පුංචි දරුවන්ට එයාලගේ පවුල තරම් වටින, විශ්වාසනීය, ආදරණීය වෙනත් තැනක් නම් නැහැ. අම්මා, තාත්තා දෙන්නම තුරුල්ලේ ආදරය විඳින එක, හුරතල් වෙන එත තරම් පුංචි පැටව් වෙනත් දෙයක් සොයන්නෙත් නැහැ. ආදරයෙන් වෙලීලා බොහොම ආදරණීයව ජීවිතය ගත කරපු පවුල් නොහිතන මොහොතක කැඩී බිඳී යන අවස්ථා අද වෙන විට බහුලව අහන්න ලැබෙනවා. අන්න ඒ නිසාම දෙමාපියන්ගේ වෙන්වීමකදී එය දරැවාට බලපාන්නේ කොයි ආකාරයෙන්ද කියා මේ ලිපිය තුළින් සාකච්ඡා කරන්න අපි හිතුවා.
දෙමාපියන්ගේ වෙන් වීමකදී මුලින්ම දරුවෙකුට ඇතිවන්නේ දෙමාපියන් වෙන්වන බව අදහාගැනීමට අපහසු වීමයි. මේ අවස්ථාවේදී ඔවුන් දෙමාපියන් වෙන්වන බව ප්‍රකාශ කළත් එසේ නොවනු ඇතයි සිතනවා. නැතිනම් ඔවුන් නැවත එක්වනු ඇතයි සිතනවා. ඉන්පසු ඇතිවන්නේ දෙමාපියන් වෙන්වීම පිළිබඳ දෙමාපියන් කෙරෙහි කේන්තියක් ඇතිවීමයි. දෙමාපියන් ආත්මාර්ථකාමී බවත්, ඔවුන් ගැන පමණක් සිතන බවත්, දරුවාගේ සතුට ගැන තැකීමක් නැති බවත් සිතනවා. ඉන්පසු දරුවන් බොහෝවිට දෙමාපියන් නැවත එක් කිරීමට උත්සහ ගන්නවා. මෙය සාර්ථක නොවූ පසු ඔවුන් දුකටත්, කනස්සල්ලටත් පත්වනවා. අවසානයේ කාලයත් සමඟ ඔවුන් දෙමාපියන් නැවත එක් නොවන බව තේරුම් ගෙන එයට හැඩ ගැසෙනවා. දරුවන් දෙමාපියන්ගේ වෙන්වීමට ප්‍රතිචාර දක්වන අන්දම දරුවාගේ වයස අනුව ද වෙනස් වේ.
අවුරුදු 3ට අඩු දරුවන්
- වැඩිපුර හැඬීම
- නින්දට බාධා ඇතිවිය හැකිය/බියකරු සිහින දැකීම
- වෙනදාට වඩා මව/පියා අසල ගැවසීම/ඇඟෙහි එල්ලීම
- වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම
පෙර පාසල් දරුවන් (අවුරුදු 3-5 අතර)
- මව/පියා දැන් තමාට ආදරය නොකරන බව සිතීම
- දෙමාපියන් වෙන්වුනේ තමාගේ වරදකින් බව සිතීම
- වෙනදාට වඩා නිතරම මව/පියා සතුටු කිරීමට උත්සහ කිරීම
- නැවත ඇඳ තෙමීමට, ඇඟිලි ඉරීමට හෝ නැවත කුඩා දරුවෙක් ලෙස කතා කිරීමට පටන් ගැනීම
- වෙනදාට වඩා මව/පියා අසල ගැවසීම/ඇඟෙහි එල්ලීම
- වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම
අවුරුදු 6-8 අතර දරුවන්
- වෙන්වූ මව/පියා නැතිව දැඩි පාළුවක්/කාංසාවක් දැනීම
- වෙන්වීම නිසා මවට/පියාට ඇතිවන ගැටළු ගැන කල්පනා කිරීම
- දරුවා ජීවත් වන්නේ මව සමඟ නම්, ඔවුන්ට පියාත් සමඟ ඇති සම්බන්ධය නැති වේයැයි බිය වීම
- දෙමාපියන් වෙන්වුනේ තමාගේ වරදකින් බව සිතීම
- නිතරම හැඬීම, දුකින් සිටීම
- වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම
අවුරුදු 9-12 අතර දරුවන්
