- Advertisement -

කොරෝනා පසුපසින් අපේ රටට කවසාකිත් එයිද?

-

කොරෝනා එක්කම තවත් අලුත් ලෙඩක් ඇවිල්ලලු. වැඩිපුර හැදෙන්නේ පුංචි දරුවන්ටලු. අම්මලාගේ හිතට නිවනක් නැහැ. මොකද්ද මේ අලුත් ලෙඩේ කියලා හැම දෙනෙක්ම කලබල වෙලා තොරතුරු හොයන්න පටන් අරගෙන. ඒ නිසාම මේ අලුත් ලෙඩේ ගැන කතා නොකර බැහැ

ඇත්තටම මේ කොරෝනා පසුපසින් එනවා කියන කවසාකි අපේ රටටත් එයිද? 

- Advertisement -

මුලින්ම කියන්න ඕනේ කවසාකි කියන්නේ අලුත් රෝග තත්ත්වයක් නෙවෙයි. මීට අවුරුදු 50කට පමණ කලින් ජපානයේ වෛද්‍යවරයෙක් වුණු ටොමිසාකු කවසාකි විසින් තමයි මේ තත්ත්වය සොයා ගත්තේ. ජපානයේ බහුලව මේ තත්ත්වය දැකගන්න ලැබුණා. අපේ රටෙත් මේ තත්ත්වයට ගොදුරු වන දරුවන් හමුවුණා. දැනට වසර විස්සක පමණ කාලයක් තිස්සේ මේ රෝගයට ගොදුරු වන දරුවන්ට අපි ප්‍රතිකාර කරනවා. 

අලුත් රෝග තත්ත්වයක් නොවුනත් කොරෝනාවලින් පස්සේ මේ තත්ත්වය ඇති වුණු බවට කතාවක් ගොඩනැගිලා තියෙනවා. ඒ ඇයි?

ඒකට හේතු වෙන්න ඇත්තේ මේ රෝග තත්ත්වය කුමක් හෝ වෛරස/ බැක්ටීරියා හේතුවෙන් ඇති වෙන රෝග තත්ත්වයන්ට පසුව යම් වැඩි වීමක් පෙන්නුම් කරන නිසා විය හැකියි. කොරෝනා අධිකව ව්‍යාප්ත වුණු රටවල්වලින් මේ කාලය තුළ වැඩි වශයෙන් කවසාකි තත්ත්වය වාර්තා වුණා. 

කොරෝනා රෝගයත් එක්ක මේ තත්ත්වය අපේ රටෙත් ඉහළ ගිහින්ද?

නැහැ. අපේ රට ඇතුළු කිසිදු ආසියාතික රටක සාමාන්‍යයෙන් වාර්තා වන කවසාකි රෝගීන් සංඛ්‍යාව හැර කොරෝනා රෝගයත් සමග විශේෂ ඉහළ යාමක් දක්නට ලැබුණේ නැහැ. 

කවසකි තත්ත්වයට හේතුව වෛරසයක් හෝ බැක්ටීරියාවක්ද?

නැහැ. වෛරස හෝ බැක්ටීරියා ආසාදනයකට පසුව අපේ සිරුරේ ඒවාට විරුද්ධව සටන් කරන ප්‍රතිදේහ පද්ධතිය අධි සක්‍රීය වීමත් සමග ඇති වන රෝග තත්ත්වයක් තමයි මේක. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධි සක්‍රීය වීම රෝගියාට බලපෑම් කරන්නේ නැද්ද?

නිසි කලට ප්‍රතිකාර නොකිරීම යම් යම් සංකූලතාවලට හේතු විය හැකියි. සිරුරේ ඇති මධ්‍ය ප්‍රමාණයේ රුධිර වාහිනී ආසාත්මික වෙලා ඒවා දුරුවල වී රුධිර කැටිති එකතු වී හෝ දුර්වල වී ඒවාට හානි වීමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය සිරුරේ ඕනෑම තැනක දැකිය හැකියි. ‍නමුත් මෙතැනදි හෘද වස්තුව තුළ මේ තත්ත්වය ඇති වීම යම්තාක දුරට අවදානම් සහගත විය හැකියි.  

