අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ලේසි පාසු කටයුත්තක් නම් නෙවෙයි. දස මාසයක් කුසේ තියාගෙන වේදනා දහසක් මැද්දේ චූටියා මේ ලෝකෙට බිහි කරපු අම්මාට දැන් ඇති වෙන්නේ අලුත් අලුත් ගැටලු. ඉතිං චූටියාගේ වැඩ කටයුතුත් අම්මාගේ අපහසුතාවයනුත් එක්ක ඒවාට මුහුණ දෙන්නත් ඕනේ නිසා අම්මාව චූටියාගේ මුල් මාස තුන ගැන හොඳින් දැනුවත් කළොත් හොඳයි කියලා අපි හිතුවා.
චූටියා ඉපදුනාට පස්සේ කිසිදු ආකාරයක අසාමාන්‍ය තත්ත්වයන් පෙන්නුම් කරන්නේ නැති නම් ඒ කියන්නේ චූටියට වගේම අම්මාටත් කිසිම ගැටලුවක් නැත්නම් දින 1-3 අතර කාලයේදී ඔන්න දොස්තර මහත්තයා ගෙදර යන්න අවසර දෙනවා.
අම්මා දන්නවද ඉපදුණු දා සිට මාස තුනක් ගත වන තුරු චූටියා ගැන මෙන්න මේ දේවල්
- හිස වට ප‍්‍රමාණය 33-35cm අතර වේ. දිග 50cmවන විට බර 3kg ට ආසන්නය.
- ස්වසන වේගය විනාඩියට වාර 30-40 වේ. ආරම්භයේදී නොගැඹුරු කෙටි හුස්ම ගනී.
- උෂ්ණත්වය 36.40-C-370C අතර වේ.
- උදරය පිම්බුනු හැඩයක් ගනී
- අත් පා හොඳින් රවුම් වී ඇති අතර උණුසුම්ය. රෝස පැහැතිය.
- ඇස් වියළිව පවතී. මුල් කාලයේදී කඳුළු ගැලීමක් සිදු නොවේ. සුදු ඉංගිරියාව ප‍්‍රදේශයේ මදක් නිල් පැහැවීම සාමාන්‍ය වේ.
- හෘද ස්පන්දනය විනාඩියට වාර 120-140 පමණ වේ.
- පෙකනිවැලේ ඉපදී දින තුන හතරකින් පමණ හැකිලී යන අතර දින හතක් නවයක් පමණ වන විට හැලී යයි.
- තෙත් ඉටි වැනි ද්‍රව්‍යයක් දරුවාගේ සම මත පවතී. (Vernix Caseosa) මේවා උල්බ තරලය මගින් දරුවාගේ සමට හානි නොවීමටත්, විෂබීජ නාශකයක් ලෙසත් කටයුතු කරයි.
චූටියා ඉපදී මුල් දිනවල
- දිනකට අවම ලෙස අට වතාවක් වත් මුත‍්‍රා පිටකළ යුතුය.
- දිනකට වරක් හෝ දෙවරක් මල පහකිරීම (නමුත් මෙය වෙනස් විය හැක. සමහර දරුවන් දින 7 කට වරක් මල පහ කරයි) මේ අවස්ථා දෙකම සාමාන්‍යය.
චූටියාගේ පෙකණිවැල
- වියළිව හා පිරිසිදුව තබාගන්න.
- ස්ප‍්‍රීතු හෝ වෙන කිසිවක් ආලේප නොකරන්න.
- දින හතකින් පමණ පසු ගැලවී සුපවත් වේ. සමහරවිට සති 4 ක් වුවත් ගත විය හැක. පෙකණිවැල කොටස වැටුණු පසු රුධිර බිංදු කිහිපයක් පිටවිය හැක.
- අධික රුධිර වහනය, සැරව ගැලීම, පෙකණිය වටා රතු වී ඉදිමීම සිදුවුවහොත් වෛද්‍යවරයෙකුට පෙන්වීම වැදගත්ය.
චූටියා පිරිසිදු කිරීම හා ආරක්‍ෂාව
- අධික ශිතලෙන් හා අධික උණුසමින් දරුවා ආරක්‍ෂා කරගන්න.
- චූටියාට කපු ඇඳුම් අන්දවන්න.
- දිනපතා මද උණුසුම් ජලයෙන් නහවන්න.
- කිහිලි ඉකිලි ආදී ස්ථාන සෝදා වියළිව තබන්න.
- සාත්තු කරන මොහොත හැර චූටියා ඇල්ලීම සීමා කරන්න.
මුල් දිනවල චූටියාගේ ඇති වන පහත වෙනස්කම් රෝගී තත්ත්වයන් නොවන අතර ස්වභාවිකව දක්නට ලැබෙන වෙනස්කම් වේ. ප‍්‍රතිකාර අවශ්‍ය නැත.
- නිතර කිවිසුම් යාම
- නාසයෙන් දියර ගැලීම
- නිතර ඇති වන ඉක්කාව
- නිතර ඇඹරීම හා තැටමීම.
- හොඳින් ක‍්‍රියාකාරී සිටින අතර වරින් වර සුළු කෙඳිරිය.
