අපි ශිෂ්‍යත්වෙ පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට යන හීනේ පාට කරන්න තදින්ම උවමනාව තිබ්බෙ තාත්තට. අයියයි මමයි අතරෙ වයස පරතරය අවුරුදු දෙකයි. මල්ලි ඉපදෙනකොට මම දෙක වසරේ. අග්‍රබෝධි විද්‍යාලය ගමේ ඉස්කෝලේ, තිබුණේ හූවක දුරින්. මම ඉපදෙන කොටත් මට කලින් අයියා ඉපදෙන කොටත් අපිට තිබුනේ කටුමැටි ගේකුයි, පිදුරු අස්සෙන් ඉරයි, හදයි, තරුයි බලන්න පුළුවන් වහලකුයි විතරයි. අපිට ඉස්කෝලේ වැඩ කරන්න, කන්න, බොන්න, නිදියන්න ඇතුළු ඕනෑම වැඩකට තිබ්බේ සාලෙ කෑල්ල විතරයි, තව කුස්සියයි එළිපත්තයි. තාත්තා නිදාගත්තේ එළිපත්තේ. ගේ අස්සේ අපි තුන් දෙනෙකුට ඉඩ තිබුණත් මල්ලි ලැබුණම ඒ පුංචි ඉඩ, හතරට බෙදා ගන්න හිත හදාගන්න අයියටයි මටයි සිද්ධ වුණා.
තාත්තා කළේ කුලී වැඩ. ගමේ මනුස්සයෙක් මැරුනම වළ දාන්න, වළ කපනකම් ඉඳලා ගස්වල අතු පාහින එක දක්වා ඕනෑම වැඩක් තාත්තාට කරන්න පුළුවන්කම තිබුනා. එහෙම වුණත් වුණත් මට තේරෙන කාලේ ඉඳන්ම අපිට පිළිගැනීමක් තිබ්බෙත් නෑ ( low self confidence ).
” ගුණයගේ කෙල්ල මෙහෙට්ට වර…….ගුණයගෙ කොල්ලා දුවපිය යන්න…” වගේ වචන වලින් මිසක් කරුණාවන්ත වචනයක් ඇහුවානම් අපි, ඒ අපේ අම්මගෙනුයි තාත්තාගෙනුයි විතරයි .
ගුණපාල කියන්නේ මගේ තාත්තා.
හැම වෙලාවෙම විට හපාපු, කලාතුරකින් දවසක හැර කමිසයක් නොඇඳපු, ඉර එලියටම පිච්චිලා බරු ගැහුණු තාත්තාගේ ඇඟේ, නිතර කඳුළුවලින් බොඳ වෙච්ච ඇස් දෙකක් පිහිටුවේ කොහොමද කියලා මම හිච්චි කෙල්ල සංදියේ ඉදලා කල්පනා කළා. එළිපත්ත උඩ වාඩිවෙලා මිදුලේ මල්ලි සෙල්ලම් කරන දිහා බලාගෙන කල්පනා කරන තාත්තගේ ඇස් ගොබ, රතු වෙලා නිතරම නලියනවා මම දැකලා තියෙනවා ( unhappiness and sadness ).
අපිට කිසිම දවසක ගමේ ගෙදරක එළිපත්තට ගොඩවෙන්න දීලා නෑ. පිළිකණු එක්ක අපිට තිබ්බෙ ආත්මගත බැඳීම්. බැරිවීමකින් අපේ මල්ලි ගෙදරක ඉස්සරහින් ගොඩ උනොත් ” මේ පද්දා පැටියා කොහේ රින්ගනවද? පල එළියට.. හුජ්ජ කොල්ලා..” වගේ ගෝරනාඩු තමයි අපිට අහන්න ලැබුණේ. එහෙම වගේ වෙච්චි හැමවෙලාවකම මගේ අසරණ අම්මා බිම බලාගෙනම දුවගෙන ඇවිත් ( shyness ), මල්ලිව ඇදන් යන සිද්ධිය තමයි මට දැනටත් ඇස් පියාගත්තම ක්ෂණිකව මැවෙන චිත්තරූපය ( regular exposure to social isolation ).
