ලිංගික අධ්‍යාපනය දරුවන්ට අවශ්‍යමද?

පුංචි දරුවෝ ජීවිතය ඉගෙන ගන්නේ වැඩිහිටි අපෙන්. අපේ සමාජය තුළ මව්පියන් සිය යුතුකම් අකුරටම ඉටු කළත් ඔවුන්ට මඟහැරෙන, ඇත්තටම කිව්වොත් ඇතැම් විට හිතා බලාම මඟ හරින පැතිකඩක් විදියට දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම කියන පැත්ත දක්වන්න පුළුවන්.

 

සාමාන්‍යයෙන් දරුවෙක් තමන්ගේ පෞද්ගලික අවයවයන් දෙස බලන්න යොමු වන්නේ වයස අවුරුදු දෙක වෙනවිටයි. මේ වයසේ දරුවෝ තමන්ගේ ශරීරය දෙස කුතුහලෙන් බලන්න පටන් ගන්නවා. තමන්ට සහෝදර සහෝදරයෝ ඉන්නවා නම් ඒ අයගේත් පෞද්ගලික ප්‍රදේශ දිහා කුතුහලෙන් බලන්න පටන්ගන්නවා.

 

මේ වයසේ දරුවන්ට මුහුකුරා ගිය බුද්ධියක් නැති වුනත්, එයාලගේ පෞද්ගලික අවයව එයාලටම  පමණක් අයිති දෙයක් බව ක්‍රම ක්‍රමයෙන් අවබෝධ කරවීම වැඩිහිටි අපේ වගකීමක්. ඒ වගේම වයස අවුරුදු 3 – 4 වෙද්දී තමන්නේ මේ අවයව නම් වශයෙන් හඳුනා ගන්න උදව් කිරීමත් ඒ වගකීම් අතරින් එකක්.

 

තම පෞද්ගලික ප්‍රදේශ වෙනත් අය ස්පර්ෂ නොකළ යුතු බව දරුවන්ට අවබෝධ කළ යුත්තේ ඇයි?

 

ඇස්, කන,නාසය, දිව සහ සම වගේම ලිංගික අවයවයනුත් මනුස්සයන්ගේ සංවේදක අවයවයන්. රස, සුවඳ අත් දකිනවා වගේම දරුවන් ක්‍රමයෙන් ස්පර්ශයෙන් සතුටක් ලබන්න පෙලබෙන එක සාමාන්‍ය දෙයක්. අපි වැඩිහිටියෝ විදියට වගකීමක් ඇතිව අපේ හැසිරීම් දරුවන් ඉදිරියේ ප්‍රදර්ශනය කළ යුතුයි. ඒ දරුවන්ගේ හැමදේටම, මග පෙන්නමින් අවවාද කරන නිසා ඔවුන් සිතන්නේ දෙමාපියන් කරන හැමදේම නිවැරදි බවයි. ඒ නිසාම මේ දරුවෝ අම්මයි තාත්තයි කරනවා නම්, මටත් තව කෙනෙක් එක්ක එබදු දෙයක් කිරීම වරදක් නැතැයි  සිතන්න පෙළඹෙනවා. ඉතින් අපි දරුවන් තමන්ගේ පෞද්ගලික අවයව ගැන දැනුවත් කිරීමෙන් සහ ඒවා අන් අයගෙන් ආරක්ෂා කරන්න කියා දීමෙන් දරුවන්ට වෙන්න පුළුවන් මහා ව්‍යයසනයන්ගෙන් ඔවුන්ව බේරාගත හැකියි.

 

ඉතින් අවුරුදු දහයේ පමණ සිටම දරුවෙක්ට ලිංගික අධ්‍යාපනය දීම ඉතාම වැදගත්. එය ඉතා මූලික කාරණාවලින් පටන් ගෙන ක්‍රමත් ක්‍රමයෙන් වයසට අනුකූලව පහදා දිය යුතුයි. උදාහරණයක් විදියට අවුරුදු දහය කියන්නේ දරුවෙක් බොහෝවිට අනෙක් දරුවන් සමග තමන්ගේ කුතුහලය බෙදාහදා ගන්න කාලයයි. ඒ කාලය තුළ ඔවුන්ට පූර්ණ විස්තර නැති වුවත්, දෙදෙනෙක් අතර ලිංගික ක්‍රියා සහ මුලින්ම වැඩිහිටියෙක් වූ පසු පමණක් කළ යුතු බව අවබෝධ කර යුතුයි. ඒ ඔවුන් තමන්ගේ කුතුහලය ගවේෂණාත්මකව අනෙක් අය මාර්ගයෙන් විසඳගන්න පෙළඹිය හැකි නිසයි. ඒ වගේම වයස අවුරුදු 13 – 14 සිටම ගැබ් ගනීමේ අවදානම, සමාජ රෝග සහ අකාලයේ ජීවිතය අවදානමේ දැමීමෙන් තමන්ගේ ජීවිතයට වෙන අනතුරු පිළිබඳව දරුවන්ට  පහදා දිය යුතුයි.

 

දරුවා ස්වයං වින්දනයේ යෙදෙනවා දුටුවොත් ඔබ ක්‍රියා කළ යුත්තේ කෙසේද?

