සුරතල් සතුන්ට අපි කවුරුත් ආසයි. පුංචි පූස් පැටියෙක් ගෙදර ඉන්නවා නම් අපේ තුරුලට ඇවිත් හුරතල් වෙන්න එයා කැමතියි වගේම මේ පුංචි සුරතලා අතේ තියාගෙන හුරතල් කරන්න ලොකු පොඩි භේදයක් නැතිව අපි කවුරුත් ආසයි. විශේෂයෙන්ම ගැහැනු දරුවෝ. හොඳින් පිරිසිදු කරලා, එන්නත් ලබාදීලා තමන්ගේ ගෙදර ආදරෙන් ඇති කරන පුංචි සුරතලාගෙන් තමන්ට අනතුරක් ඇති කියලා හිතන්න අපි කවුරුත් අකමැති. ඒත් අපි සැලකිලිමත් විය යුතු කරුණු ගොඩක් තියෙනවා. අද කතා කරන්න යන්නෙත් ඒ වගේ වැදගත් කරුණක් ගැන.
තනි සෛලයින් යුතු Toxoplasma Gonadi නම් පරපෝෂිතයා පූසන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ සිටින බව ඔබ අසා ඇති. එම පරපෝෂිතයා එම සුරතලුන්ගේ මලපහවලට මුසු වන අතරම ඒ හරහා පිටතට පැමිණීමත් සමග ඒ වෙත අප නිරාවරණය වීම නිසා රෝගී තත්ත්ව ඇති විය හැකියි.
ලෝකය පුරාම මෙම පරපෝෂිතයා ව්‍යාප්ත වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන අටකට පමණ මෙම පරපෝෂිත ආසාධනය පවතී. මෙම පරපෝෂිතයා මිනිස් සිරුරේ මෙන්ම වෙනත් සතුන්ගේ සිරුර තුළද බොහෝ කාලයක් පැවතිය හැක. සමහරවිට රෝග තත්ත්වය පෙන්නුම් නොකර ජීවිත කාලය පුරාවට මෙම ජීවියා ශරීර ගත වී සිටිය හැකි සේම රෝගය සෑදුනද ඉතා සුළු රෝග ලක්‍ෂණ පෙන්විය හැකියි. නිරෝගී පුද්ගලයෙකුගේ ප‍්‍රතීශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වන තරමටම රෝග ලක්‍ෂණ නොපෙන්වා සිටී. නමුත් ගර්භණී කාලයේදී යම් තරමකට ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය පහත වැටෙන නිසා රෝග ලක්‍ෂණ පෙන්විය හැක. මවට ඇති වන මෙම රෝගය පෙකණිවැල හරහා මවගෙන් දරුවාට පරපෝෂිතයන් ඇතුළු විය හැක. මෙම තත්ත්වයට මුහුණ දිය හැකි අවදානම් අය ලෙස ගර්භණීතාවයට පෙර හෝ ගර්භණී කාලයේදී ආසාධන වූ මව්වරුන් හා දරුවන් මෙන්ම ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය තද බල ලෙස දුර්වල වූ එනම් පිළිකා රෝගීන්, අවයව බද්ධ කළ රෝගීන්, ඒඩ්ස් රෝගීන් දැක්විය හැකිය.
ගැබිනි සමයේ මුල් සති 10 – 24 කාලයේදී රෝගය වැළඳුනහොත් දරුවාට ඇති වන බලපෑම අඩුවන අතර මාස 9 දී ඇති වුවහොත් බලපෑම වැඩිය.
Toxoplasma Gonadi ආසාදනයේ ලක්‍ෂණ
- ඉදුමුණු වසා ගැටිති
- හිසරදය
- මද උණ
- පේශී වේදනාව
- අධික වෙහෙස
- ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය නියමිත ලෙස ක‍්‍රියාත්මක නොවූ නිසා වෙනත් ලක්‍ෂණ
- ව්‍යාකූල බව
- සම්බන්ධීකරණ කිරීම අඩු වීම
- ආක්ෂේප
- ස්වසන අපහසුව
- දෑස් බොඳවීම
මෙම ජීවියා මගින් ළදරුවෙකු තීව‍්‍ර ලෙස ආසාධන වුවහොත් ඔහුගේ/ඇයගේ මොළය, ඇස් යන ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇති විය හැකි අතරම ගැබිනි මවක් මේ තත්ත්වයට ගොදුරු වීම ගබ්සාවන් හෝ මළ දරු උපත් ඇති වීමට හේතු විය හැකිය. ආසාධිතව සිටි දරුවෙකු උපදින විට සැලකිය යුතු හානියක් ඇති නොවුනත් පසු කාලයේදී මොළයේ හා ඇස් වල ගැටලු ඇති වීමට හැකියාව ඇත.
සුරතල් සතුන් මගින් හැර මෙම පරපෝෂිතයන් ඇතුළු විය හැකි වෙනත් මාර්ග
- නොපිසන ලද අපිරිසිදු තත්ත්වයේ ඇතැම් සත්ව ආහාර වර්ග
විශේෂයෙන් ඌරන්, බැටලූවන්, කටුව සහිත මාලූ (දැල්ලා, කකුලූවා) වැනි සතුන් මගින්
- අපිරිසිදු දෑත් මගින් ආහාර ගැනීම/ඇල්ලීම
- දූෂිත අමු මාළු, මස් මගින් දුෂණය වූ පිහිය කැපුම් ලෑල්ල වැනි උපකරණවලින් වෙනත් ආහාර වර්ග කැපීමෙන්.
- අපිරිසිදු ජලය මගින්
- උපතේදී මවගෙන් ළදරුවාට
- ආසාධිත පුද්ගලයකුගේ අවයව බද්ධ කිරීමෙන්
- ආසාධිත රුධිර පාරවිලයනය මගින් (ඉතා කලාතුරකින්)
මෙම තත්ත්වය වැළැක්වීමට හෝ අවම කිරීමට
- ආහාර නියමිත ආරක්‍ෂිත උෂ්ණත්වයක පිසීම
- කෑමට ගන්නා එළවළු, පළතුරු හොඳින් සේදීම හෝ පොතු ඉවත් කිරීම
- නොපිසින ලද දැල්ලන්, කකුළුවන් ආහාරයට නොගැනීම. අමු මස්, බැටළු, ඌරන්
- පැස්ටරීකරණය නොකළ එළු කිරි ආහාරයට ගැනීම.
- අමු මස්, මාළු කපන ලද පිහිය, ලෑල්ල හොඳින් සබන් යොදා සේදීම
- ගෙවතු වගාව, මල් වගා කිරීමේදී අත් මේස් පැළඳීම හෝ අත් හොඳින් සේදීම
- බළලූන් නිදන ස්ථානවල රෙදි ආදිය නිතර පිරිසිදු කර මාරු කිරීම
- දඩාවතේ යන බළලූන් ඇල්ලීමෙන් වැළකීම
- ආහාර පිසින ස්ථානවලින් බළලූන් ඉවත් කිරීම
- නිතර අත් සේදීම
කුරුණෑගල, පළාත් මහා රෝහලේ හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.