” පද්දෝ “
මම ජීවිතේ අහන්න අකමැතිම ඒත් වැඩිම වාර ගාණක් අහපු එකම වචනය. මගේ ලොක්කයියා “උදාර ” වුනත් ” උදාර පද්දෙක් ” කියළා සමච්චලේට ලක් වුනේ කවදා ඉදලද කියන්න මම දන්නේ නෑ ( regular exposure to humiliation ). පදු කියන්නේ අඩුකුලයක් ය.මගේ තාත්තා පදු ය. අම්මා පැදුරු වියන කින්නර කුලේ ය. අපි යටහත් පහත්ව ඉන්න ඕනය, කියල අම්මා අපිට මන්තරයක් වගේ කිව්වට, ඒ යටහත් පහත් විල්ලෙන් අපිට සෙතක් නම් වුණේ නෑ කියලා මට හොඳටම විශ්වාසයි ( victim becomes emotionally withdrawn ).
අපිට හරියට කන්න ලැබුනේ තාත්තට හරිහමන් වැඩක් පලක් ලැබුණා නම් විතරයි. තාත්තා ඒකෙනුත් බොහෝ කොටසක් වැය කළේ අපේ ඉගෙනීමට. අපි ඉස්කෝලේ ගෙනිච්චේ පොල්සම්බෝල තෙල් දාලා බත්. ඒ වුණත් ඒකත් නැති දවස් තමයි ගොඩක් තිබ්බේ. කිසිම ළමයෙක් කවදාවත් මා එක්ක කෑම බෙදා ගෙන නැහැ . පංතියේ අන්තිම කෙලවරේ බංකු කොන තමයි උදානිගේ ( not having a support network or friends ).
උදානි කියන්නේ මේ මම.
මම ගමේ ඉස්කෝලෙට පිරිසුදුට ඇන්දත්, තිබ්බ ඇඳුම් දෙක ඇදලම, හෝදලාම, වැස්ස දවසට දුමේ වේලලාම අපිරිසිදු පාටක් වෙලා තිබ්බා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නවත් මට අවස්ථාවක් ලැබුණේ නෑ. මම තනි වෙලා හිටියේ. ඒත් හරිම වචනය මාව තනි කළා කියන එකයි (victim feels lonely ). ඉස්කෝලේ ගුරුවරු පවා එහෙමයි. මොකද එයාලා මේ ගමේම අය. පස්සේ කාලෙක ආපු කුමාරිහාමි ටීචර් නොවෙන්න මගේ කතාව මෙහෙම නොලිය වෙන්නත් තිබ්බා.
මගේ අහිංසක ලොක්කයියා නම් ඒ දවස්වල නිතරම හිටිය තරහෙන්. අපේ කුලේ හරි දුප්පත්කම හරි නැත්තම් වෙන මොකක් හරිම හේතුවක් නිසා දිනපතා අපිව පෙළෙන එකට ලොක්කයියා වෛර කළා. එයා චිත්‍ර අඳින්න උපන්ගෙයිම දක්ෂයෙක්. ඒත් කුමාරිහාමි ටීචර් එන්න කලින් එයා සියලු දේ අතඇරල ඉස්කෝලෙන් පවා කට්ටි පැන්න ඇට්ටර කොල්ලෙක් ( academic performances of the victim starts plummeting ). ලොක්කයියා ඉස්කෝලෙ ටැප් එක ලඟදි කුලේ මතක් කරලා විහිළු කරපු කොල්ලො දෙතුන් දෙනෙක්ට ගහලා තිබ්බා ( physical aggression ). වැරැද්ද මොකක් උනත්, කාගේ උනත් අපි තමයි හැමදාම දඬුවම් වින්දේ.
අපේ දුප්පත් අම්මටයි තාත්තටයි හීන බලන්න පවා තිබ්බ අයිතිය ගමේ මිනිස්සු උදුරන් තිබ්බේ. අපිට කවුරුහරි අපහාසයක් නින්දාවක් නොකලා නම් ඒ එහෙම දවසක. පුංචි කාලේ නිතර නිතර ඒ පැමිණිලි ගෙදර අරන් ගියත් ඒ දවසට අම්මයි තාත්තයි කන්න තියෙන බත් දංකොඩ ටිකවත් හරියට කන්නේ නෑ, හරියට නිදාගන්නේ නෑ ( victim is having trouble sleeping and skipping meals) කියලා තේරුම් ගත්තම අපි නිහඬව ඒ අපහාස දරාගන්න පුරුදු වුණා.
