- Advertisement -

අලුත් තාත්තාගේ දිනපොතෙන්….

-

අලුත් තාත්තාගේ දිනපොතෙන්….

 

- Advertisement -

ජුලි 20 :  

අද මට දුවෙක් උපන්නා…

රෝහල් ගවීම කියන්නේ මගේ ශබ්දකෝෂයේ අඩුවෙන්ම පාවිච්චි වෙච්ච වචනයක්. මං හිතන්නේ අචිනිට දරුවා ලැබෙන්න ආවට පස්සෙ තමයි මම වැඩියෙන්ම රෝහල් වල කරක්ගහන්න පටන් ගත්තේ. දරුවා ලැබෙන්න අපි තෝරගත්ත පුද්ගලික රෝහලේ,  සූතිකාගාරයට මට යන්න පුළුවන් කියලා දැනගත්තම, ඇත්තටම මම ටිකක් බයත් වුණා. මොකද  මං මළාට ඕකකට ගිහිල්ල නෑනේ.

කොහොමටත් අචිනිගෙ අත අල්ලන් එයා ළගින් ඉන්න මට ඕන උනා (Hand holder).  අද දවල් සූතිකාගාරයේ සිද්ධ වෙච්ච දේවල් මට හීනයක් වගේ. මම අචිනිගෙ ඔලුව අතගෑවා. සූතිකාගාරයේ දිලිසෙන විදුලි පහන් , හිත අධෛර්යමත් කරන හිස් සිවිලිම දිහා බලාගෙන අචිනි හිටියේ වෙනම කල්පනාවක. ඇස් දෙකේ කඳුලු පිරිලා දිලිසෙනවත් මම දැක්කා. “අචී..අපේ පැටියා එන්නයි යන්නේ මොනවද කල්පනා කරන්නේ ?” මම ඇයගේ කණට ළං වෙලා මුදු හඬින් ඇහුවා. සද්ද කරන්නත් බෑනේ. අවුරුදු හතක අපේ ආදර කතාවේ අචිනි කැළඹෙන, නොකැළඹෙන  තැන් හරියටම කියන්න මම දැනගෙන හිටියා. 

මගේ ඇතුළාන්තයෙන් මමත් හොඳටම කැළඹිලා හිටියේ නෑ කිව්වොත් ඒක බොරුවක්. අචිනිව ටිකක් සනසවන්න ඇයගේ කණට ළං වෙලා…. “දීපු  IV fluid එක නිසා සීතලක් හැදෙන්න පුළුවන්” කියලා කිව්වේ ඇත්තටම වෙන මොකක්වත් කියන්න  ඔළුවට ආවේ නැති නිසා.  “ඔන්න දැන් පටන් ගන්නයි යන්නේ ” ( Information giver ) මම එහෙම කිව්වට මට ඇත්තටම කිසි දෙයක් පෙනුනෙ නෑ. මැද්දෙන් දාපු තිර රෙද්ද නිසා. මගේ මොකෝ , මං එක අතකට මොනා හරි කියන්න  උත්සාහ කළානේ. 

ටික වෙලාවකින් ” මහා ඇඬුම් සද්දයක්” , “මගේ කෙල්ල ආවා වගේ.. ” මම කලේ අචිනිගේ අත තව තද කරලා අල්ල ගත්ත එක. කොළ රෙද්දකින් ඔතපු ලේ කැටියෙක්ව මගේ මූණට ලං කරද්දි  (Skin to skin contact ) මම ගැස්සිලා ගියා. මම හිතුවේ පැටියාව එකපාරටම අචිනිට දේවි කියලා.

එතනින් එහාට හැමදේම  හීනයක්. ජීවිතේ තියෙන තුරාවට මම බැඳුණු මේ වගකීමට මම ආදරය කරාවි. ඔව් ජීවිතේ තියෙනකම්ම !

 

ජුලි 22:

අචිනියි දුවයි ගෙදර ආවා. තාමත් මම ආධුනික තාත්ත කෙනෙක් . හැබැයි අචිනි අම්මෙක් වෙන එක ලේවලටම කැවිලා. මං හිතන්නේ සංසාර පුරුදු . පවුලේ ප්‍රධාන උපයන්නා වුනේ මම (Bread winner). දැන් දුවගේ  සම්පූර්ණ අනාගතයේම තියෙන්නෙ මගේ අතේ . 

තාම පුංචි දුව රෑ තිස්සේ අඬනවා , සැරින් සැරේට අඬනවා. තාම අචිනිගෙ මැහුම්  වේලිලාත් නැති නිසා අචිනිට උදව් අවශ්‍යයි. ඒ නිසා මේ දවස් වල අචිනිගෙ අම්මා ඇවිල්ලා ඉන්නවා. එයා නරක කෙනෙක් නෙමෙයි . ඒ උනාට දුව  පොඩ්ඩක් අඬපු  ගමන් කාමරේට දුවගෙන එන්නේ ලෝකෙ පෙරලෙනව වගේ. මම දුව වඩාගන්න හදන හැම පාරකම, අපේ නැන්දම්මා කෑගහන්නෙ “හෝව්.. හෝව්….දරුවා වැටෙයි ” කියලා. පොඩි දරුවෙක් අල්ලන්නේ පලවෙනි වතාවට තමයි,  ඒ  උනාට මම නේ දුවගේ තාත්තා ( Feeling withdrawn and sulky). 

මට කේන්ති යනවා ඉතින්.  ඒ උනාට අත්දැකීමක් තියෙන කෙනෙක් අචිනිගෙ උදව්වට ඉන්න එක මේ වෙලාවේ ලොකු දෙයක්. ( Having experienced hands on duty).

