- Advertisement -

යොවුන් වියේ සිටින ඔබේ දරුවාත් ඩිප්‍රෙස් වෙලාද?

-

කොයි තරම් අපේ තුරුල්ලේම ඇති දැඩි වුණත් යොවුන් වියට එළැඹීමත් එක්කම අපේ දරුවන්ගේ සිතිවිලි හැසිරීම් රටා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි නොහිතන විදියේ ගැටලුවලට දරුවා මුහුණ දෙනවා වෙන්නත් පුළුවන්. යොවුන් වියට එළැඹි ඔබේ දියණියගේ හෝ පුතුගේ වෙනස්කම් තිබුණත් ඔබට ඒවා නොවැටහෙනවා හෝ එය ඔබ අවබෝධ කරනගැනීමට උත්සාහ නොකරනවා වෙන්නත් පුළුවන්. මේ සියල්ලටම හේතු වන්නේ සැබැවින්ම අපගේ නොදැනුවත්කම නොඑසේ නම් අප තුළ පවතින සාම්ප්‍රදායික අදහස් විය හැකියි. කෙසේ වුවත් දරුවෙකුගේ අනාගතය සාර්ථක කරනු වස් ශාරීරිකව මෙන්ම මානසිකවත් දරුවා ඉහළ මට්ටමක සිටීම බොහෝම වැදගත් කරුණක්. අන්න ඒ නිසාම නව යොවුන් වියේ දරුවන් සිටින මව්පියන් යොවුන් වියේ විෂාදය තත්ත්වය ගැන දැනුවත් විය යුතුමයි.

මොකද්ද මේ ඩිප්‍රෙෂන් එහෙමත් නැත්නම් විෂාදය කියන්නේ?

- Advertisement -

විෂාදය කියන්නේ සායනික ලක්ෂණ රාශියක එකතුවක්. උදාහරණයක් විදයට දීර්ඝ කාලීනව පවතින දුක ගතිය, තරහා යාම, විඩාව/මහන්සිය, නින්ද පිළිබඳ ගැටලු, ආහාර රුචියේ ඇති වන වෙනස්කම්, හානි දායක සිතුවිලි වගේ බොහොමයක් දේ මේ තුළට ඇතුළත් වෙනවා.

ඒ කියන්නේ යොවුන් වියේ දරුවෙක් දුකෙන් ඉන්නවා නම් ඒ දරුවාට විෂාදයද?

නෑ.. දුක කියන්නේ විෂාදය නෙවෙයි. දුක කියන්නේ සාමාන්‍ය මානූෂීය හැඟීමක්. දුක ජීවිතයේ මුහුණ දෙන්න සිදුවන කරදර/බාධක නිසා ඇති වෙනවා. 

එතකොට කලින් සඳහන් කළ විදියට දුක විෂාදයේ ලක්ෂණයක් නෙවෙයිද?

සැමවිටම දුක විෂාදයේ ලක්ෂණයක් නෙවෙයි. ඒක් දිගු කාලීනව දුකෙන් පසුවීම විෂාදයේ ලක්ෂණයක්. ඒ කියන්නේ දුක්බර ස්වභාවය දින/සති ගණනක් එක දිගට පවතිනවා නම් එය විෂාදයේ ලක්ෂණයක් විය හැකියි.

ඒත් අපි කොහොමද යොවුන් වියේ ඉන්න අපේ දරුවෙක් විෂාදයට ලක්වෙලා කියලා අඳුනගන්නේ

යොවුන් වියේ දරුවන්ගේ සාමාන්‍ය ස්වභාවය අනෙක් වයස් සීමාවන්ට වඩා වෙනස්. ඒ දරුවන්ගේ සාමාන්‍ය භාවය ඒ කියන්නේ මූඩ් එක ඉක්මනින් වෙනස් වෙනවා. ඒ නිසා විෂාදය තත්ත්වයට පත් වුණා කියලා මේ දරුවන්ගේ භාවයන් වෙනස් වෙලා කියන දේ ඉක්මනින් හඳුනා ගැනීම නම් දෙමාපියන් වන ඔයාලට විතරක් නෙවෙයි වෛද්‍යවරුන්ටත් අපහසුයි.

එහෙම නම් කොහොමද මේ තත්ත්වය හඳුනාගන්නේ?

