උදේට නැගිටලා ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ යන්න ලෑස්ති වුනත් පාසලට ළං වෙද්දී යන්න බෑ කියල සමහර දරුවෝ අඩනවා. එහෙමත් නැත්නම් උදේට බඩ රිදෙනවා/ඔළුව රිදෙනවා කියලා අඩන බබාලත් ඉන්නවා. ඒත් පාසලට නොගිහින් ගෙදර ඉන්න කිව්වම ඒ වේදනාවන් ඉක්මනින් සුව අතට හැරෙනවා. මේ රෝග තත්ත්ව වෛද්‍යවරයෙකු වෙත යොමු කළාම දරුවට ඇති ලෙඩකුත් නැහැ. මෙන්න මේ විදිහට දරුවෙක් පාසලට යන්න බිය වීම/බෑ කියන එක ස්කූල් රෙෆියුසල් (School Refusal) කියල තමයි අපි හඳුන් වන්නේ.
දරුවෙක් පාසල් යන්න බෑ කියන්න ඇතිවන හේතු මොනවද?
මේ තත්ත්වය කොටස් තුනක් යටතේ සාකච්ඡා කළ හැකියි.
- දරුවා හා සම්බන්ධ සාධක
- දරුවෙකුට අධාපනික කුසලතාවල දුර්වලතාවයක් තිබීම, (අවධානය අඩු දරුවෙකුට පාසලේදී අවධානය තියාගන්න බැරි නිසා ඇහුම්කන්දීම, තමන්ට පවරන වැඩේ හරියට කරගන්න අසීරු වීම නිසා)
- අකුරු සහ ඉලක්කම් හඳුනා ගැනීමේ විශේෂ අපහසුතා (ඩිස්ලෙක්සියා තත්ත්වයක් තියන දරුවෙකුත්)
- විෂාදය තත්ත්වයක් ඒ කියන්නේ හිතේ මනෝභාවය අඩු තත්වයක් (නින්ද යාමේ දුර්වලතාවක්, ඉක්මනට තරහා යෑම)
- ශ්‍රවන සහ දෘෂ්ටි දුර්වලතා (පාසලේදී අධාපනය ලැබීමේදී අපහසුතා ඇතිවීම නිසා)
දරුවෙකුගේ උඩු හිතේ මෙන්න මේ වගේ මනෝ පීඩනය තියනවනම් ඒ දරුවන් පාසැල් යාම නොයෙක් ක්‍රම මගින් ප්‍රතික්ෂේප කරනවා විය හැකියි. ඒත් මේ පීඩනය යටි හිතේ ඇත් නම් එවැනි දරුවන් පාසැල් යන අවස්ථාවේදී පමණක් හිසේ/උදරයේ වේදනාවන් ගැන පැමිණිලි කරත් ඒ තත්ත්වයන් සති අන්තයේදී ඇති නොවෙයි.
- පාසැල සම්බන්ධ සාධක
- යම්කිසි දරුවෙක් අලුතින්ම පාසලට ඇතුළු වූ විට විශේෂයෙන්ම එක වසරෙදි, නැත්නම් තමන්ට පුරුදු ගුරුතුමියගෙන් වෙනත් ගුරුතුමියකට මාරු වුනාම, එහෙමත් නැත්නම් පාසලින් වෙනත් පාසලකට මාරු වුනාම නැත්නම් ගුරුතුමියත් එක්ක කටයුතු කිරීමේදී ඇතිවන දුෂ්කරතා හින්දා ඒගොල්ලෝ පාසල් යෑම ප්‍රතික්ෂේප කළ හැකියි.
- පාසලේ තියන සමාජ පරිසරයෙන් දරුවන්ට හිරිහැරයක් වෙනවා නම් අනිත් දරුවන් අතින් බුලී වෙනවා නම් දරුවා පාසැල ප්‍රතික්ෂේප කළ හැකියි.
- ආත්ම ශක්තිය අඩු දරුවෙක් අධි ක්‍රියාකාරිත්වයක් ඇති දරුවෙක් සමග වැටීම නිසා යම් යම් පීඩනවලට ලක්වීම (පැන්සලෙන් අනිනවා, කොන්ඩෙන් අදිනවා)
- නිවසේ ඇතිවන ගැටළු.
