- Advertisement -

දරුවා රැකබලා ගන්නා ඔබට පැවරෙන වගකීම් ගැන දැනුවත්ද?

-

දරුවා යනු බාහිර ලෝකයට සූදානම් නොවූ අනාරක්‍ෂිත වූවෙකි. එවන් දරුවෙකුහට සිදු විය හැකි අවදානම් හා අනතුරු බහුලය. ඉගෙනීම පිළිබඳව ධනාත්මක ආකල්ප සංවර්ධනය කරගැනීම දරුවන් සඳහා සුවිශේෂී වේ. මෙම ඉගෙනුම් ක‍්‍රියාවලියෙන් අපේක්‍ෂා කරනුයේ පාසලේදී සුවිශේෂිත දස්කම් පෑමක් නොව ජීවත් වන ලෝකයේදී මුහුණදෙන්නට සිදුවන විවිධ වූ අභියෝග ජය ගැනීමට වන හැකියාව වර්ධනය කරන්නා වූ මාර්ග පහදන්නකි.

බාල වියේ සත්කාර හා සංවර්ධනය යනු දරුවෙකුගේ මනෝ සමාජීය උත්තේජනය හා ප‍්‍රජනන සංවර්ධනය කෙරෙහි ප‍්‍රමුඛතාවය දක්වමින් පවත්නා සේවාවන් ශක්තිමත් කරන්නා වූ ප‍්‍රවේශයකි. මෙම ප‍්‍රවේශය ප‍්‍රධාන වශයෙන් දෙමාපියන් හා පවුලේ සමීපතමන්ගේ සත්කාර සපයන ක‍්‍රියාකාරකම් මත රැදෙයි. ඒ අනුව ප‍්‍රජාවේ සිදු කරන බාල ළමාවියේ සත්කාර හා සංවර්ධන වැඩසටහන් මගින් දරුවන්ගේ මනෝ සමාජීය උත්තේජනය සහ ප‍්‍රජනක සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් දරුවන්ට අවශ්‍ය වූ සත්කාරය සැපයීම සිදු කරයි.

- Advertisement -

දරුවෙකුගේ බාල ළමාවිය ආරම්භ වනුයේ එම දරුවා මව්කුස පිළිසිදුනු දිනය. ඒ දරුවාගේ ජීවිතයේ ආරම්භය එනම් පිළිසිඳීම සිදු වූ අවස්ථාවේ සිටම ගර්භණී මව කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. කළල මොළයේ සංවර්ධනය මෙම සමයේදී ඇරඹෙන අතර ගර්භණී සමයේ ඇති වන සිදුවීම්වල බලපෑම්වලට ලක්විය හැක. ගර්භණී සමයේදී සිදුවන විවිධ සිද්ධීන් වර්ධනය වන දරුවා කෙරෙහි හිතකරව මෙන්ම අහිතකරවද බලපෑ හැකිය. මේ නිසා මවකට ගර්භණී සමයේදී දරු ප‍්‍රසවයේදී හා ප‍්‍රසවයෙන් පසු කාලයේදී ලබාදෙන සත්කාරය දරුවන්ගේ ප‍්‍රශස්ථ වර්ධනය හා සංවර්ධනය සහතික කිරීම සඳහා බෙහෙවින් වැදගත් වේ.

මෙම කාලය තුළදී ගර්භණී මව නිසි රැකවරණයෙන් සත්කාරයෙන් හා ආදරයෙන් රැකබලාගත යුතුය. ඇයට අවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයිය යුතුය. ඇගේ පෝෂණය පිළිබඳව සොයා බැලිය යුතුය. එමගින් මවත් – බිළිදාත් යන දෙදෙනාම සෞඛ්‍යමත් බව තහවුරු කරයි. 

මවගේ වැඩ කොටස පවුලේ සියලු දෙනා අතර බෙදී යා යුතුයි. මවට අධික වැඩ කටයුතු ප‍්‍රමාණයක නියලීමට සිදුවීම කළල වර්ධනයට බලපෑමෙන් අඩු උපත් බර සහිත දරුවන් බිහිවීමට ඉඩ ඇත.

ගර්භණී මවක් වෙනුවෙන් පැවතිය යුතු වැදගත් සත්කාර පුරුදු කිහිපයකි.