වෛද්‍යතුමනි, මොනවද මේ තත්ත්වයේදී දරුවෙකු පෙන්නුම් කරන රෝග ලක්ෂණ

  • තද උණ (පැරසිටමෝල් ලබාදුන්නද පහළ නොබහින මේ උණ තත්ත්වය දිගු කාලයක් පැවතිය හැකිය)
  • ඇස්/සම රත් පැහැ වීම
  • තොල්/උගුර/දිව (ස්ට්‍රෝබෙරි ගෙඩියක ආකාරයට)  රත් පැහැ වීම
  • අත් පා කෙලවර ඉදිමීම/පුපුරා යාම
  • වසා ගැටිති ඉදිමීම
  • මද සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවය
  • උදරයේ වේදනාව
  • හන්දි කැක්කුම
  • බීසීජී කැලල අවට අසාත්මිකතා ඇති වීම

 

මේ රෝග තත්ත්වය ප්‍රතිකාර මගින් සුව කළ හැකි තත්ත්වයක්ද?

ඔව්. දැනුවත් බව සහ නිසි කලට නිසි ප්‍රතිකාර වෙත යොමු වීම මගින් කවසාකි රෝගය සුව අතට හරවා ගත හැකියි. ඇතැම් අවස්ථාවල දරුවෙක් මේ රෝගයේ සියලුම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරනවා වෙන්නත් බැරි නැහැ.  නමුත් මව්පියන් දැනුවත් වීමෙන් සහ නිසි අවධානයෙන් සිටීම මගින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වෙනවා. 

ඒ කියන්නේ කවසාකි රෝගය පිළිබඳව මව්වරුන් තුළ ඇතිව තිබෙන්නේ අනියත බියක්ද?

ඇත්තටම අනියත බියක් ඇති කරගත යුතු රෝග තත්ත්වයක් නොවෙයි. පෙර සඳහන් කළ පරිදිම නිසි කලට නිසි වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර සිදු කිරීම මගින් රෝගය සුව අතට හැරෙනවා. දරුවන් අතර පවතින රෝගයක් ගැන ඇහුවම හැම අම්මා කෙනෙක්ම බියට පත්වෙනවා, මේ තත්ත්වයට මුහුණ දෙන්න වුණොත් කියලා. වැදගත් වෙන්නේ අවධානයෙන් සිටීම තමයි. දරුවා පෙන්නුම් කරන රෝග ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කරලා ළමා රෝග පිළිබඳව වෛද්‍යවරයෙකුට යොමු වීම නිසි වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබාදීම වැදගත් වෙනවා.

කොයි ලෙසකින් හෝ කල් තියා මෙම රෝග තත්ත්වය හඳුනා ගැනීමට නොහැකි වුවහොත්,

එතැනදි හදවතට විය හැකි සංකූලතා තමයි මේ තත්ත්වයේදී යම් අවදානමක් පෙන්නුම් කරන්නේ. ඒත් රෝහල් ගතව ප්‍රතිදේහ ලබාදීම ඒ වගේම ඇස්ප්‍රින් ඖෂධය ලබා දීම මගින් රුධිර නාල දුර්වල වීම් රුධිර කැටි ගැසීම් අවම කරගත හැකියි.

වෛද්‍යතුමනි, මෙසේ සිදුවන හානියක් හේතුවෙන් ජීවිතය අවදානමට ලක්විය හැක්කේ රෝගය පවතින අවස්ථාවේදී පමණක්ද?

නැහැ. ඒ තත්ත්වය රෝගය උත්සන්නව පවතින අවස්ථාවේදී විය හැකි වනවා සේම රෝගයේ අතුරු ඵලයක් ලෙස අඩු වයසින් හෘදයාබාධ තත්ත්ව ඇති වීමටත් හේතු විය හැකියි. කිරීටක ධමනි ආසාදිත තත්ත්වයට පැමිණ සුව වූ දරුවෙකු සායන හරහා යම් කාලයක් පරීක්ෂා කිරීම සිදු කරන්නේ එවැනි අවස්ථා වළක්වා ගැනීමේ අරමුණෙන්.

මේ රෝග තත්ත්වය ගැන මව්පියන්ට ලබාදිය හැකි උපදෙස කුමක්ද?

ඇත්තටම මේ රෝගය පිළිබව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. මේ රෝගයට ඖෂධ තියෙන නිසා සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. නමුත් දරුවන්ගේ රෝග තත්ත්ව පිළිබඳව නොසලා හැරීම කිසිසේත්ම සුදුසු නැහැ. දරුවා පිළිබඳ මනා අවධානය යොමු කොට සැක සහිත අවස්ථාවලදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගැනීම නුවණට හුරුයි. 

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සමග සකකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article