- දෙමාපියන්ගේ වෙන්වීම පිළිබඳ ලැජ්ජාවට පත්වීම
- එක් දෙමාපියෙකුගේ පැත්ත ගෙන අනෙක් කෙනාට වරද පැටවීම
- වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම
- තමාගේ අනාගතය ගැන බිය වීම
- නිතර බඩේ අමාරු, හිසේ කැක්කුම් ආදිය ඇතිවීම
අවුරුදු 13-18 අතර
- දෙමාපියන්ට තවදුරටත් තමාගේ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වේ යැයි බිය වීම
- දෙමාපියන් සමඟ ඇති සම්බන්ධතාව දුර්වල වීම/ පවුලෙන් ඈත් වීම
- වැඩිපුර ස්වාධීන වීමට උත්සහ ගැනීම
- පාසැල් වැඩට ඇති උනන්දුව/අවධානය අඩුවීම
- වෙනදාට වඩා ඉක්මන් කේන්තිය/ කේන්තිය පාලනය අපහසු වීම
දෙමාපියන්ගේ වෙන්වීම ගැන දරුවාට කිව යුත්තේ මොනවාද?
- හැකිනම් දෙමාපියන් දෙදෙනාම එක්ව දරුවාට මේ ගැන පවසන්න. නමුත් මේ ගැන කතා කිරීමේදී ඔබ දෙදෙනා රණ්ඩු වේයැයි සිතේ නම්, වෙන් වෙන්ව පැවසීම සුදුසුයි.
- ඔබ දෙදෙනා වෙන්වන බව ඉතා සරලව දරුවාට පැහැදිළි කරන්න. වෙන්වීමට හේතු දරුවා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න එපා.
- ඔබ දෙදෙනා වෙන් වුනත්, දෙදෙනාම පෙර සේම දරුවාට ආදරය කරනබව පැහැදිලි කරන්න
- ඔබ දෙදෙනා වෙන්වීමට දරුවා කිසිම ආකාරයකින් වගකිඅයුතු නොවන බව පවසන්න
- ඔබ දෙදෙනා නැවත එක් කිරීම සඳහා දරුවාට කළ හැකි දෙයක් නොමැති බව පවසන්න.
- දෙමාපියන් වෙන්වීම ගැන දරුවා දුක්වන බව තමා දන්නා බව පවසන්න. දරුවාට හැඟිම් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන්න.
- දරුවා දෙමාපියන් දෙදෙනාටම ආදරය කරන බව ඔබ දෙදෙනාම දන්නා බවත්, එමනිස දරුවාට වෙනදා මෙන්ම ඔබ දෙදෙනා සමඟම සම්බන්ධතාවක් පවත්වා ගත හැකි බවත් පවසන්න
- දරුවාට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදෙන්න.
- ඔබ දෙපළ වෙන්වීමෙන් පසු දරුවාගේ එදිනෙදා ජීවිතය වෙනස්වන ආකාරය සාකච්ඡා කරන්න. උදා: දරුවා ජීවත් වන්නේ ඔබ දෙදෙනාගෙන් කවුරුන් සමඟද, සති අන්තය ගත කරන්නේ කාත් සමඟද, වෙනදා අම්මා/තාත්තා කළ දේවල් මින්පසු කරන්නේ කවුද ආදිය
- දරුවාට බොරු පොරොන්දු දීමෙන් වලකින්න. දරුවාට යමක් පොරොන්දු වුනොත් එම පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකරන්න. උදා: මව සමඟ ජීවත්වන දරුවාට දිනපතා දුරකථනයෙන් කතා කරන බවට පියා පොරොන්දු වූයේ නම්, පොරොන්දු වූ පරිදි දිනපතා කතා කරන්න. නැතිනම් එවැනි පොරොන්දු දීමෙන් වැලකී සිටින්න.
දෙමාපියන්ගේ වෙන්වීමට හැඩ ගැසීමට උදව් වීමට ඔබට කළ හැක්කේ කුමක්ද?
