දෙමව්පියන්ටත් බබා පාට් දාන්න වෙනවා.

සමහර වැඩිහිටියන් සමග පුංචි පැටව් ඉක්මනින් මිතුරු වෙනවා.සමහර උදවිය සැබැවින්ම පැටියාට ආදරය කළත් දරුවා කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ.ඉතා මිතුරු සිතින් තමා වෙතට ප්‍රතිචාර  දක්වන විට බොහෝ අය කියන්නේ සංසාරයේ දැකල පුරුදු ඇති කියලා..ඒ වගේම මේ අය ළමයි රවටා ගන්න සුත්‍තරය දන්නවා කියලා කිව්වත් ඇත්තටම මෙතැන රහසක් තිබෙනවා.

මේ ගැන පර්යේෂකයන් අධ්‍යනයක් සිදු කළා.ඔවුන් කියන්නේ තමා අනුකරණය කරන උදවිය සමග දරුවන් ඉතාම ඉක්මනින් මිතුරු වෙන බවයි. සෙල්ලම් බඩු, රසකැවිලි වැනි දරුවා රවටන කිසිම දෙයක් නැති වුනත් මේ පුංචි රහස නිසා ඇතැම් වැඩිහිටියන් වෙත දරුවන් ඉතාම ඉක්මනින් ආකර්ශනය වෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

හැබැයි මේ ගැන ඇහුවාම අපේ අම්මලා, අත්තම්මලා නම් කියාවි අපි ඉතින් දරුවන්ගේ භාෂාව දන්නවා.අපි නිතරම දරුවන් ආමන්ත්‍රණය කලා. වෙන දෙයක් තබා අපි දරුවන් ආමන්ත්‍රනය පටන් ගත්තේ තොටිල්ලේ ලී වැටත් පනින්න ඉස්සර පටන්නේ..

ඒක ඇත්ත.දැන් මේ සංසිද්ධිය ස්වීඩනයේ ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ  නව අධ්‍යනය අනුවපිලිගෙන තිබෙනවා. ඔවුන්ගේ අධ්‍යනය අනුව මාස හයක් වයසැති ළදරුවන් වැඩිහිටියන් අනුකරණය කරන විට ඔවුන් හඳුනා ගන්නවා පමණක් නොවෙයි,  අනුකරණය කරන්නන් වඩාත් මිත්‍රශීලි අය විදිහට සලකනවා.  දරුවා වෙනුවෙන් වෙන වෙන අන්දමින් ආකර්ශනය ලබා ගන්නට තැත් කළ අයට වඩා වෙනත් දරුවා  අනුකරණය කළ වැඩිහිටියෙකු දෙස ළදරුවන් ගේ ආකර්ශනය වැඩි බව පෙනී ගියා.. ළදරුවන් ද ඔවුන් වෙත තවත් ළඟා වූ අතර ක්‍රිඩා අනුකරණය කිරීමටත් පටන් ගත්තා.. 

මේ අධ්‍යනය එතරම් පහසු එකක් වුනේ නැහැ. ඒ ඇයි කිව්වොත් පර්යේෂකයාටත් බබාගේ තත්වයට පත් වෙන්න සිදු වුනා.ඔවුන් මාස හයක් වයසැති ළදරුවන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන් සමග ආකාර හතරකින් කටයුතු කළා.

දරුවා කරන කරන දේ කිරීම ඒ අතරින් එකක්.ඒ වගේම දරුවා අත ඔසවනවා නම් පර්යේෂකයාත් අත ඔසවන්න, කකුල සොලවන විට කකුල සොලවන්න පටන් ගත්තා.දෙවැනි අදියරේදී දරුවාගේ ශාරිරික ක්‍රියාකාරකම් විතරක් අනුකරනය කළා.

ඒ විතරක් නොවෙයි, දරුවා දක්වන ක්‍රියාවට වෙනස් විදිහටත් ප්‍රතිචාර දැක්වීමට පර්යේෂකයන් පටන් ගත්තා. ඒ කියන්නේ දරුවා කකුල සොලවන විට පර්යේෂකයා නළල අතගාන්න වගේ වෙනස් දෙයක් කලා.ඒ අතර දරුවා යම් දෙයක් අවශ්‍ය බැව් දන්වන විට ප්‍රතිචාර දැක්වීම වැනි විවිධ විදිහට දරුවා අනුකරනය කරන්න පටන් ගත්තා.

කොහොම වුනත් තොටිල්ලේ ඉන්න පුංචි පැටව් ඔවුන් අනුකරනය කරන අන්දම දැක්කාම අම්මලාටත් පුදුම හිතුනා. ඇයි දෙයියනේ ජීවිතේට දැක්කෙත් අදයි..මේ මොන පුදුමයක්දැයි අම්මලාට හිතුන බැව් ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක සහ අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ගේබ්‍රියෙලා-ඇලිනා සවුසි සඳහන් කරනවා.

ඒ වගේම දරුවන් අන්තර් ක්‍රියාවන් සමග සම්බන්ධ වීමට සහ සමාජය සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීමට නම් ඔවුන් සමග වැඩිහිටියන්ගේ සමීපතාවය අවශ්‍ය වෙනවා.මේ උපකල්පනය මත පිහිටා කටයුතු කළ පර්යේෂකයන්ට ඒ වෙනුවෙන් ගැලපෙන ක්‍රමවේද සෙවීමේ අවශ්‍යතාවය ඇති වුනේ කාලයක පටන්.ඒ අනුව ඔවුන්ගේ උපකල්පනය වුනේ ළදරුවන් අනුකරණය කිරීම මේ සදහා වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් විය හැකි බවයි.

කොහොම වුනත් දැන් මේ ගැන යම් තහවුරුවීමක් ගොඩ නැගී තිබෙනවා.ඉතින් අපේ අම්මලාටත් දැන් තමන්ගේ පැටව් සමග සම්බන්ධතාවය ගොඩ නගා ගන්න වෙනවා. ඒ කියන්නේ අම්මාටත් ”බබා පාට්” පටන් ගන්න වෙනවා. ඇත්තටම ඉස්සර වැඩිහිටියෝ දරුවන් සමග දණ ගාන්න පවා පෙළඹී තිබෙන්නේ මානසික විද්‍යාව දැනගෙන නොවෙයි.දරුවා සතුටු වෙන දේ ගැන වැඩිහිටියන් දැන හිටියා.ඒ නිසා පැටියා අඩන විට බොරුවට අඩන්න පටන් ගත්තා.සමහර වෙලාවට පැටියාගේ ඇඬීමත් නැවතෙනවා.මේ විදිහට පුංචි සම්‍යප්‍රයෝග ලැබෙන්නා වූ අපි නොදකින වාසි බොහොමයක් තිබෙනවා.දැන් මේ පර්යේෂන පත්‍රිකාව PLOS ONE මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පුන්‍යා චාන්දනි ද සිල්වා

 

පර්යේෂණය – PLOS ONE

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here