 

වයස අවුරුදු හතරක ඔබේ දරුවා තම රහස් ප්‍රදේශ අල්ලා ඒවා ගවේෂණය කිරීමත් වයස අවුරුදු දහයේ දරුවා එයින් තෘප්තියක් ලබනවා දැකීමත් දෙමාපියෝ විදිහට ඔබව ඉතාම පීඩනයකට යටත් කරවන කරුණත් විය හැකියි.

 

දරුවන් ළමයින් ස්වයං වින්දනයට පෙළඹෙන්නේ ඇයි ?

පෙර සදහන් කළ පරිදිම දරුවන් ස්පර්ශයෙන් ආස්වාදයක් ලබන්න පෙළඹෙන්නේ වයස අවුරුදු 4 – 5 අතරම කාලයේදී වුවත් එය සම්පූර්ණ ක්‍රියාවක් ලෙස ක්‍රියාත්මක කිරීම අරඹන්නේ වයස අවුරුදු 10 පමණ වන විටයි.

 

මෙවැනි අවස්ථාවකදී දරුවාට කෑගසා බැන වැදීමෙන් දරුවාගේ සිතේ විශාල ලැජ්ජාවක්, ආතතියක් ඇති කරවී දෙමාපියන් වෙත මුහුණ දීමට නොහැකි තත්ත්වයකට පත්වුවහොත් එය දරුවාට තදබල මානසික කම්පනයක් විය හැකියි. එය ඔබ සමග තිබෙන බැඳීම පලුදු වී තව දුරටත් ඔවුන්ගේ අත්දැකීම් ප්‍රශ්න ඔබ සමග බෙදා නොගැනීමට තරම් හේතුවක් විය හැකියි. ඒ නිසා කලබලයට පත්ව දරුවා අසරණ කිරීම නොව ඉතාම කල්පනාකාරීව ඉවසීමෙන් සහ ආදරයෙන් දරුවාට පහදා දිය යුත්තේ,

  • එය ඉතාම ස්වභාවික දෙයක් බවත්
  • ඒ දෙය කිරීම ගැන ලැජ්ජා හෝ කම්පා නොවිය යුතු බවත්
  • මව/පියා සමග ඕනෑම වෙලාවක ඒගැන කතා කිරීමට අවසර ඇති බවත්
  • විශේෂයෙන්ම එය අන් අය ඉදිරියේ නොකළ යුතු බවත් යන කරුණුය.

 

මේ සම්බන්ධයෙන් ඔබ තහංචි බාධක දැමීම දරුවන් තව දුරටත් ඒවා රහස් වශයෙන් සඟවා තබගැනීමටත් මෙවැනි ක්‍රියාකාරකම් අනාරක්ෂිත අයුරින් අන් අය සමගත් අත් හදා පෙලඹීමටත් හේතු විය හැකියි.

 

මේ සියලු දේ ගැන දැනුවත් කළද ඕනෑම දරුවෙක් වයස අවුරුදු 10 සිට මොනයම් හෝ ලිංගික ගවේෂණයක නියැලීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක් වන අතරම වැඩිහිටියන් ලෙස අපි සැලකිලිමත් විය යුත්තේ දරුවන් වැඩිහිටියන්ගෙන් අපයෝජනයට ලක් වීම වැලක්වා ගැනීම සම්බන්ධවයි.

 

බොහෝ රටවල අවුරුදු 14 ඉහළ දරුවන්ට තමන් ගැන තීරණ ගැනීමට නීතියනකූලව අවසර ලැබුණත්  අවුරුදු 18 වඩා අඩු දරුවෙක් අවුරුදු 18 වැඩි පුද්ගලයෙක් විසින් ලිංගික ක්‍රියාවලට ලක්කිරීම බොහෝ රටවල නීති විරෝධීයි. ඒ නිසා තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව හැම විටම තමන් විසින් දැඩිව තහවරු කළ යුතුයි. එය එසේ වුවද නව යොවුන්වියේ සමකාලීනයන් සමග ප්‍රේම සම්බන්ධතා සහ ලිංගික ගවේෂණ කිරීම බොහොම සාමාන්‍ය දෙයක්. අපි ඔවුන් දැනුවත් කළ යුත්තේ උපත්පාලන ක්‍රම, අනාරක්ෂිත ස්ථාන (Hotel Rooms) සහ සමාජ රෝග සම්බන්ධවයි.

 

මේ තත්ත්වයන් මෙසේ වුවද සෙනෙහසින්, ගෞරාවාන්විතව ඔබ සහ දරුවන් අතර ගොඩනගා ගන්නා ආරක්‍ෂිත බැඳීම මත දරුවන්ගේ අභිමානය රැකගනිමින් ජීවිත ගමන් මගට පහන් ටැබැක් සේ පාර කියන්න ඔබටත් හැකිවේවි.

 

ඕස්ට්‍රේලියාවේ  සිඩ්නි සෞඛ්‍ය දිස්ත්‍රික්කයේ ළමා, නව යොවුන් සහ පවුල් සෞඛ්‍ය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ලක්මාලි එදිරිමාන්න මහත්මියගේ ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here