ඔව්. ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු විදියට අපි නව යොවුන් දරුවන්ගේ විෂාදය ගැන සොයා බලද්දි සැලකිලිමත් වෙන කරුණු තුනක් තියෙනවා.

  1. තරහා යෑම වැඩි වීම – ඒ කියන්නේ වෙනදාට වඩා වැඩි නුරුස්නා ගතිය, පුංචි පුංචි දේටත් තරහා ගැනීම 
  2. අධ්‍යාපනය හා සාමන්‍ය හැසිරීමේ වෙනස – පාසැල් ජීවිතය හොඳින් ගත කළ දරුවෙක්ගේ ඒ තත්ත්වය පහළ වැටීම
  3. දිගු කාලීන දුක, බර අඩු/වැඩි වීම, නින්ද අඩු /වැඩි වීම

අනෙක් වයස් සීමාවන්වලදීට වඩා යොවුන් වියේ දරුවන්ගේ විෂාදය තත්ත්වය වෙනස් නිසා වැඩිපුර මේ ගැන සැලකිලිමත් විය යුතුයි. 

යොවුන් වියේ විෂාදය තත්ත්වය අපේ රටේ දරුවන් අතරත් බහුලව දැකිය හැකි තත්ත්වයක්ද?

පහුගිය දශක කීපයක් තුළ ලොව පුරා කළ පරීක්ෂණවලින් සොයා ගත් දෙයක් තමයි නව යොවුන් වියේ විෂාදය එන්න එන්නම වැඩි වෙනවා කියන එක. සමහර රටවල් අගයන් අනුව 13%ක් හෝ වැඩි ප්‍රමාණයක් මේ තත්ත්වයේ දරුවෝ ඉන්නවා. 

යොවුන් වියේ දරුවන් විෂාදයට ගොදුරු වීමට හේතුව මොක්කද?

‍මේ තත්ත්වයට බලපාන්නේ එක හේතුවක් නම් නෙවෙයි. කාරනා කීපයක් එකතු වෙලා තමයි කෙනෙක් විෂාදයට ගොදුරු වන්නේ.

  1. ජීව විද්‍යාත්මක සාධක – මොළයේ ස්නායු ජාල සම්ප්‍රේෂක කොටස්වල ජාන සම්බන්ධව ඇති වන වෙනස්කම්
  2. මනෝමීය ලක්ෂණ – ආත්ම ශක්තිය හීන වීම/ ඕනෑවට වඩා පිළිවෙළට වැඩ කිරීමට යාම/පොඩි දේටත් තරහා යාම/ පෞරුෂත්ව ලක්ෂණ යන කරුණු විෂාදය ඇති කිරීමේ ප්‍රවණාවය වැඩි කරවනවා.
  3. සමාජීය සාධක – දරුවෙකුට තම සාමාජයෙන් සිදුවන හිරිහැර/අසාධාරණකම්/අකටයුතුකම් වගේම කුඩා කාලයේදී යම් අකටයුත්තක්/අතවරයක් වී නම් ඒ පිළිබඳ බලපෑම නිසා විෂාදය ඇති වෙන්න පුළුවන්

මෙන්ම මේ ආකාරයට ගත්තම යොවුන් දරුවෙකුගේ විෂාදය තත්ත්වය වටහා ගැනීම අපහසු නැහැ

යොවුන් වියේ දරුවෙක් විෂාදයට ලක්වුණාම ඒ සඳහා ප්‍රතිකාර නැත්ද?

ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම තියෙනවා. මූලිකම ප්‍රතිකාර ක්‍රමයක් වෙන්නේ මනෝ චිකිත්සක ප්‍රතිකාර (Psychotherapy) ක්‍රම. ළමා මනෝ වෛද්‍ය විශේෂඥයෙකු විසින් කතා කිරීම මගින් නව යොවුන් වියේ දරුවෙකුට ලබාදෙන ප්‍රතිකාරය. ඊට අමතරව,

Cognitive behavioral therapy – දරුවන්ගේ සිතුවිලි, ඒ කියන්නේ හැඟීම් අනුව හැසිරීම මත සම්බන්ධය මගින් මේ තත්ත්වය මගහැරීමට ලබා දෙන ප්‍රතිකාරය

උදා : ඍණාත්මක සිතුවිලි මගින් දුක්ඛිත හැඟීම් ඇති වීම සහ ඒ හරහා ඍණාත්මක හැසිරීම් ඇති වීම. මම මෝඩයි කියන සිතුවිල්ල මගින් දුක ඇති වීම ඒ හරහා කම්මැලිකම ඇති වීම, මේ ප්‍රතිකාර ක්‍රමයේදී සිතුවිලි, හැසිරීම, හැඟීම යන කරුණු වෙනස් කරන්නට උපක්‍රම යොදනවා

ඒ වගේම Interpersonal Therapy/Attachment-based Family Therapy යන ප්‍රතිකාර ක්‍රමත් යොදාගන්නවා.