කුමාරිහාමි ටීචර් අග්‍ර බෝධියට ආවේ වෙන ඈත ඉස්කෝලෙකින්. ටීචර්ගේ මහත්තයට රාජකාරි මාරුවීමක් ලැබිලා. මගේ අත් අකුරු ලස්සන බවයි, මට ඉගෙන ගන්න පුළුවන් බවයි ඒ වගේම අපේ ලොක්කයියාගේ චිත්‍ර ඇදිල්ලයි ටීචර්ගේ ඇහැ නොගැටෙන්න අද අපි දෙන්නම මෙතන නෙමෙයි. මම ශිෂ්‍යත්වෙන් පාස් වෙන්නේ ස්කෝලෙන් වැඩිම ලකුණු අරන්.ඒත් ඇත්තටම ඉස්සෙල්ලම ටවුමේ ස්කෝලෙකට ගියේ අපේ ලොක්කයියා , ඒ ලොක්කයියා චිත්‍රවලින් සමස්ත ලංකා මට්ටමේ කුසලතා පෙන්නුවම කුමාරිහාමි ටීචරුයි එයාගේ මහත්තයගෙයි මැදිහත්වීමෙන් ටවුමේ ඉස්කෝලයක් ලැබීම නිසා. කුමාරිහාමි ටීචර්, ඇගේ පඩිපතෙන් වැඩි කොටසක් අයියගේ කළමනාවලට වෙන් කළ බව අමතක කරන්න බෑ. ඇය හිතෙනුත් පොහොසත් ගුරුවරියක්.
ටවුමේ ඉස්කෝලේදී අපිට කවුරුත් “පද්දෝ” කියලා එලිපිට විහිළු නොකළත් මුණු මුණුව නම් තිබ්බා. සමහරු කුලේ නමින් හොයාගෙන තිබ්බා. ” ලස්සන අකුරු තියෙන උදානි “කියලා මම ඉස්කෝලේ ප්‍රසිද්ධ වුණා. ඒ දවස්වලම අම්මට අලුතෙන් පටන් ගත්ත රබර් ෆැක්ට්‍රියේ රස්සාවක් ලැබිලා තාත්තවත් ඒකට පංගඩාත්තු කරගත්තට පස්සේ තමයි අපේ මල්ලිට සුදු බත් ටිකක් එක්ක මාළු කෑල්ලක් කන්න ලැබෙන්න ඇත්තේ.
අපි ඉගෙනීමෙන් ඉහලට යද්දි තාත්තට බයක් දැනිලා අපේ වාසගම අපිට කවද හරි පරහකට ඉදීවි කියලා. අපි දන්නෙවත් නැතුව තාත්තා ගමේ උගත් මහත්තැන් කෙනෙක්ගෙන් වාසගම වෙනස් කරන්න උපදෙස් ඉල්ලලා . ” අනේ යකෝ උඹලා නම් ගම් වෙනස් කලාම අපේ ළමයින්ට, උඹලට එක මේසේ වාඩි වෙන්න පුළුවන්නේ…පල මගේ දෑහැට නොපෙනී ” කියලා තාත්තාව එලවගෙන (repeatable harassment ). මේ කතාව අම්මා මට කීවේ විශ්විද්‍යාලේ නිවාඩුවකට මම ගමේ ගියාම.
අපේ අවසානය කඳුලක්ම, වේදනාවක්ම වෙන්නැති කියලා හිතනවා නම් මට ඒකට කියන්න තියෙන්නේ, ඒක අර්ධ සත්‍යයක් කියන එකයි.
උදාන සම්පත් කියන සම්මානලාභී ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියාව අද කවුද නොදන්නේ? ඒ මගේ ලොක්කයියා. එයා විවාහ වුනේ ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පිණියක් එක්ක. එයා බෙලා.