- දරුවාට වෙනදා පැවති දින චර්යාව පවත්වා ගැනීමට හැකි තරම් උත්සහ ගන්න. උදා: වෙනදා මෙන් පාසැල් යාමට, යහළුවන් ඇසුරු කිරීමට, විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත විමට යොමු කරන්න
- එකවර වෙනස්වීම් රාශියක් සිදුකිරීමෙන් වලකින්න. උදා: ජීවත්වන නගරය, නිවස, පාසල ආදිය සියලු දේ එකවර වෙනස් කිරීමෙන් වලකින්න
- දරුවාට මව/පියාගේ නෑදෑයින් (උදා: අත්තම්මා, සීයා) සමඟ කිට්‍ටු සම්බන්ධතාවක් තිබුණි නම්, එම සම්බන්ධතා ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට ඉඩදෙන්න
- දරුවාට ඔබ දෙදෙනාගේ වෙන්වීමට හුරුවීමට කාලයක් ගතවන බව තේරුම් ගන්න
දෙමාපියන් වෙන්වූ අවස්ථාවකදී නොකළ යුතු දේ මොනවාද?
- දරුවා ඔබ දෙදෙනා අතර පණිවිඩකාරයෙකු ලෙස යොදා ගන්න එපා. ඔබට දරුවාගේ පියාට/මවට යම් පණිවිඩයක් දීමට අවශ්‍ය නම්, එය ඔබම පවසන්න. ඒ සඳහා දරුවා ගැනීමෙන් වලකින්න
- දරුවා ඉදිරිපිටදී රණ්ඩු වීමෙන් වලකින්න
- දරුවාගේ මවගේ/පියාගේ වැරදි දරුවා සමඟ පැවසීමෙන් වලකින්න
- දරුවා ඔබ දෙදෙනාටම එකසේ ආදරය කරන බව මතක තබාගන්න. එමනිසා දරුවාට ඔබ දෙදෙනාගෙන් එක් අයෙක් තෝරා ගන්නට සලස්වන්න එපා.
- දරුවා තම මව/පියා ගැන ඔත්තු බැලීමට යොදාගන්න එපා. උදා: “තාත්තා කාටද call කරන්නේ”, “අම්මා හම්බුවෙන්න වෙනත් පිරිමි අය එනවද?” වැනි දෑ දරුවාගෙන් ඇසීමෙන් වලකින්න
- දරුවා ඔබ දෙදෙනා සමඟම සම්බන්ධයක් පවත්වාගැනීම වැදගත්. එමනිසා දරුවාගේ මව/පියාගෙන් පළිගැනීමට අවශ්‍ය නිසා ඔවුන්ට දරුවා සමඟ සම්බන්ධයක් ඇතිකරගැනීම වලක්වන්න එපා.
- ඔබ දෙදෙනා වෙන් වීමට හේතු දරුවා සමඟ සාකච්ඡා කරන්න එපා. උදා: මව/පියාගේ වෙනත් ආදර සම්බන්ධතා, ලිංගික ගැටළු, නෑදෑයන්ගෙන් වන වෙනස්කම් දරුවා දැනගැනීම අනවශ්‍යයි
- ඔබගේ සිත සැනසීමට, දුක බෙදාගැනීමට යහළුවෙක් ලෙස දරුවා යොදා ගන්න එපා. ඔබට ප්‍රශ්න පිළිබඳ කතා කිරීමට, දුක බෙදාගැනීමට කෙනෙක් අවශ්‍ය නම්, වෙනත් වැඩිහිටියෙකු සමඟ කතා කරන්න.
මෙම ලිපියෙන් සාකච්ඡා කළේ සාමාන්‍යය තත්ත්ව යටතේ දෙමාපියන් වෙන්වන අවස්ථාවකදී කළයුතු දේ පමණි. දෙමාපියන් වෙන්වූයේ මව/පියාගෙන් දරුවාට හිංසාවක් හෝ අපයෝජනයක් සිදුවූ නිසා නම් එහිදී ක්‍රියාකළ යුතු ආකාරය මින් වෙනස් ආරක් ගනී.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකයේ, ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මියගේ ලිපියකි