මෙවැනි දරුවන් උපදේශනය මගින් සුව කළ හැකියි නේද?

ලෝකය පුරාම යම් ප්‍රතිකාර ක්‍රමයකින් රෝගය සුව වෙනවද කියලා නිගමනයකට එන්නේ දහස් ගණනකට සිදු කරන ලද පරීක්ෂණ ක්‍රම මගින්. සාමාන්‍යයෙන් සමහර වෙලාවට කියනවා මෙහෙම වුණාම උපදේශන සේවාවන් මගින් සුව කළ හැකියි කියලා. නමුත් විෂාදය සුව කිරීමට නම් ප්‍රතිකාර ලෙස පරීක්ෂණවලින් විද්‍යාත්මකව ඔප්පු වූ ක්‍රම යොදා ගත යුතුයි. ඒ ඇරුණම රෝගයේ උග්‍ර තත්ත්වයක් පෙන්නුම් කරන රෝගියෙකුට ඖෂධ ප්‍රතිකාර ලබාදීම සිදුකරනවා. කවුන්සිලින් එහෙමත් නැත්නම් උපදේශනය කිරීම මගින් විෂාදය සුව කිරීම සිදු නොවේ.

මානසික රෝගවලට ඖෂධ ගත්තම ඒකට ඇබ්බැහි වෙන බව කියනවා නේද? ඉතිං ඖෂධ වර්ග ලබාදීම සුදුසු නෑ නේද?

යොවුන් වියේ දරුවෙකුගේ විෂාදය තත්ත්වය උග්‍ර තත්ත්වයක් නම් අපි බොහෝ විට ඖෂධ ප්‍රතිකාර වෙත යොමු වෙනවා. මේ සඳහා ලබා දෙන්නේ antidepressants ඖෂධ වර්ග. ඒ කියන විදියේ ඇබ්බැහි වීමක් හෝ රෝගය උත්සන්න වීමක් සිදු වෙන්නේ නැහැ.‍ අනික මේ ඖෂධ වර්ග ලොව පුරා පරීක්ෂණ මගින් සාර්ථක බව සොයාගත් ලක්ෂ ගණනක් රෝගීන් සුවපත් කර ඇති අවසර ලත් ඖෂධ වර්ග. ඉතිං හානිදායක තත්ත්වයක් මේ ඖෂධ වර්ගවල නැහැ. ඒ වගේම යොවුන් වියේ දරුවෙකු මෙවැනි තත්ත්වයකදී ප්‍රතිකාර ලැබිය යුත්තේ ළමා හා නව යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය සහ නිරීක්ෂණය මත නිසා එහි ප්‍රතිඵලය සාර්ථකත්වයෙන් ඉහළයි.

විෂාදයෙන් පෙලෙන යොවුන් වියේ දරුවෙකුගේ වටපිටාව කොයි ආකාරයේ විය යුතුද?

මේ තත්ත්වයේදී අති සාර්ථක ප්‍රතිඵල හිමිවීමට නම් දරුවාගේ වටපිටාවේ දායකත්වය බොහොම වැදගත්‍‍ වෙනවා. ආතතියට අදාල සාධක පාලනය කිරීමට පවුලේ අයට උපදෙස් ලබාදීම සිදු වෙන අතරම මෙහිදී පවුල, පාසැල යන සියල්ලන් එකම කණ්ඩායමක් වීම හරිම වැදගත්. ඒ වගේම දරු‍වන්ට අපි සමීප වීමත් අත්‍යවශ්‍යයි. උදාහරණයක් විදියට කුඩා කාලේ දරුවෙකුට යම් අතවරයක්/කරදරයක් වුණාම මව්පියන් දරුවා සමග ඒ ගැන කතා බහ කිරීමත් අවශ්‍ය මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත් කළ යුතුයි. ඒ කාලය තුළ අවශ්‍ය මනෝ වෛද්‍ය උපදෙස් ලබා නොගැනීම නිසා යොවුන් වියට පැමණීමත් සමගම මානසික ව්‍යාකූලතාවයන් ඇති වීමට අතීත සිදුවීම බලපෑ හැකියි.

