- Advertisement -

ස්වභාවික ගබ්සාවක් ගැන මේ කරුණු දැන සිටියාද?

-

පුංචි පැටියෙක් කුසට ආ දවසේ ඉඳලාම අම්මා කෙනෙක් එයාව දැක ගන්න හීන
දකිනවා වුණත් ඇතැම් විට ඇයට මුහුණ දෙන්නට සිදුවන්නේ හාත්පසින්ම
වෙනස් තත්ත්වයකට විය හැකියි. එයට හේතු විය හැක්කේ ස්වභාවිකවම ඒ
කලලය ගබ්සාවට ලක් වීමයි.
ගැබ් ගෙන ඇති බව දැනගත් දවසේ සිට ආසන්න වශයෙන් සති 24ක්දක්වා
කාලය තුළ කලලය මිය යාම මෙන්ම වෛද්‍ය ආධාර ඇතිව හෝ නැතිව දරුවාට
ජීවත් විය නොහැකි නම් එය ද ගබ්සාවක් විදියට හදුන්වනවා.

ගබ්සා වීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේද?

- Advertisement -

එහෙම කියන්න බැහැ. ගැබිනි කාන්තාවන් 100ක් ගත්තම 15 දෙනෙක් පමණ මේ
තත්ත්වයට මුහුණ දෙනවා. බොහෝ විට මේ තත්ත්වය ගැබිනි සමයේ පළමු සති
12ට පෙර සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. එය බොහොම සාමාන්‍ය
තත්ත්වයක්. සති 12 පසු ගබ්සා වීම් ඇති වීමේ ප්‍රවණතාවය අඩුයි.

ගබ්සාවකට මව‍ගේ ගැටලු හේතු විය හැකිද?

ස්වභාවික ගබ්සාවකට බොහෝවිට හේතු වන්නේ කලලයේ ඇති සංකූලතා.
නිරෝගී පුරුෂයෙක් ගත්තොත් එම පුද්ගලයාගේ ශුක්‍රාණුවල අසාමාන්‍ය සෛල
පැවතිය හැකියි. ඒ වගේම කාන්තාවක් තුළ පවතින්නේ ඇය මව්කුස තුළ පිළිසිඳි
අවස්ථාවේ ඇති වූ ඩිම්බ මිස අලුතින් ඩිම්බ සැකසීමක් සිදු වෙන්නේ නැහැ. ඉතිං
පුරුෂයෙකුගේ එවැනි අසාමාන්‍ය සෛලයක් කාන්තාව‍කගේ හොඳ තත්ත්වයේ
හෝ ගැටලු සහිත හෝ ඩිම්බ සෛලයක් සමග සංසේචනය වීමෙන් ඇති වෙන
යුක්තානුවේ අඩු පාඩු තිබිය හැකියි. එවැනි අවස්ථාවකදී පැවැත්මක් නොමැති මේ
කලලය සොබා දහම මගින්ම ඉවත් කිරීම සිදු කරනවා. ඒක බොහොම සාමාන්‍ය
තත්ත්වයක්.

දිගින් දිගටම මෙවැනි ගබ්සා සිදුවිය හැකිද?

පිට පිට ගබ්සා වීම් සිදු වෙන අවස්ථා තියෙනවා. ඒත් ඒවා 1%කටත් අඩු
මට්ටමක තමය පවති‍න්නේ. එවැනි තත්ත්වයකදී වගේම සති 12 ආසන්න
කලලයක් නම් එසේ සිදු වීමට හේතු සොයා බැලිය යුතුයි.

ගැබිනි කාන්තාවක් තමා සිටින්නේ ස්වභාවික ගබ්සාවකට ගොදුරු වී බව
දැනගන්නේ කොහොමද?

ගබ්සාව සිදු වුණේ සති කීයෙන්ද යන වග දැන ගත යුතු කරුණක්. ඒත් ගැබිනි
කාන්තාවකට මේ කාලය තුළ එවැනි තත්ත්වයක් වටහා ගැනීමට හැකියාවක්
නම් නැහැ. කලලයේ කොටස් සහිතව රුධිර වහනයක් වීම නිසා හෝ වෛද්‍ය

උපදෙස් ලබාගැනීමට පැමිණ එසේත් නැතිනම් සායනයට පැමිණි අවස්ථාවක
තමයි මේ පිළිබඳව නිරීක්ෂණය වෙන්නේ.

