- Advertisement -

තනි වූ මවුවරු

-

ස මස කුස දරා, සිය ජීවිත කාලය පුරා හදෙහිද දරාගෙන දරුපැටවුන් කෙරෙහි අපිරිමිත ආදරයෙන් සහ ප්‍රාණ පරිත්‍යාගයෙන් ජීවත් වන යම් කෙනෙක් ඇත්නම්  ඒ දෙමව්පියන් පමණය. දරුවන් ඇති දැඩි කිරීමේදී මුහුණ දෙන්නට සිදු වන අභියෝග වලට මුහුණ දීමට වීර්යය වැඩිය හැක්කේද, අසීමිත ධෛර්යයක් ඇත්තේද දෙමව්පියන්ට පමණි. මව්පිය ආදරයට හෝ රැකවරණයට සම කළ හැකි කිසිවක් මෙදියත ඇතැයි විශ්වාස කළ නොහැක්කේ, දාරක ස්නේහය ඇට මිදුළු පවා විනිවිද යන බව තථාගත බුදුන්වහන්සේගේ දේශනාවේ සඳහන් නිසාය.

දෙමාපියන් එක මඟ නොයා වෙන් වෙන් වශයෙන් තනි මග යන්නට තීරණය කළ එහෙමත්  දිනයක, එතෙක් තම දරුවන් වෙනුවෙන් දෙදෙනා එක්ව දැරූ සියලු අභියෝගයන්ද, සියලු ප්‍රයත්නයන්ද, සියලු විශ්වාසයන්ද බෙදී යන්නේය. මෙහිදී පුතුන් තනන්නටද, පුතුන් රජුන් කරන්ටද දුක්ගන්නා අම්මලාට ඒ සියලුදේ තනිව දරන්නට වන අනපේක්ෂිත අරගලයක කොටස්කාරියන් වීමට සිදුවන්නේය. 

- Advertisement -

single mom එහෙමත් නැත්නම් තනි වූ මවක්ගේ අරගල මොනවාද ?

අද කතාව ඒ ගැන..

  • රාජකාරි ජීවිතයේ අභියෝග ( work life challenges )

දරුවෙක් කිසිදා මවකට හෝ පියෙකුට බරක් නොවන මුත් තනිව දරුවන් හදා වඩා ගැනීම රාජකාරි කරන මවකට වඩා අසීරු වන බව පොදු මතයයි. එයට හේතුව ඇයට කරන්නට සිදුවෙන අසීරු කාල කළමනාකරණයයි. තම රාජකාරි ජීවිතය සහ දරුවන්ගේ සියලු අවශ්‍යතා හා වුවමනා වලදී අම්මාත් තාත්තාත් යන චරිත ද්විත්වයේම වගකීම් ඇයට දැරීමට සිදුවේ. මෙහිදී තමන්ගේ කායික හා මානසික විවේකය නිතැතින්ම දරුවන් වෙනුවෙන්  අහිමි කර ගැනීමේ  ආවස්ථික පිරිවැය තනි වූ අම්මාට දරන්නට සිදුවේ. ඇතැම් තනි වූ මවකට තම දරු පැටවුන් ගේම අනාගතය වෙනුවෙන් අතිරේක පැය ගණනක් ( extra working hours ) පවා වෙහෙසෙන්නට සිදුවෙනු ඇත. 

මෙම තත්ත්වය කළමනාකරණය කරගත නොහැකිද ?

  • ඔබ උදව් ඉල්ලන්න ,ඔබට උදව් ලැබේවි යැයි සිතෙන ඕනෑම ආසන්න ඥාතීන්ගෙන් හා වැඩ සගයන්ගෙන්.
  • ඔබට වඩා නම්‍යශීලීව රාජකාරි කළ හැකි වේලාවන් සොයාගන්න ( flexible working hours ).
  • නිවසේ සිට සේවය කිරීමට හැකි රැකියාවක් සොයා යන්න ( work from home ).
  •  රාජකාරි සහ ගෘහස්ත කටයුතු සඳහා ඉලක්ක සකසා ගන්න ( set goals ).