  • අවශ්‍ය පෝෂණය සැපයීම
  • ඇගේ දෛනික කාර්යභාරයන් අවම කිරීම
  • නිතිපතා සෞඛ්‍ය සේවා පහසුකම ලැබීමට උනන්දු කිරීම හා සහය ලබාදීම
  • ආතතියෙන් ඈත් කිරීම
  • නිවසේ සිදුවන කලකෝලාහලවලින් දරුවා ඈත් කිරීම

ගර්භණී සමයේදී මවට ලබාදුන් සත්කාරය දරු උපතින් පසුවත් දිගින් දිගටම පැවතිය යුතුය. දරුවා ප‍්‍රසූතිය සිදුවන අවස්ථාවේ ළදරුවාගේ මොළයේ වර්ධනය සම්පූර්ණ කර නොමැති බව මතක තබාගත යුතුය. මොළයේ වර්ධනය ඉදිරි වර්ෂ තුනක කාලයක් දක්වා සිදුවන අතර ඉපදී ගෙවන මුල් වසර මෙහිදී වඩා වැදගත් වේ. මොළයේ වර්ධනයට ජානමය සාධක මෙන්ම පාරිසරික සාධකද බලපායි.

මොළයේ සෑදෙන සෛල සම්බන්ධතා හෙවත් උපාගම සංඛ්‍යාව මෙන්ම විද්‍යුත් සබඳතා ඇතිවන ප‍්‍රමාණයද දරුවා මුල් වසර කිහිපය තුළ ලබන අත්දැකීම්ද වැදගත් වේ. මේ නිසා ගැටලු සහිතව උපත ලබන දරුවන් ඇතුළු සියලුම දරුවන්ගේ වර්ධනය හා සංවර්ධනය උපරිම මට්ටමකින් ඇති කිරීම සඳහා මුල් වසර තුන තුළ සෑම සියලු අංගවලින්ම ප‍්‍රමාණවත් සත්කාරයක් සැපයීමෙන් හැකිවෙයි.

දරුවන් රැකබලා ගන්නා, හදන වඩන සෑම අය මෙන්ම දෙමාපියන්ද මේ කරුණු දැන සිටිය යුතුය. මෙම අවශ්‍යතාවයන්ගෙන් බොහෝමයක් ඔවුන් විසින් දරුවන්ට ලබාදිය යුතුය. දරුවා උපන් මොහොතේ සිට තමන් අවටින් ලැබෙන අත්දැකීම් ඔස්සේ ඉගෙනීම අරඹයි. සෑම දරුවෙකුම උපත ලබන්නේ වර්ධනය හා විකසනය වීමේ සුවිශාල විභවයක් ඇතිවය. එහෙත් මෙම විභවමය හැකියාවන් පුබුදුවාලීමට හැකි අතරම නොසලකා හැරීම තුලින් මැලවී පරවී යාමට හැරීමටද හැක. මේ දෙමාර්ගයෙන් කවරක් තෝරා ගන්නේද යන වගකීම පැවරෙනුයේ දෙමාපියන් හෝ රැකබලාගන්නා අය වෙතය. ඇත්ත වශයෙන්ම ඉගෙනීම් ක‍්‍රම පදනම් වනුයේ හෝ ගොඩනැඟීම සිදුව ඇත්තේ ළදරුවා තුල ඉගෙනීම සඳහා පවත්නා ආශාව හා කුතුහලය පදනම්වය. දරුවන්ට අත්හදා බැලීමට හා ඉන් ඉක්බිතිව ඉගෙනීමට අවස්ථාව සලසාදීම ඒ නිසා බෙහෙවින් වැදගත් වේ.

ළදරුවෙකුට කෙරෙන සත්කාරය බිළිඳගේ උපතත් සමගම ආරම්භ වන්නකි. දරුවාගේ පළමු ගුරුවරු, මිත‍්‍රයන් හා ක‍්‍රීඩා සහකරුවන්නේ දෙමාපියන්ය. ඒ නිසා දරුවන් සමග අන්තර් ක‍්‍රියාකරන්නේ කෙසේද දරුවන් උත්තේජනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව අදාල තොරතුරු ලබාදෙමින් ඔවුන්ට සහාය දිය යුතුය. දරුවා වර්ධනය වන මෙම සතුටුදායක පරිසරය බිහිකිරීමේ වගකීම පැවරෙනුයේ දෙමාපියන්හටය.