- හවසට අධිකව හැඬීම
- මල මුත‍්‍රා පහ කරන විට තදින් හැඬීම.
- දිනකට පැය 16 – 18 නිදාගැනීම
- සමේ තැනින් තැන රතු පාට ලප ඇතිවීම.
මුල් මාස තුනේ චූටියාගේ පෝෂණය
- මාස 6 ක් යනතුරු මව්කිරි පමණක් ලබාදිය යුතුය.
- පැය දෙක තුනකට විනාඩි 20 – 25 ක කාලයක් චූටියා කිරි උරා බීම කළ යුතුය. මව් කිරි දීමේ කාලය දරුවාගේ වර්ධනය සමග වෙනස් වේ. සමහර දරුවන් විනාඩි 5 – 10 අතර කාලය තුළදී අවශ්‍ය ප‍්‍රමාණය බොයි. දිනකට කිරි වේල් 8 – 10 ප‍්‍රමාණවත්ය.
චූටියාගේ ශාරීරික වර්ධනය
ඉපදී දින 10 ක් ගත වන තුරු චූටියාගේ බර වැඩි වීමට බලාපොරොත්තු වෙන්න බැහැ. මුලින් බර අඩු වී දින 10 කින් පසු බර වැඩි වේ. ඉන්පසු දිනකට 25g – 30g පමණ තමයි චූටියාගේ බර වැඩි වෙන්නේ. මාසයක් ගත වන විට බර 500g – 600g දක්වා වැඩි වේවි.
- පළමු මාසයේ අවසානයත් සමග චූටියාගේ අවධානය එන්න එන්නම වැඩි වෙනවා විතරක් නෙවෙයි ප‍්‍රතිචාර දක්වන්නත් පටන් ගන්නවා.
- ඔන්න අත කටේ දාන්නත් පටන් අරගෙන
- චූටියා ඉපදිලා සතියක් විතර ගත වෙද්දී අම්මාට හඳුනා ගන්නවා.
- කලූ, අළු, සුදු වගේ පාට දැකීමේ හැකියාව වර්ධනය වෙනවා.
- රස දැනීමේ ප‍්‍රතීකය වර්ධනය වෙනවා. ඔන්න මේ වෙද්දී චූටියාට පැණි රස හා තිත්ත රස හඳුනාගන්නත් බැරි නැහැ.
- ශබ්දය, ආලෝකය හා චලනයට ප‍්‍රතිචාර දක්වයි. දෙමාපියන්ගේ හඬ ඇසුණම හිස හරවන්න තරම් චූටියා දැන් දක්ෂයෙක්.
- අත් හා ඇස් සම්බන්ධීකරණයෙන් යුතුව යොදා ගන්න මේ කාලයේදී චූටියා පටන් ගන්නවා.
- ඔන්න දැන් සමහර ස්වර අනුකරණය පටන් අරගෙන.
උදා . ආ… ඕ….ඊ වැනි ශබ්ද.
චූටියාගේ සමාජීය හා චිත්තවේගී සංවර්ධනය
- සමාජශීලී සිනහවක් උරුම කරගනී. කෙනෙකුගේ බැල්ම දීර්ඝකාලයක් රඳවා ගැනීමට සමත් වේ.
- අපහසුතාවයක් නැත්නම් වෙහෙසක් දැනුනම ඒ ගැන අම්මාට කියන්න චූටියා හඬනවා.
- සතුටට හිනා වෙනවා. ගුරු ගුරු හඬක් නඟනවා.
චූටියාට එන්නත් ලබාදීම
- මුල් මාස 2 දී පෙන්ටා සංයුජ එන්නත හා පෝලියෝ එන්නත ලබාදේ. එන්නතකට පසු සුළු ආබාධ ඇතිවීම සාමාන්‍ය වේ. මද උණ, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව, සාමාන්‍ය බඩ එළිය යාම එන්නත් ලබාදීමට බාධාවක් නොවේ. මුල් මාස 3 තුළ මසකට වරක් සායනයට යා යුතුය.
චූටියාගේ මානසික වර්ධනය දියුණු කිරීමට නම්
- චූටියා තුරුල් කරගන්න, සිපගන්න. ඔහුට/ඇයට ඇසෙන සේ මෘදු හඬින් ගීත ගයන්න.
- චූටියාට මුනින් අතට පෙරලීමට උපකාර කරන්න
- මුනින් අතට, උඩු අතට, පැත්තට සිටින්න හරින්න.
- චූටියා යම් භාණ්ඩයක් තදින් අල්ලා ගැනීමට පුරුදු කරන්න නම් එයාගේ අතට යම් භාණ්ඩයක් දී එය අල්ලාගත් පසු සෙමින් ඉවතට අඳින්න.
- චූටියාට අත දික්කර යමක් ගැනීමට හුරු කිරීමට අතේ දුරින් සෙල්ලම් බඩු තබා ගැනීමට උනන්දු කරන්න.
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ වෛද්‍ය නිර්මලී ඒකනායක මහත්මිය සමග සකසන ලද ලිපියකි.