මොන රෝගයට බෙහෙත් ගත්තත් මානසික රෝග තත්ත්වයක් නිසා දරුවෙක් මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුකරන්න අම්මලා ටිකක් අදිමදි කරනවා නේද?

ඔව්. සාම්ප්‍රදායික අදහස් රාමුවක හිර වෙලා වගේම මිත්‍යා මතවල එල්ලිලා තමන්ගේ දරුවාගේ ජීවිතය විනාශ වෙන්නට ඉඩ හැරීම අනුවණකමක්. මෙතැනදී දෙමාපිය වැඩිහිටියන් නිවැරදිම වෛද්‍ය වෘත්තිකයා වෙත යොමු වීමට දැනුවත් විය යුතුයි. ඒ කියන්නේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි. මෙවැනි වෛද්‍යවරුන් අපේ රටේ ඉන්නේ ටික දෙනෙක් වුවත් ඔවුන් හැමදෙනාම පාහේ උපරිම සේවාවක් ලබාදෙනවා. එවැනි වටපිටාවක යොවුන් වියේ දරුවෙකුගේ ජීවිතය මානසික ගැටලුවක් හේතුවෙන් විනාෂ වීමට ඉඩ නොහැරිය යුතුයි. එවැනි වෛද්‍යවරයෙකු හමුවිය නොහැකි නම් අවම වශයෙන් ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ උපදෙස් ලබාගත යුතුයි.

යොවුන් වියේ දරුවන් සිටින මව්පියන් මෙවැනි තත්ත්වයකදී හැසිරිය යුත්තේ කෙසේද?

ඇත්තටම මව්පියන් තත්ත්වය තේරුම් ගත යුතුයි. අපේ සිරුරේ ඇති වෙන වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබාගන්නවා සේම‍ මේ පිළිබඳවත් සිතීම ඉතාම වැදගත්. මානසික රෝගයක් කියන්නේ සමාජයෙන් කොන්වීමට හෝ ලැජ්ජා වීමට හේතුවක් නොවෙයි. මව්පියන්ට මේ තත්ත්වය නොතේරෙන තාක් දරුවාට ප්‍රතිකාර කොට සුව කිරීමට අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එය හරිම දුක්ඛිත තත්ත්වයක්. ඒකෙන් වෙන්නේ ලස්සන ජීවිත විනාෂ වීම පමණයි. මොකද අප වෙත එන්නේ වයස අවුරුදු 18 දක්වා දරුවන් පමණයි. ඒ වයස් සීමාවේ දරුවන්ට මනෝ චිකිත්සක ප්‍රතිකාර හෝ ඖෂධ ලබාදිය හැක්කේ මව්පියන්ගේ අවසරය මත පමණයි. ඇතැම් මව්වරුන් යල්පැන ගිය අදහස් නිසා ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරනවා. එය හරිම අවාසනාවන්ත තීරණයක්. මව්පියන් එහෙම ඖෂධ ලබාදීම ප්‍රතික්ෂේප කළාම අපි වෛද්‍යවරු විදියට එයට එකඟ විය යුතුයි.

නමුත් දෙමාපියන් මේ තත්ත්වය වටහා ගෙන, අවබෝධ කොට ගෙන කටයුතු කරනවා නම් හරිම වටිනවා. මොකද මෙවැනි තත්ත්වයන් උත්සන්න වෙන්න වෙන්න ඇති වෙන අතුරු ආබාධ තත්ත්වයන් වැඩියි. ආත්ම ශක්තිය හීන දුර්වලයෙකු බවට පත් කොට දරුවා‍ගේ ජීවිතය අසාර්ථක කරවනවාද නැති නම් නිසි වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රතිකාර ලබා දී දරුවා සුව කොට අනාගතය සාර්ථක කරනාවද යන්න තීරණය වන්නේ දෙමාපියන්ගේ අතින් බව නම් අමතක නොකළ යුතුයි.

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article