උපත් බර අඩු වීම ළමා වියේ සංවර්ධනයට බලපානවාද?

දරුවන්ගේ ප‍්‍රජනක, චාලක හා චර්යාත්මක වර්ධනය කෙරෙහි මවගේ පෙර හා පසු ප‍්‍රසව පෝෂණය හා සෞඛ්‍ය බලපාන බවට මේ වන විට සොයා ගෙන ඇති කරුණකි. පසුගිය වසර ගණනාවක් තුළ සංවර්ධනය වන බොහෝ රටවල ළමා මරණ සංඛ්‍යාව ඉතා විශාල වශයෙන් පහළ බැස ඇති බව සත්‍යයක් වුවත් එම දරුවන් බහුතරයකගේ මානසික, සමාජීය හා ප‍්‍රජනක සංවර්ධනය නිසි ලෙස සිදු නොවන බව පැහැදිලිවම පෙනී යන කරුණකි. අඩු ආදායම් ලබන රටවල දරුවන් අතරින් 30% කගේ පමණ වර්ධනය පසු බැස ඇත. මෙසේ වීමට මෙම වර්ධන පසු බෑමට ලක්වන එක් සාධකයක් ලෙස උපත් බර අඩුවීම සැලකෙයි.

 

වර්ෂයකට ලොව පුරා උපත ලබන උපත් බර අඩු (බර 2.5kg අඩු) දරුවන් සංඛ්‍යාව මිලියන 25 ඉක්මවයි. ඉන් 95% ක්ම උපත ලබනුයේ සංවර්ධනය වෙමින් පවතින රටවලය. ලංකාවේ මෙම අඩු උපත් බර සහිත ප‍්‍රසවයන් සිදුවන්නේ දරුවා මව් කුස තුළ සිටිය යුතු මුළු කාලයම ගත කිරීමෙන් ද පසුවය. මේ නිසා මෙම බර අඩුවීමට හේතුව  අන්තර් ගර්භාෂයක පසුබැස්ම (IUGR – Intra Uterine Growth Retardation) ලෙස සිතිය හැක. සිදුකර ඇති අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ ගැබ වයසට ප‍්‍රමාණවත් ලෙස වර්ධනය නොවූ දරුවන් නිසි පමණට වර්ධනය වූ දරුවන් මෙන් සංවර්ධනය නොවන බවයි. වයසින් වැඩි දරුවන් හා සම්බන්ධ කළ අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ උපතේදී පැවති අඩු පාඩු සහිත දරුවන් අධ්‍යාපනය අතරමග හැර දැමීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇති බවයි. 

අඩු උපත් බර සහිත දරුවන්,

  • මුල් වසර දෙක තුළ ක‍්‍රියාකරීත්වය, සමාජශීලීත්වය, ප‍්‍රතිචාර දැක්වීම, සතුටින් සිටීම හා සහයෝගය දැක්වීම (නිසි බරින් උපත ලද දරුවන් හා සංසන්දනයේදී) දුර්වලය.
  • පාසැල් වයසේදී බොහෝ නොසන්සුන්ය.
  • අවධානය යොමු කර සිටිය හැකි කාලයද කෙටිය.

අඩු උපත් බර සහිත මෙම දරුවන් තුළ දැකිය හැකි ඉහත චර්යාත්මක වෙනස්කම් ඔවුන්ගේ වර්ධනය දුර්වල කිරීමට බලපෑ හැක. මෙම දරුවන් පිළිබදව කළ අධ්‍යයනයන් පෙන්වා දෙන්නේ ප‍්‍රජනක බලපෑම වයසට අනුරූපව වෙනස්වන බවය. පළමු වසරේදී මතුවීමට ඇති ඉඩකඩ අල්පය. එහෙත් මැද ළමා වියේදී මතුවීමට පවත්නා අවස්ථා වැඩිය. ප‍්‍රජනක ක‍්‍රියාවල දුර්වලතා හැරුණු විට චර්යාත්මක වෙනස්කම්, ස්නායුමය අඩුලූහුඩුකම්, පාසලේදී ඉගෙනීමට දක්‍ෂතා නොදැක්වීම යන ගැටලූ වලට මේ දරුවන් මුහුණදේ.

 

ප‍්‍රතිපත්තිමය පැත්තෙන් විමසා බැලූවද මෙම දරුවන්ගේ අහිතකර සෞඛ්‍ය හා පෝෂණය මෙන්ම සංවර්ධනය දුර්වලතාවලට ලක්වීමේ අවධානමක සිටී. මේ නිසා ඒකාබද්ධ ප‍්‍රජා සංවර්ධන වැඩසටහන් තුළට වැඩි වශයෙන් උත්තේජනය කරන ව්‍යාපෘති වලට අඩු උපත් බර සහිතව උපත ලබන දරුවන් බාල වයසේදීම ඇතුලත් කළ යුතුය.

 

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ සූතිකා පුහුණුව ලැබූ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද  ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here