ගබ්සා වීම නිවැරදිව විනිශ්චය කළ හැක්කේ කෙසේද?

අද තරම් වෛද්‍ය විද්‍යාව නොදියුණු අතීතයේදී නම් ගැබ්ගෙල විවෘත වී රුධිර
කැටිති පිටවීම අනුව ස්වභාවික ගබ්සාවක් සිදු වී ඇති බවට වෛද්‍යවරු නිර්ණය
කළා. ඒ වගේ කලලයේ බර ග්‍රෑම් 500ට අඩු නම් එය ගබ්සාවක් බව කියනවා.
ඒත් අද වන විට වෛදය විද්‍යාවේ දියුණුවත් සමග අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂන හරහා
නිශ්චිතව රෝග විනිශ්චය ලබාදිය හැකියි

මෙවැනි අවස්ථාවකදී අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය සිදු කෙරෙන්නේ
කුමනාකාරයෙන්ද?

එය උදරය හරහා හෝ යෝනි මාර්ගය හරහා අභ්‍යන්තරයෙන් සිදු කළ හැකියි.
ඒ ස්කෑන් පරීක්ෂණය හරහා කලලයක් නැතිව පැසය පමණක් ඇති බව නිශ්චය
වීමත් සමග හෝ කලලයේ හෘද ස්පන්දනය නතර වී තිබීම, කලලයේ දිග පළල
අනුව ස්වභාවික ගබ්සාවක් සිදු වී ඇති බව තීරණය කළ හැකියි.

අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයෙන් මේ පිළිබව ස්ථිරවම කිව හැකිද?

ඇතැම් විට හොදින් නොපෙනෙන අවස්ථාත් තියෙනවා. එවැනි අවස්ථාවල
සතියකින් හෝ දෙකකින් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් සිදු කර තත්ත්වය
විනිශ්චය කොට මව්පියන් දැනුවත් කිරීම සිදු කරනවා.

මේ සඳහා යොදා ගන්න පුළුවන් අල්ට්‍රා සවුන්ඩ් ක්‍රමය පමණයිද?

නැහැ.. ගැබිනි සමයේ හෝමෝන (HCG) මට්ටම පරීක්ෂා කොට එම මට්ටම
පහළ බැසීමක් ඇත්නම් එවැනි තත්ත්වයක් ස්භාවික ගබ්සාවක් ලෙස හඳුනා
ගැනෙනවා.

ස්වභාවික ගබ්සාවක් බව නිශ්චය වූ පසුව සිදු කරන්නේ කුමක්ද?

අතැම් විට මිය ගිය කලලය ස්වභාවිකවම සිරුරෙන් ඉවත් වීමට ඉඩ හැරිය
හැකියි. එසේත් නැති නම් ගර්භාෂයේ ඉතිරිව ඇති කොටස් ඉක්මනින් ඉවත්
වීමට ඖෂධ ලබාදිය හැකියි. නොඑසේ නම් ඉතා සුළු ශල්‍යකර්මයක් මගින්
සියලු කොටස් ඉවත් කිරීම සිදු කළ හැකියි.

ස්වභාවික ගබ්සාවකින් පසු නැවත පිළිසිද ගැනීමක් සමබන්ධව කාන්තාවක්
දැනුවත් විය යුත්තේ කෙබදු කරුණුද?

ඔසප් චක්‍රයේදී ගර්භාෂය අලුතින් සකස් වන නිසා නැවත ගැබ් ගැනීමට කාලයක්
බලා සිටිය යුතු නැහැ. ඒත් ගබ්සාවක් කියන්නේ කාන්තාවකට මිහිරි අත්දැකීමක්
නොවන නිසා ඇය නැතව ගැබ් ගැනීමකට මානසිකව සූදානම් වීම අත්‍යවශ්‍යයි.

මහමෝදර ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද
සිල්වා මහතා සමග සකසන ලද ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article