- Advertisement -

ප්‍රීතිමත් දරුවෝ

-

සන්තුෂ්ටිය පරම ධනයක්ම වන්නේය. මන්ද ප්‍රීතිමත්ම මිනිසුන්ගේ සිනහවන් වලින් ඔවුන් ලෝකය වර්ණ ගන්වන නිසාය. ප්‍රීතිමත්ම මිනිසුන් ලෝකයාගේ සතුටු හෝමෝන ( serotonin, dopamine, oxytocin and endorphins ) වර්ධනය කරන නිසාය. ලෝකය සුවපත් කරන නිසාය. ලෝකය ජීවත්වීමට වඩා සුදුසු සහ සුන්දර තැනක් කරන නිසාය. කදුළු හා දුක අමතක කරවන නිසාය. 

ලෝකයේ මානව සංවර්ධන දර්ශකය ( human development index ) මනිනු ලබන්නේ උපතේදී ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, සහ ප්‍රතිශීර්ෂ ආදායම යන ප්‍රධාන ශිෂ්‍ය තුන යටතේ වන නමුදු මිනිසාගේ මානව සංවර්ධනයට අත්‍යන්ත හේතු සාධකයක් වන “සතුට ” මැනීමේ නිර්ණායකයක් හෝ පදනමක් නැත. එනමුදු සන්තුෂ්ටිය නැමති මධුවිතෙහි ගිලෙන්නට අකමැති එකදු ප්‍රාණියෙකුද මිහිමත නැත. විටෙක රැඳෙන විටෙක ගිලිහී යන මේ ආනන්දනීය හැඟීම වැඩිහිටි අප විසින් අපේ දරුවන්ට නිතර ප්‍රගුණ කරවිය යුතු උසස් ගුණාංගයක්, මානුෂික දායාදයක්ම වන්නේය. මන්ද යත් අප තුරුලෙහි සිටින කුඩා ප්‍රාණීන් දිනෙක මේ ලෝකය සුවපත් කරන සිනා ගෙනෙන්නෝද, සොඳුරු මනුෂ්‍යයෝද කරවීමේ බරපතළ වගකීම අප සතුව සතුව ඇති හෙයිනි. 

- Advertisement -

බොහෝ නපුරු සහ දරුණු පන්තියෙහි ලා සැලකෙන වැඩිහිටියන් බොහොමයකගේ අතීත කතාවන් පිටුපස කායිකවත්, මානසිකවත් හිංසාවට හා පීඩාවට වූ අසරණ ළමා කාලයක නටඹුන් ඇත. සුපිරිසිදු සුදුපාට කොළ වැනි පුංචි ප්‍රාණීන්ගේ ජීවිත සීරුවෙන් වර්ණ ගැන්වීමේ වගකීම අප අත ඇති බව අප වටහා ගතයුත්තේ ඒ නිසාය.

“අනේ පොඩි කාලේ ඉඳන් ඉල්ලන ඉල්ලන හැමදේම අරන් දුන්නා ….කිසිම අඩුවක් කළේ නෑ ඇයි අපේ දරුවෝ මෙහෙම ?” ලෙස අකම්පාල වෙන දෙමාපියන්, නූතන සමාජයේ ඉතා සුලබ බව ඔබට ප්‍රත්‍යක්ෂ කරුණක් බව නිසැකය. එසේ නම් සියල්ල සපයා, සපුරා දුන් පසුවද වරදකාරී සහ නපුරු දරුවෙකු සමාජයට දායාද වීමේ හිඩස ඇති වූයේ කොතැනින්ද?

දෙමාපියන් අවසානයට තමන්ගේ හිස අත ගෑවේ කවදාද? හාදුවක් දුන්නේ කවදාද? තුරුලට ගත්තේ කවදාද? සිහියට නගා ගන්නට අසීරු සෑම කුඩා ප්‍රාණියෙක්ම බොහෝවිට පසුවන්නේ අසතුටෙනි. එසේ වන්නේ ඔබ මිලදී ගෙන දුන් මිලාධික අලුත් සෙල්ලම් කාරය, බෝනික්කා, ඔහු හෝ ඇයගේ කැමතිම පිට්සා ඕඩරය හෝ ප්‍රසිද්ධ සන්නාමයකින් එන හිම කිරමෙන් ඔවුන් ලබාගත් තාවකාලික ප්‍රබෝධය ” මට ඉන්නේ ප්‍රීතිමත් දරුවෙක් ” ලෙස ඔබම වැරදි ලෙස  අර්ථකථනය කරගත් නිසාය.