දරුවාට උපත දුන් සැනින් මව පුල පුල බලා සිටිනුයේ දරුවා සිප සුරතල් කිරීමටය. මෙය උනන්දු කළ යුතුය. සෞඛ්‍ය සේවාවන් සපයන්නන් මෙම අවස්ථාව හැකි ඉක්මණින් මවට උදාකර දිය යුතුය. ළදරුවන්ට මව්කිරි දීම හැකි ඉක්මණින් ආරම්භ කළ යුත්තේ එමගින් මව හා බිළිඳා අතර සබඳතාවය ඇති වන බැවිනි. ඒ අතරම බිළිඳාට ප‍්‍රශස්ථ වූ පෝෂණය හා ආසාධන වැළැක්වීමේ හැකියාව (ප‍්‍රතිශක්තීකරණය) දරුවාට උරුම වෙයි. උපන් විගස හා ඉපදී ගෙවන මුල් මාස කිහිපය තුළ දරුවා ලබන වඩාත් වැදගත් සත්කාරය හා උත්තේජනය ලෙස මව්කිරි සැලකිය හැක. මවත් දරුවාත් අතර ඉතාමත් ශක්තිමත් සබඳතා ගොඩනැංවීම සඳහා මෙය උපකාරී වේ.

මව ළදරුවාගේ අවශ්‍යතාවයන්ට ප‍්‍රතිචාර දැක්විය යුතුය. ඇය දරුවා හඬන්නේ කුමක් නිසාද යන්න දැන ඒ අනුව ප‍්‍රතිචාර දක්වයි. ළදරුවා සුරතල් කළ යුතුය. ආදරය කළ යුතුය. ආරක්‍ෂා කළ යුතුය. 

ඔහුට හෝ ඇයට තමන් ආරක්‍ෂිත යයි හැඟීමක් ඇති වනුයේ දෙමාපියන් සමග ශක්තිමත් සබඳතාවයක් ඇති වුවහොත් පමණි. දෙමාපියන් තමන්ට ආදරය දක්වන්නේ කෙසේද සබඳතා ඇති කරගන්නේ කෙසේද යන්න මින් ඉගෙන ගනී. දෙමාපියන් දරුවා ඇමතිය යුත්තේ ආදරයෙනි. දරුවා ශබ්ද නැගීම ආරම්භ කළ විට බිළිඳා උනන්දු කළ යුතුය. මව හා පියා බිළිඳාගේ වචනවලට ප‍්‍රතිචාර දැක්විය යුතුය. මෙය දරුවා වර්ධනය වන විට සරල වචන භාවිතයට අවශ්‍ය උත්තේජනය සපයයි.

දරුවා යම් යම් දේ පිළිබඳ අත්හදා බැලීමට පවත්නා අවස්ථාව අහිමි නොකරමින් හානි හා අනතුරුවලින් දරුවා ආරක්‍ෂා කළ යුතුය. බිළිඳා අසල ඔහුට අවශ්‍ය නම් උදව් කිරීමට සූදානම්ව සිටිමින් අත්හදා බැලීම සඳහා දෙමාපියන් සහාය විය යුතුය. සෙල්ලම් කිරීම තුලින් පරිකල්පනමය සෙල්ලම් කිරීම තුලින් පරිකල්පනමය නිර්මාණශීලීත්වය උත්තේජනය කරයි.

 

එක් එක් වයස් පරතරයන් අතර දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව සලකා බලමු.

අවු. 0-1 අතර දරුවන්ගේ අවශ්‍යතා

  • ප‍්‍රමාණවත් පෝෂණය
  • ප‍්‍රමාණවත් සෞඛ්‍ය සත්කාරය
  • කායික හානිවලින් ආරක්‍ෂාව
  • සම්බන්ධතා ඇති කරගත හැකි වැඩිහිටියන්
  • ඔවුන්ගේ සංඥා අවබෝධ කරගත හැකි හා ප‍්‍රතිචාර දැක්වීමට සමත් වැඩිහිටියන්
  • දැකීමට, ඇඬීමට, ගඳ සුවඳ දැනීමට, රස දැනීමට
  • අවට ලෝකය ගවේෂණය සඳහා අවස්ථා
  • උචිත භාෂා උත්තේජනය

අවු. 1-3 දක්වා දරුවන්ගේ අවශ්‍යතා

  • නව චාලක, භාෂාමය හා සිතීමේ කුසලතා අත්පත් කර ගැනීම සහා සහාය
  • කිසියම් ස්වාධීනත්වයක් වර්ධනය කරගැනීමට අවස්ථා
  • තම චර්යාවන් පාලනය කරගන්නේ කෙසේද යන්න ඉගෙනීමට උදව්
  • තම කටයුතු තමා විසින්ම කරගැනීම සඳහා අවශ්‍ය ඉගෙනීම ආරම්භ කිරීමට අවස්ථා
  • විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගෙන සෙල්ලම් කිරීම සහාඳ වන දෛනික අවස්ථා

