිල්ලම් කියැවීම “ යනුවෙනුයි. එය කියවන රටාවක් තිබුනා. අකුරු ශබ්ද නගා කියවන විස්තරය ‘‘ගණදෙවි හෑල්ල “පොතෙහි සදහන් වෙනවා.

අකුරු හදුනා ගැනීමෙන් පසුව කියවනු ලැබුවේ ‘‘නම්පොත“යි.නම්පොත අවසානයේ ‘මගුල් ලකුණ“නම් කොටසක් ඇත. නම්පොත සහ මගුල් ලකුණ කියැවීමෙන් පසුව‘‘ගනදෙවි හෑල්ල “ සහ ‘‘වදන්කවි පොත “ කියවයි.පැරණි අකුරු කරවීම ගැන ‘‘ගණදෙවිහෑල්ල “කෘතියේ මෙසේ දැක් වේ.

ගෙන්නවා ගුරු ඇදුරු

වතක් අදවා සොඳුරු

තනා පස් රස මියුරු

දෙවා බුලතුත් කපුරු

කියා සිත් ලෙස දැනේ

වැල්ලේද ලියමිනේ

සැහැලි පොත් කියමිනේ

බුද්දගජ්ජය දැනේ…

අතීතයේදී සාක්ෂරතාවය බොහෝ විට සීමා වූයේ යම් පමණකින් එදිනෙදා බෙහෙත් වට්ටෝරුවක් කියවා ගැනීමට මිස උසස් අදයාපනයක් වෙනුවෙන් නොවේ. ඒ නිසා කියැවිය යුතු පොත් අතරට බුද්දගජ්ජය,සකස්කඩ නැමැති ග්‍රන්ථ ඇතුලත් විය. කටවහරට පවා

සකස්කඩ නොකී කට

උගේ කට හුඹස් කට යැයි …ගොඩ නැගී තිබුනි.

අතීතයේදී පාසල අද මෙන් සුන්දර වටපිටාවක නොවීය. ගුරුවරයා සැබැවින්ම දරුවාට සිප් සතර දෙන්නට සැදී පැහැදී සිටියද අද මෙන් මිත්‍රශීලී නොවීය.අකුරට කම්මැලි වූ තැනදී ලබා දුන් දඬුවම් ගැන‘‘ වදන්කවිපොත“ සිහිපත් කරන්නේ  මේ අන්දමටයි.

වේවැල් කෝටු නාරං සියඹලා අතු

කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු

මෙහැම ඉපල් මගෙ දෑසට නොපෑ යුතු

පමා නොවී එමි අකුරට මෙයින් මතු…..

එහෙත් දරුවන් අකුරට මැලි වූයේ නැත අකුරු උගත් තැන ඉදිරිය ඇති බැව් ඔවුන් දැන උන්හ. ඒ බවට මෙම කවිය මනා වූ සාක්ෂියකි.

අල්ලට සිගාවත් රස නැති කැවිලි කකා

වල්කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා

කල් ගිය රෙදි වැරලි ඇද දැළි කුණෙන් වකා

ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article