- Advertisement -

දරුවාගේ හොඳම මිතුරන් තුන්දෙනෙක්..

-

ඔබේ පුංචි පැටියාගෙන් ඔයාගේ හොඳම යාලුවා කවුදැයි ඇහුවොත් විවිධ පිලිතුරු ලැබේවි. ඒ අතර පැටියාගේ පංතියේ මිතුරන්ගේ නම් වැලක් කියැවේවි…එහෙම නැත්නම් අහල පහල ඉන්න අසල්වැසි දරුවන් මේ ලැයිස්තුවේ සිටින්න පුලුවන්. ඒ වගේම අම්මා…තාත්තා..දරුවාගේ හොඳම මිතුරන්ගේ  ලැයිස්තුවේ ඉන්නත් පුලුවනි.

මේ සේරම දරුවාගේ ලෝකයේ සැබෑම තත්වය. ඒ අතර ඔබ දරුවා වෙනුවෙන් වඩාත් සමීපව සම්බන්ධ කළ යුතු සහ ඔවුන්ගේ සැබෑ මිතුරන් බවට පත් කළ යුතු තවත් කීප දෙනෙක් ඉන්නවා.සමහර විට මේ පැත්ත දෙමව්පියන් විදිහට එතරම් සැලකිල්ලක් නොදක්වනවා වෙන්නත් ඇති. ඒත් අද පටන් හෝ මෙන්න මේ පුරුදු කීපය දරුවාගේ හොඳම මිතුරන් බවට පත් කරන්න…

- Advertisement -

පොත් පත් කියැවීම

පුංචි දරුවන්ට බාල කාලයේ පටන්ම පොත් පත් කියවන පුරුදු නිවසේදී ගොඩ නැගීම ඉතා වැදගත්.එහෙම නොමැතිව පොත් කියවන්න..දරුවා කී පමනින්ම ඔවුන් පොත් පත් කියවන පුරුද්දට යොමු වෙන්නේ නැහැ.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ දරුවාට පොත් පත් කියවන හුරුව ගොඩ නගන්න.එවිට දරුවා සමග මේ පුරුද්ද නොදැනීම වර්ධනය වෙනවා.ඒ විතරක් නොවෙයි, දරුවා පොත් පත් කියවීමෙන් විශාල දැණුම් සම්භාරයක් උපයා ගන්නවා.එය ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් වගේම අධ්‍යාපනයටත් මනා රුකුලක් බවත් අමතක කරන්න එපා.ඒ නිසා පැටියා පුංචි කාලයේ පටන්ම පොත් පත් ඔවුන්ගේ මිතුරන් බවට පත් කරන්න.

ගහ කොළට ආදරය කරන්න

අද ලෝකය මුල් කර ගෙන ඇති චෝදනා අතර මේ ගැනත් නැගෙන අඳෝනාවන් ඔබට ඇසී ඇති. ගහ කොළට ආදරය කරන්න දන්නේ නැති සමාජයක්..විශේෂයෙන් බාල පරම්පරාව මුල් කර ගෙන මේ චෝදනාව විශාල වශයෙන් නැගෙනවා.ඒත් අපි දරුවන් වෙතට  ඇගිල්ලක් දිගු කරද්දී ඇගිලි හතරක් අප වෙතට යොමු වෙනවා.දරුවන් ගහ කොළට ආදරය කරන්නේ නැත්තේ ඒ වෙනුවෙන් ඔවුන් තුළ හුරුවක් නැති නිසයි. දෙමව්පියන් විදිහට දරුවා කුඩා කාලයේ පටන්ම ගහ කොළට ආදරය කරන්න හුරු කරන්න. මල් කඩලා විනාශ කරන්න ඉඩ දෙන්න එපා. මලටත් ජීවයක් තිබෙන බව කියා දෙන්න. ලෝකය ලස්සන වෙන්නේ ගහ,කොළ,මල් පළතුරු නිසා බැව් පහදා දෙන්න.දරුවා  පරිසරයට නිරාවරණය කරන්න.ඔවුන් සමග පරිසරයේ කාලය ගත කරන්න. අද ලෝකයේ සතුටින්ම සිටින රාජ්‍ය බවට පත්ව ඇති පින්ලන්ත වැසියන් ඒ සතුට උපයා ගන්නේ කෙදේසැයි වූ විමසා බැලීමේදී මුල්ම කරුණ ලෙසින් ඔවුන් පෙන්වා දෙන්නේ ඔවුන් ජීවිතයේ වැඩි වේලාවක් එළිමහනේ ගත කිරීම මේ සතුට ලැබීමට හේතු වී ඇති බවයි. ඒ නිසා බාලකාලයේ පටන්ම ඔබේ දරුවාගේ හොඳම මිතුරා ලෙසින් ගහ, කොළ ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ කරන්න.

සතුන්ට ආදරය කරන්න

පසුගිය කාල වකවාණුවේදී සත්ව හිංසනය ගැන නිතර අපට තොරතුරු දැන ගන්න ලැබී තිබෙනවා. සතුන්ට හිරිහැර කිරීමේ විකෘති ආශාවන් ඇතැමුන්ගේ හිතේ පවතින්නේ බාල කාලයේ පටන්ම සංවේදීව ජීවත්වීමේ කලාව පිළිබඳ අත්දැකීම් ඔවුන්ට නොතිබුන නිසයි.සතුන්ද අපේ මිතුරන් බැව් දරුවන්ට ක්‍රියාවෙන් පෙන්වා දෙන්න.නිවසේ ඇති දැඩි කරන බල්ලා,බළලාගේ පටන් මග තොට දකින සතුන් වෙතත් දයාවෙන් බලන හිත් දරුවන් වෙත ගොඩ නගන්න. නිවසේ බල්ලාට අධික ලෙසින් සැප දෙමින් තවත් බල්ලෙක් දුටු තැන කකුල් බිදෙන සේ පහර දෙන වැඩිහිටියන්ගෙන් දරුවන් ලබන පාඩම ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින් සතුන්ද අපේ මිතුරන් බවට වූ පනිවිඩය බාලකාලයේ පටන්ම දරුවාගේ ඇට,මස්,ලේ ,නහරවැල් ඔස්සේ ගමන් කිරීමට වැඩිහිටියන් ගේ මාර්ගෝපදේශකත්වය ඉතාම වැදගත්.

ඒ නිසා ඔබේ දරුවා දැනුමෙන් පමණක් නොව ආකල්ප සහ ගුණදහමින් යුක්ත අනාගත යුග පුරුකක් බවට පත් කිරීමට නම් මේ තුන්දෙනා ඔවුන්ගේ මිතුරන් බවට පත් කරන්න..ඔබටත්..දරුවාටත් වරදින්නේ නැහැ.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article