අවු. 3-5 දක්වා දරුවන්ගේ අවශ්‍යතා

  • ඉහළ දැක්වූ කුඩා ළමුන්ගේ සියලු අවශ්‍යතා මේ වයස් සීමාවේදී වැදගත් වේ 
  • තියුණු චාලක කුසලතා වර්ධනය සඳහා අවස්ථා
  • කතා කිරීම, කියවීම හා ගී ගැයීම ආදිය තුලින් භාෂාව භාවිතයට උනන්දු කිරීම
  • තම හැකියාවන් පිළිබඳ හිතකර හැඟීම් සංවර්ධනය කරන ක‍්‍රියාකාරකම්
  • සහයෝගය, උදව් කිරීම, බෙදාහදා ගැනීමට ඉගෙනීමට අවස්ථා
  • පූර්ව ලිවීම් හා කියවීම් කුසලතා සඳහා වන අත්හදා බැලීම්

 

ළදරුවා වයසින් වැඩෙත්ම අවශ්‍යතාද ඉහළ යයි. ඉගෙනීම සඳහා පුළුල් ක්‍ෂෙත‍්‍රයක අත්හදා බැලීම් කිරීමට අවස්ථාව සලසා දිය යුතුය. වැදගත් වනුයේ ඉගෙනීම සඳහා අවස්ථාවක් උදාකර දීමය. සමහර දෙමාපියන් තම දරුවන් කොතරම් ආරක්‍ෂා කරන්නේද යත් දරුවන්ට ඉගෙනීමේ අවස්ථා ලබා නොදෙමින් ඒවා තමන් නොදැනුවත්ව දරුවන්ට අහිමි කරයි.

ආහාර පිසීම, සේදීම, පිරිසිදු කිරීම වැනි ගෙදර දොර එදිනෙදා සිදුවන ක‍්‍රියාකාරකම් දරුවන්ට විවිධ ද්‍රව්‍ය හඳුන්වාදීම සඳහා යොදා ගත හැකිය. ගණන් කිරීම සඳහා මෙන්ම විවිධ ප‍්‍රමාණ, හැඩ, වර්ණ ආදිය ඉගැන්වීමටද එළවළු යොදා ගත හැකිය. ඔබ සිත යොමු කළහොත් නිවසේ පරිසරය තුලින් බොහෝ දේ ඉගෙනීමට දරුවාට අවස්ථාව සලසා දීමට ඔබට හැකිය. දරුවා යමක් නිමවූ හැම විටම දරුවාගේ වයසට ගැලපෙන වචන යොදා ගනිමින් නිවැරදිව පිළිතුරු ලබාදිය යුතුය.

දරුවන්ගේ පරිකල්පනමය හා නිර්මාණශීලී හැකියාවන් උත්තේජනය සඳහා කතාන්දර බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේ. ආත්ම ගෞරවය සඳහා ප‍්‍රශංසා කිරීම සහ උනන්දු කිරීම බෙහෙවින් උපකාරී වේ.

දරුවා විනයගරුක කිරීමද වැදගත් වේ. ආදරය දැක්වීම හා සත්කාරය සැපයීම යනු දරුවා නාස්ති කිරීම හෝ නුසුදුසු ලෙස හැසිරීමට දරුවා යොමු කිරීම නොවේ. මෙය දරුවාට හානි කළ හැකිය. ඒ නිසා සිය දරුවන් නිවැරදි දෑ කුමක්ද යන්න වටහාගෙන වර්ධනය වන බවට වගබලා ගත යුතු අතර නුසුදුසු හා හානිකර චර්යා වලින් වැළකී සිටීම පිළිබඳවත් දරුවන්ගේ අපේක්‍ෂා කරන්නේ කුමක්ද යන්නත් දරුවා තුලද තහවුරු කිරීමට ක‍්‍රියා කළ යුතුය.

දරුවන් හදාවඩා ගන්නා අය බාල ළමා වියේ දරුවන්ගේ අවශ්‍යතා නිසි පරිදි සම්පූර්ණ කළහොත් පාසැල් යන වියට පත් වන විට දරුවා සෞඛ්‍යමත්ව හා නීරෝගීව නිසි පෝෂණයෙන් යුතු සමාජීය වශයෙන් විශ්වාසභාවයක් සහිත චිත්තවේගී කුසලතා පිරිපුන් යනාදි ලෙසින් ජීවිතය පුරා ඉගෙනීම සඳහා නිසි පදනමක් ලද දරුවෙකු බවට පත්වෙයි. 

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article