 

  • වරදකාරී හැඟීම නිසා ඇතිවන අභියෝග ( guilty feeling )

තනි වූ මවකගේ සිතුවිලි අප සිතනවාට වඩා බොහෝ සංකීර්ණ විය හැකිය. කාල කළමනාකරණයේ අසමත් බව නිසාම තමන්ට දරුවන් මඟ හැරෙන බව හෝ තමන් හොද අම්මෙක් නොවන බව සිතීමෙන් ඔවුහු බොහෝ විට පීඩාවට පත්වෙති. තම හිතවත් යුවලක් ඔවුන්ගේ දරුවාට ලබාදෙන සියලු දේ හෝ ඉටු කරන සියලු යුතුකම් තනි අම්මා කෙනෙක්ට කරන්නට නොහැකි බව දැන, ඔවුහු  පශ්චාත්තාප වෙති. ඉතින් මේ වරදකාරී හැඟීමෙන් මිදීමට නොහැකිද?

  • දෙමාපිය රැකවරණය දරුවන්ට ලබා දීමේ හරි හෝ වැරදි කියා නියමිත  ක්‍රමයක් නැත. අනිත් පවුල් සමග සංසන්දනය කර එයට අනවශ්‍ය තරගකාරීත්වයක් ආරෝපණය කර ගැනීමෙන් වළකින්න.
  • නවශ්‍ය තරම් වන සමාජ ජලා ජලා භාවිතයෙන් මිදෙන්න. මන්ද එහි බොහෝ විට ඇත්තේ බොරුව වර්ණනාත්මක ස්වරූපයෙන් පමණකි.
  • මේ මොහොතේ ජීවත් වෙන්න .
  • දරුවන් සමග  සතුටින් සහ විනෝදයෙන් ගත කිරීමට කාලය සොයා ගන්න.
  • ඔබ වෙනුවෙන් පුංචි වෙලාවක් හොයාගන්න .
  • ඔබව දිරිමත් කරන ඔබ වැනි ම සමාන අදහස් දරන මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට තරම් බුද්ධිමත් වන්න .

 

  • මානසික අභියෝග  ( emotional challenges )

තම සහකරු සමඟ එතෙක් බෙදා ගත් අත්දැකීම්, අදහස්, යෝජනා සහ චෝදනා ද තනි වූ මවක් වන පළවෙනි මොහොතේම මොහොතේම ඇයට අහිමිව යන්නේය. තීරණයක හොඳ හෝ නරක පිළිබඳ එතෙක් තිබූ අන්ත දෙකෙන් එක් අන්තයක් නිෂ්ප්‍රභ ව යන්නේය. මේ හේතුවෙන්  තනි වූ මව්වරු කාන්සියෙන්ද ඇතැම් විට විෂාදයෙන්ද පීඩා විඳින්නෝය. ඉතින් මෙය සමනය කරගත නොහැකිද?

  • දරුවන් සමග ආදරණීය සබඳතාවක් ගොඩනඟා ගන්න. ඔවුන්ට ළං වෙන්න. 
  • ඔබ තනි ගැහැනියක්ව සිට සිදුකරන මේ අතිවිශාල මෙහෙය පිළිබඳ ඔබටම ස්තුතිවන්ත වෙන්න.
  • ලෝකයේ සර්ව සම්පූර්ණ කිසිදු යමක් නැති බවත් ඔබේ දරුවාගේ ප්‍රීතිමත් සිනහව පසුපස ඇත්තේ ඔබේ අප්‍රමාණ කැපකිරීම් බවත් නිතර සිතන්න.

