- Advertisement -

තාත්තාගෙන් දූට

-

කුඩා ළදැරියකගේ හැඬුම් හඬ, මට මා අහිමි කරන බව හෝ සදාතනිකවම මම ඇයට බැඳෙන බව, මගේ දියණියගේ පළමු හැඬුම් හඬ ඇසෙන තුරුම මම විශ්වාස නොකළෙමි. ඇගේ හෙට දවස වෙනුවෙන් මගේ අද දවසේ සතුට මට විලංගුලා දැමිය හැකිබව තේරුම් ගැනීමට, ඇගේ එකම එක පුංචි ඉකි ගැසුමක් ප්‍රමාණවත් විය. මහදේ දොරගුලු වෙන කිසිදු ස්ත්‍රියකට විවර නොකරන බවට නුඹේ අම්මාට දුන් පොරොන්දුව නුඹ කිරිකැටියෙක්ව උපන් දා මම බිද දැම්මෙමි. කිසිදා නොබෙදී යනු ඇතැයි විශ්වාස කළ මගේ ප්‍රේමය, නුඹ උපන් දා බෙදී ගියේය.  දුවේ නුඹ උපන්දා  මමද ඉපදුනෙමි.

ලෝකය විෂම බව ද නපුරු බව ද මම නුඹට සෙමින් උගන්වමි. නුඹ දිරිය ගැහැනියක ලෙස ජීවිතය දිනන තුරු, මේ තාත්තා නුඹේ අත අල්වාගෙන ඉදිමි. ඉතා අසීරු ජීවන දහම නුඹ සෙමින් ග්‍රහණය කර ගන්නා තුරු ඉවසීමෙන් සිටිමි. ජීවිතයේ සියලු පාඩම් සංයමයෙන් වටහා දෙමි.

- Advertisement -

 

මගේ පුංචි දුවේ……..

 

ගිනි අවුලවන්නට ලේසිය. ගිනි නිවීම අසීරුය. ඇවිලුනු ගිනිදැල් නිවීමේ මාර්ගද, කිසිදා ගිනි නොඇවිලෙන ලෙස ක්‍රියා කිරීමේ උපාය මාර්ගද මගේ දූ ඉගෙන ගත යුතුය. ගැහැනියක පරිණත වන්නේ නිවීමෙන්ම බව දූ තේරුම් ගත යුතුය ( be a problem solver  ).

ඔබ උපන්නේ පරිපූර්ණ ( perfect ) ගැහැනියක් වීමට නොවේය . ඔබටම අනන්‍ය අසම්පූර්ණ (imperfections ) කතන්දර වලට ඔබ තුළම ජීවත් වීමට ඉඩ හරින්නට උවමනාය. නුඹ නුඹම වනු දැකීමට මේ තාත්තාට ඕනෑය. වැරදීම්ද, අතපසුවීම්ද සිදුවන්නේ මිනිසුන් අතින් බව මගේ දූ දැනගන්නට අවශ්‍ය ය. ඉතින් වැරදේ හෝ පැරදේ යැයි බියෙන් ඉදිරියට ගත් පය පසුපසට නොගැනීමට තරම් මගේ දූ ධෛර්යමත් විය යුතුය. පැරදීමට බිය විය යුතු නැත ( don’t be afraid to be wrong or mistaken ).

ලෝකයේ සෑම කුඩා අංශුවක්ම පරීක්ෂණ වලටද, ප්‍රශ්න කිරීම් වලටද ලක් වන බව දූ දැනගත යුතුය. ඉතින් මගේ දූ ප්‍රශ්න වලට මුහුණදීමට ඉගෙන ගත යුතුය. ප්‍රශ්න වලට පිළිතුරු හෝ විකල්ප මගේ දුව තනිව සොයා ගත යුතුය (come to the table with more solutions than problems ). ජීවිතයට බය නැති බව මගේ දූ ඔප්පු කරනු දකින්නට මට වුවමනාය.

මම මහල්ලෙක් වෙන වේගයට සමානුපාතිකව මගේ දූ ලස්සන තරුණියක් වෙන බව මට විශ්වාසය. පෘථිවියේ  පරිභ්‍රමණය නවත්වන්නට හෝ දූ පුංචි පැටියෙක්ව සදහටම තබා ගන්නට මේ තාත්තාට අවශ්‍ය මුත් එය මට කළ නොහැකි බව දුව දන්නවා ඇතැයි සිතමි. ඒ නිසා අදුරු මතකද, නිදි වර්ජිත කඳුළු කඳුලු පිරුනු ඇස් ද දූගේ මතකයෙන් අතුගා දැමිය යුතු බව මම යෝජනා කරමි. එහෙත් අපි පවුලක් ලෙස එකට ආදරයෙන්  බැඳී හුන්  මතක ගබඩාව මගේ දු ලග තිබීමට මට වුවමනාය. ඒ ආදරණීය මතක සටහන් මගේ දූ කෙදිනක හෝ ඉතා හොඳ පෙම්වතියක්, ඉතා හොඳ බිරිඳක්, ඉතා හොඳ යෙහෙළියක්, ඉතා හොඳ අසල්වැසියෙක් සහ ඉතා හොඳ පුරවැසියෙක් බවට පත් කරනු ඇති බව මගේ විශ්වාසයයි ( keep beautiful moments in your heart ).