ස්වභාවධර්මයා තරම් දරුවන්ට අලුත් දේ අත්හදා බැලීමට ආරාධනා කෙරෙන වෙනත් පර්යේෂණාගාරයක් නැත. නැවුම් වාතයද, මුදු සුළඟද, නිලි වැසිද , පෙරළූ නැවුම් පසක සුවඳද හඳුනාගන්නට තරම් ඔබේ දරුවාගේ සංවේදන දියුණු කළ යුතු වන්නේය. වායුසමනය කළ සංවෘත කාමරයකදී වඩා එළිමහනේ ගසක් යටදී නැවුම් අශ්වාස ප්‍රාශ්වාසයෙහි මිහිර විඳ ගන්නට ඔබේ දරුවා දත යුතු වන්නේය. ( encourage outdoor play )

ඩිජිටල් තිරයෙන් සතුරන්ගේ දිවි අහිමි කිරීම ඉලක්ක කර ගත් සාමූහික ක්‍රීඩා හෝ ඩිජිටල් තිර හරහාම වගා සංග්‍රාම සෙල්ලම කරනු වෙනුවට ලෝකය කියවන්නට පොතපතේ ආභාෂයේ හුරුව ඔබේ දරුවාට ලබාදිය යුතු වන්නේය. ( limit screen time )

ලෝකයේ සියල්ල තව කෙනෙකුගේ මහන්සියකින් ඉපැදෙන ඒවා බවත්, සියල්ලන්ම අගය කළ යුතු බවත් ඔබේ දරුවාට කියා දෙන්න. තව එකෙකුගේ මහන්සියෙන් ඵල ප්‍රයෝජනයක් ගත් සෑම විටම ස්තූතිවන්ත වීමට උගන්වන්න. ( practice gratitude )

වැඩිපුර කන්නට ඉල්ලන තව බිස්කට්ටුවකදීම, තව පැයක් කාටුන් බැලීමට ඕනෑ යැයි කියන පුංචි බෙරි උන මුහුණක් ලඟදීම, පාසැල් වැඩ කරන්නට පස්සේ පුළුවන් බව කියනා සෑම විටකදීම ඔබේ සිත දරුවන් කෙරෙහි අපිරිමිත ආදරයෙන් තෙත් වන නමුදු ස්වයං විනයක් තිබිය යුතු බව දරුවාට ඔබ විසින් ඉගැන්විය යුතු වන්නේය. අවශ්‍ය යයි හැඟෙන සෑමදේම ඒ මොහොතේ නොලැබෙන බවත් ටිකක් ඉවසීමෙන් බලා හිඳීම නරක නැති බවත් ඔබේ දරුවාට කියා දිය යුතු වැදගත් පාඩමක්මය. ( teach self control )

නිවසේ ඉතා කුඩා වගකීම් දරුවාට පවරන බවත් ( assign chores ), දරුවාගේ අදහස්, යෝජනා මෙන්ම චෝදනාද වැදගත් බවත් අඟවන්න. නිවසට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම් වලදී පවා ඔහුගේ අදහස් ලබා ගන්න. තමන් පවුලේ වැදගත් කොටසක් බව වැටහීයාමෙන්ම දරුවෝ සන්තුෂ්ටියට පත්වෙති.

ඔබ සහ ඔබේ සහකරුවා හෝ සහකාරිය ඇතැම් විට ඇතැම්විට ඉතා කාර්යබහුල, වගකීම් සහගත හා රාත්‍රී වැඩ මුරයන් පවා කිරීමට සිදුවෙන අයවලුන් වීමට  පුළුවන. එනමුදු සතියකට කිහිප වේලක්වත් පවුලක් ලෙසට එකට ආහාර ගැනීමේ පුරුද්දක් ඇතිකර ගන්න. ( eat together ) මන්දයත් දරුවන්ගේ ප්‍රීතිමත් මනෝභාවයන් උත්තේජනය වීමට පවුලක් ලෙස එකට ආදරෙන් බැඳී සිටීම විශාල කාර්යභාරයක් ඉටුකරන බැවිනි ඒ.

ප්‍රීතිමත් දරුවෙක් එළඹෙන සෑම මිනිත්තුවකදීම සිනහා නැගිය යුතු බවට නියමයක් නැත. බිය, සාංකාව, කලකිරීම, පසුතැවීම වැනි මනෝභාවයන් කළමනාකරණය කරගැනීමට ඔවුන් උගත යුතුය. යමක් අහිමි වී යාමේදී හෝ පරාජයකදී ඉඳහිටක දරුවෙක් හෙලන කඳුළක් යනු ඔබේ දෙමව්පිය රැකවරණයේ අඩුලුහුඩු කමක් නොවේය.

ඔබේ දරුවන්ට හැඟීම් පාලනයේ සහ මානව සම්බන්ධතා කළමනාකරණයේ මුලික පාඩම් ඔබ විසින් ක්‍රියා දීම ප්‍රමාණවත්ය. ආදරණීය පරිසරයක වැඩෙන දරුවෝ විශේෂ පරිශ්‍රමයකින් තොරවම අනාගතයේ  සතුටින් ජීවත්වන වැඩිහිටියන් වෙති. එය ඇත්තේ ඔබට එක් පියවරක් ඉදිරියෙන් පමණකි.

මව්පියන්ට ආදරයෙනි. 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article