 

  • ආර්ථිකමය අභියෝග ( financial strain )

බොහෝ තනි මව්වරුන් දැඩිව ආර්ථිකමය ගැටලූ වලට මුහුණ දෙන බව නොරහසක්. එතෙක් දෙදෙනකු පවත්වාගෙන ආ ජීවන රටාවට තනිව මූල්‍යමය වශයෙන් අවතීර්ණ වීම දැඩි අභියෝගකාරී වනුයේ උද්ධමනය, රුපියලේ අගය ක්ෂයවීම, විවිධ බදු වැනි ආර්ථිකමය සංකල්පවලින්ද ඇයට බැට කන්නට සිදුවන නිසාය. දරුවන්ට අවැසිදේ ඒ ඇසිල්ලේම ලබා දීමට ඔබට නුපුළුවන් විය හැක. එනමුදු එය ඔබ නරක අම්මෙක් බවට පත් කරන සාධකයක් නොවන්නේය. මේ ආර්ථික අභියෝග කළමනාකරණය කරගැනීමට නොහැකිද ?

  • අරපිරිමැස්මට හුරුවෙන්න .
  • හැකිතාක් ණය නොවී සිටීමටත් ණය ලබා ගතහොත් ඒවා පියවා දැමීමටත් උත්සුක වන්න.
  • මාසික අයවැය  පිළිබඳ  දළ සැලසුමක් ඇතිව වියදම් කරන්න.
  • කෙසේ හෝ ඉතිරි කරන්න. රුපියලෙන් රුපියල එකතු වීමෙන් දසදහස්ද කෝටි ප්‍රකෝටි ද හැදෙන බව නිතර සිතට ගන්න.

 

  • ශාරීරික වෙහෙස නිසා ඇතිවන අභියෝග ( fatigue )

තම සහකරුවා වෙන්වී ගිය දින තමන්ද තමන්ට අහිමිව ගිය බව සිතීම සාධාරණය කළ නොහැක. එනමුදු ජීවිතයේ ජීවිතයේ මහා පෙරළියකට ඔබට ක්ෂණිකව හැඩ ගැසීමට නොහැකි බව නම් අවිවාදිතය. නිවසේ ප්‍රධාන ආදායම් උපයන්නාද , අම්මාද, තාත්තාද එකෙකු  වූ කලී දැනෙන ශාරීරික වෙහෙස ගැන වෙසෙසින් පැහැදිලි කළ යුතු නැත. එහෙත් මානසික මෙන්ම කායික රෝගවලද ගොදුරක් බවට ඔබ නොදැනුවත්වම පත්වීම ඔබ වළක්වා ගත යුතුය. එය කරන්නේ කොහොමද ?

  • ශරීරයට දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන සහ විටමින් අවශ්‍යතාව කෙසේ හෝ සපුරා ගන්න.
  • ජලය ප්‍රමාණවත් පරිදි පානය කරන්න.
  • රාජකාරි කටයුතු නැති අනෙක් සෑම විටම දුරකථනයෙන් ඇති සිටින්න.
  • කුඩා විවේක හෝ නින්දක් ඔබට අවශ්‍ය යයි හැඟෙන ඕනෑම විටක එයට ඉඩදෙන්න.
  • ව්‍යායාම සඳහා ඇවිදින්න.

මේ කරුණු සියල්ල තනි මවක් වූ ඔබ කළයුතුම යැයි නියමයක් නැත. තනි වූ මවක් ලෙස දරුවන් හදාවඩා සමාජයට මුදාහැරීමට අති විශාල ධෛර්යයක්, ඉවසීමක් සහ මානසික ශක්තියක් අවශ්‍යය. ඔබව නිකරුණේ විවේචනයට ලක්වීමටද, පීඩාවට ලක්වීමටද ලාංකික සමාජයේ ඕනෑතරම් ඉඩකඩ ඇතත් ඒ සියල්ල විඳදරාගනිමින් ඔබ කරන කාර්යය ප්‍රශංශනීයය. තනි වූ මවක් වීම අවමානයක් නොව ආත්ම අභිමානයෙන් නැඟී සිටීමට උත්තේජනයක් බව පසක් කර දෙන ඔබට අපේ ගෞරවය.

මව්වරුන්ට ආදරයෙනි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article