ඔබ උපන්නේ රෝස පාට සිඟිති අත් දෙක කිටිකිටියේ ගුලි කරගෙනය. සෙමෙන් දිගහැරුණු ඒ රෝස පාට අත්ල මත පාරිශුද්ධභාවය හැර වෙන අන් යමක් දූගේ තාත්තා දැක්කේ නැත. ඒ පුංචි දෑත්වලින් ඔබ අනාගත ලෝකයට යමක් දායාද කළ යුතුමය. නුඹේ තාත්තාට නුඹට දෙන්නට වතුපිටි හෝ හෝ හරකාබාන නැත. මට ඔබට දිය හැකි අමිල සම්පත වන්නේ අධ්‍යාපනය පමණය. ඉතින් නුඹ හොඳින් ඉගෙන, පරිකල්පනයේත් නවෝත්පාදනයේත් විශිෂ්ටයෙකු වනු දැකීමට මේ තාත්තාට උවමනාය ( you can make something out of nothing ).

මගේ සෙවණේ, මගේ දූට කැමති විටෙක නිදන්නටද, කැමැති විටෙක කන්නටද,  කැමැති විටෙක කෙළිදෙලෙන් සිටින්නටද හැකිමුත් එසේ කළ නොහැකි අතිශය කාර්යබහුල, අතිධාවනකාරී ලෝකයකට මගේ දූ කෙදිනක හෝ ප්‍රවිශ්ට වෙනු ඇත. එදිනට මේ තාත්තා බොහෝවිට බොහෝ විට පස් ගොඩක් පමණක් වනු ඇත. ඒ නිසා හැම විටම කම්මැලි වීම ඉතාම කම්මැලි බව මගේ දූ තේරුම් ගත යුතුය ( being bored is boring ). අවශ්‍ය විට අනලස්ව කටයුතු කිරීමේ පාඩම මගේ  දූ ඉගෙනගෙන තිබිය යුතුය. 

ඇතැම්විට බොහෝ දේවල් වචනයෙන් දිනන්නට මගේ දුවට සිදුවෙනු ඇත. එනමුදු ජලයට  විසි කරන ලද ගලක් හෝ කටින් පිටවුණු කිසිදු වචනයක් නැවත ගත නොහැකි හෙයින්ද, මහනෙල් සුවඳමුත් කුඩමසු පිළීගඳ හෙයින්ද මගේ දූ වචන ප්‍රවේශමෙන් පරිහරණය කිරීමට උගත යුතු වන්නේය. ඔබේ ඉවසීම අතික්‍රමණය වන ස්ථානවලදී පවා සංයමයෙන් වචන හැසිරවීමට මගේ දුව සෙමින් පුහුණුවිය යුතුය (our words are a thing of beauty ).

දූගේ සීයාගේ ලෝකය වර්ණවත් කළ ස්භාවික ලෝකයේ චමත්කාරයට වඩා දූගේ තාත්තාගේ ලෝකයේ තිබුනේ තාක්ශණික ලෝකයේ අරුමැසි පෙරළීන්ය, වෛද්‍ය විද්‍යාවෙන් පවා පිළිතුරු සොයා ගැනීමට නොහැකි වූ රෝගාබාධය. සෑම කරුණක් අරභයාම විච්ජින්න වූ මිනිසුන්ය. සින්තටික් සිහිනය. නපුර වෙනුවෙන්ම පෙළ ගැසුන චතුරංගනී සේනාය. විපරීත බුද්ධීන්ය. ඉතින් ඒ සෑම අභියෝගයක්ම දූ ටය. ඒ සියල්ලටම මුහුණ දෙද්දී දුව මතක තබා ගත යුතු එක් කරුණක් වන්නේය. එනම්  හැම බර සුසුමකට පසුවද, කඳුලකට පසුවද, පැරදුමකට පසුවද දූ හැරී බලනවා නම්, දූගේ තාත්තා දූ පසු පස්සේ ඉන්නා බවය.

දියණිවරුන්ට ආදරයෙනි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article