ලස්සන අකුරු තියෙන උදානි මේකලා දැන් නීතීඥයෙක්. මම නීති පීඨේදිම ජේෂ්ඨ නීතී ශිෂ්‍යයෙක් එක්ක ආදරෙන් බැඳුනා. අපේ මල්ලිට විද්‍යාපීඨ කැඳවුම ආවේ ගිය මාසේ.
අම්මටයි, තාත්තාටයි උවමනා වුනේ අපි, උපන්ගමට කවදාවත් නොඑන්න. ඒත් ලොක්කයියා ගේ හැදුවේ ගමේ. ඔව් ! කටුමැටි ගෙදර කඩලා, එතන සාරසුභාවට හදපු ගෙට මුල්ගල තියපු දවසේ, අයියට ඇඩුනා. අවුරුදු ගාණක නින්දා අපහාසවල බර එයා මුල්ගල එක්කම යටකරන්න ඇති. මමත් මගේ කාර්යාලයක් ඒ ගෙදරම විවෘත කලේ ……. ඔව් මේ කතාව කියවන ඔබට හිතෙන දේටම තමයි.
නැතිදා නොසිටි සියළු මිනිසුන් ඇතිදා රැස් වෙන රීතියට ඒ ගමේ මිනිසුන් සෙමින් අනුගත වෙමින් තිබුනා. අපි ඉස්සරහ දොරින් ගැනීමට පිළිකුල් කළ මිනිසුන් අපේ නිවසේ දොර ඉදිරිපිට සිටගෙන සිටියේ මගේ හෝ අයියගේ සේවය ලබා ගන්නයි. ඔවුන්ගේ දරුමුණුපුරන්ගේ ඇස් පාදන්න අපේ මල්ලි නුදුරේදිම පටන් ගන්නා බව මට විශ්වාසයි. අපේ තාත්තට හෘදයාබාධයක් ( heart stroke ) ආවේ නොසිතූ වෙලාවක. අපේ තාත්තා පපුව පැලෙන්න තරම් වේදනා වින්දේ අද ඊයේ නෙමෙයිනේ. විශාදයට ( depression ) තාත්තා බෙහෙත් ගත්තේ ඇත්තටම ලොක්කයියාගේ බල කිරීමට. එතකොට මම විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්නවා.
තාත්තාගේ හෝ අම්මාගේ බයාදු ගතිය යැවීමට අපට තවමත් නොහැකිය. වසර ගණනක් පුරා දුක, අපහාස, ප්‍රතික්ෂේප වීම් වලින් මිරිකුණු ඒ අසරණ ජීවිත වලට සුන්දර ළමා කාලයක් හෝ තරුණ කාලයක් නොදීමට වග බලාගත් මිනිසුන් ලබා ගත්තේ මොනවා දැයි නොදනිමි. මා සහ මගේ පවුල හංවඩු ගසන්නට මුල් වූ මගේ වාසගම සහිත දිගු නම ලියනා විටද, ඇසෙනා විටද පිටදිගේ එන විදුලියක් උගුර හිර කිරීම හෝ නළලත දාඩිය මතුවීම අදද මට වළක්වනු නොහැකිය. ජීවිතයේ සෑම ජයග්‍රහණයකදීම අතීත මතක වලින් ජීවිතය වෙව්ලුම් නොකන බව මට කියන්නට බැරිය. Bully කියන වචනය පවා නොදත් යුගයක පවුලක් ලෙසම bully වීමු. දිවි අහිමි කරගැනීමට ( suicide ) සිතූ බොහෝ වාර ගණනකදී ජීවිතය අල්ලාගෙන සිටින්නට එකදු උත්තේජනයක් හෝ සැපයූ මිනිසුනි, ඔබ ගෞරවනීයය. ජීවිතය අසීරුම කළ මිනිසුනි, ඔබට දැන් සතුටුදැයි ඇසීමට මට උවමනා මුත් එය ඇසීමට පවා මම අසතුටුය. මිනිසාම ලොව දෙවියන් වී, ලොව තිරිසන් වන්නේ ඔබ වැනි අය නිසාය.
Stop bullying !
සියලු මනුෂ්‍යයින්ට ආදරයෙනි.