 

ජුලි 23:

අචිනි තාම ඉන්නේ අමාරුවෙන්. එයාගෙ අපහසුකම් මට නොතේරෙනවා නෙමෙයි. එයාව පහසුවෙන් තියන්න පුළුවන් හැම උපරිම දේම කලත් එයාගෙ කායික වේදනාව හරි තෙහෙට්ටුව හරි  මට ගන්න බැහැනේ.  

යාලු මිත්‍රයන්ගේ  සුබපැතුම් වලින් මගේ දුරකථනය පිරිලා. අචිනිගෙ දුරකතනයටත් කිසිම නිවනක් නෑ. දුව බලන්න එන්නම අහනවා. ඒත් ඒක ටිකක් අපහසුයි. අචිනි දුවට නිතරම කිරි දෙන්න ඕනේ. එයා ඇඳන් ඉන්නේ එයාට පහසු ඇඳුම. දුව තාම හුඟක් පුංචියි. මව්කිරි දීම් සැසි වලට  (Breastfeeding classes)  සහභාගි වුණ නිසා අචිනිට ඒකෙ ප්‍රශ්නයක් නම් ආවෙ නෑ. ඒත් ගෙදරට එන අමුත්තන් කළමනාකරණය කරගන්න තාම අපි ඉක්මන් වැඩියි කියලයි මට හිතෙන්නෙ. දුව පුංචි නිසා විසබීජ යයි, එයාට කරදරයක් වෙයි කියලා අපිට බයයි. ඒ නිසා දුව ඉපදුණු සතුට සමරන්න ඉල්ලන මගේ යාළුවන්ගෙන් මං පොඩ්ඩක් මේ දවස්වල ඈත් වෙලා ඉන්නේ (Reluctance to socialize with friends).

 

ජුලි 26:

මම දැන් දවස් කීපයක්ම රාජකාරියට නොගිහින් ගෙදර හිටියා. දැන් මම වැඩට යනවා. දුවයි, අචිනියි  එක්කම ඉන්න තියෙනවා නම් හොඳයි, ඒත් මම දෙන්නව බලා ගන්න එපෑ. අපේ දුව රෑට හැර ගෙන හිටියට මොකද දවල්ට නිදියනවා (Complete change of daily routine ). ඉතින් අසාමාන් විදිහට දවල් කාලයේ මගේ උද්යෝගිමත් ගතිය නැති වෙලා ගිහිල්ලා. අචිනිට නොපෙන්වා ඉන්න මම ගොඩක් උත්සහ කරනවා. මටත්, අචිනි ටත් දෙන්නටම වෙනසක් අවශ් වුණත් අපි අපේ අවශ්යතාවයන්, අපේ පුංචි දුව වෙනුවෙන් පොඩ්ඩක් අමතක කරලා ඉන්නවා (Life becoming unusually flat ).

 

ජුලි 27:

දුවට නම තිබ්බේ අනන්යා කියලාඑයා එයාටම අනන්‍යා  මනුස්සයෙක්  වෙන එක තමයි මගේ සතුට. වෙනුවෙන් පුළුවන් හැමදේම, මගේ උපරිමයම සිද්ධ කරන එක, මම මටම වෙච්ච පොරොන්දුවක්. පුංචි අනන්‍යා පපුවට තුරුල් කරගන්න හැමවෙලේකමයිඑයා සැනසීමේ නිදාගෙන ඉන්නවා දකින හැම වෙලාවකමයි, මගේ පපුව පුදුමාකාර ආදරේකින් පිරිලා යනවා. මං හිතන්නේ මගේ ඔක්සිටොක්සින්  ප්රමාණය  හොඳටම වැඩි වෙනවා ( Cuddle hormone). මගේ තාත්තටත් මාව මේ විදියටම දැනෙන්න ඇති නේද කියලා හිතෙනකොට මගේ තාත්තා ගැන තියන ආදරයයි ගෞරවයත් වැඩි වෙනවා.

ුව කවදා “තාත්තේ” කියලා මට කතා කරයිද? ඔව් මම මේ ලෝකෙ අහන්න කැමතිම වචනේ තමයි ඒක.  දුව අචිනි වගේ ලස්සන වේවි. ඒ උනාට කෙල්ලට ඇවිල්ල තියෙන්නේ මගේ කැරලි කොණ්ඩෙමයි. ඔව් ඉතින් මේ මල් බෝනික්කි අචිනිගේ විතරක් නෙමෙයිනේ මගෙත්නේ. 

මගේ දුවට මම කොයි තරම් ආදරේ කරත්, කෙල්ලට ජීවත් වෙන්න වෙන්නේ මේ නපුරු නරක දුෂ්ටකමින් පිරුණු ලෝකේ . මට මගේ කෙල්ල වෙනුවෙන් ඕනම අන්තයක සටන් කරන්න පුළුවන් උනත් , මම නැති දාක මගේ පුංචි  කෙල්ල ස්වාධීන ගැහැනියක් විදියට , මඩේ පිපුණු නෙළුමක් විදිහට මේ ලෝකේ සුවඳවත් කරයි කියන එක තමයි මගේ එකම ප්‍රාර්ථනාව. මව් පිය සෙනෙහේ ඇට මිදුළු විනිවිද යනව කියපු කතාව ඇත්තක් බව මට ඔප්පු කළේ මගෙ පුංචි කෙල්ල.

මගේ දුවේ ! උඹ මගේ මල් වත්තෙ පිපුනු එකම හොඳම මලයි.

දියණිවරුන්ට ආදරයෙනි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article