- දෙමව්පියන් අතර ප්‍රචණ්ඩ හැසිරීම (යටිහිතේ ඇතිවන මානසික පීඩනය නිසා ඇතිවන බියක් නැතිනම් දෙමව්පියන්ගෙන් වෙන්වීමේදී ඇතිවන බියක්, විශේෂයෙන්ම මවට හිරිහැරයක් වේය යන බිය)
- නිවසේදී දරුවෙකුට ශාරීරිකව මානසිකව හෝ වෙනත් ආකාරයේ අතවරයක් ඇතිවෙනවා නම් එය කාටවත් කියාගත නොහැකි වීම
- නිතර හිත කලබලයට පත්වන, කනස්සල්ලෙන් පසුවන දෙමාපියන් නිසා. ඔවුන්ගේ බිය නිසා දරුවට ලැබිය යුතු ස්වාධීනත්වය නොලැබී යාම, අනවශ්‍ය ලෙස පිටුපසින් හිදිමින් ආරක්ෂා කිරීම
පාසැල් යන්න බෑ කියා හඩා වැටෙන දරුවෙක් ඔබටත් ඉන්නවා නම්,
- දරුවාට ශාරීරික අපහසුතාවයක් නෑ කියලා අපි හරියටම දැනගත්තට පස්සේ දරුවාව දිගටම පාසලට යවන්න අපි උත්සහ කළ යුතුයි. දරුවාව තාවකාලිකව පුංචි මානසික පීඩනයක් ඇති වුනත් එයා අඬලා දොඩලා ඒ ගැන ඔයාලට කිව්වත් ඒ එයාට දිගු කාලීනව ලැබෙන යහපත ගැන හිතල එයාව දිගටම පාසැල් යැවිය යුතුයි. දරුවා පාසැලට පුරුදු වන තුරු අපහසුතාවක් දැක්වුවත් දිගුකාලීනව එයාව පාසැල් යැවීමෙන් එයාගේ මානසික ස්ථාවරත්වය ලබාගත හැකියි. මොකද දරුවන්ට මනෝ සමාජීය පරිසරයක් හැටියට පාසැලෙන් අකුරු ඉලක්කම් වලට වඩා බොහෝ දේ ඉගෙන ගන්නා අතරම අන් අයගේ හැඟීම් අවබෝධකර ගැනීම, සහකම්පනය, අනෙකාට ගෞරවයෙන් සැලකීම වගේ ඉතාමත් වැදගත් කරුණු දරුවන්ට පාසලෙන් ඉගන ගන්න පුළුවන්.
- පාසලෙනුත් දරුවන්ට හොඳ සහයෝගයක් ලැබිය යුතුමයි. දරුවාව ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් පරික්ෂා කොට වෛද්‍ය උපදෙස් අනුව පාසලේ මුල් කාලෙදි අම්මා හරි තාත්තා හරි දරුවත් එක්ක රැදිය යුතු නම් ඒ සදහා පාසැලෙන් උපඑිම සහයෝගයක් අවශ්‍යයි.
පාසලේ මුල් සතියේදී අම්මාගේ සහයෝගය ලබාදෙන්න කටයුතු කිරීමත් ක්‍රමයෙන් මව පන්තියෙන් සහ පාසලෙන් පඩිපෙලක ආකාරයට (step by step) ක්‍රම ක්‍රමයෙන් ඉවත්වීමත් ඉතාම වැදගත්. ඒ වගේම තමයි පාසලේදී දරුවා ශාරීරික රෝගයක් නැතුවත් නිතරම ඔලුව කැක්කුම බඩේ කැක්කුම කියලා පැමිණිලි කරනවා නම් මේක දැන් වෛද්‍යවරයෙක්ට පෙන්නලා ශාරීරික රෝගයක් නෑ කියලා තහවුරු වෙලා තියනවා නම් පාසලෙන් ලැබෙන්න ඕන ලොකුම සහයෝගය තමයි දරුවාව ඉක්මනින් ගෙදර යවන්නේ නැතුව දිගටම පාසලේ රඳවාගන්න උත්සහ දැරීම.
දරුවාට අවශ්‍ය සහනයක් එක්කෝ මානසිකව හෝ ශාරීරිකව ලැබෙන්න ඕන උදව්වක් පාසලෙන් කරන්න පුළුවන්. එහෙම නැති උනොත් හිසේ කැක්කුමයි කියන හැම වෙලාවේම අම්මා කැදවා ගෙදර යවනවා නම් දරුවා එයට හුරු විය හැකියි. එහෙම වුනොත් මේ චර්යාව දිගු කාලයක් රැඳෙන්න පුළුවන්. ඉතින් දරුවෝ පාසල් නොයන විට, දරුවෝ පාසල් යන්න බෑ කියනකොට අපිට ඇහැට පේන දේට එහා ගිය දරුවන්ගේ චින්තනයේ, හැඟීම්වල ඇතිවන වෙනස ගැන අපි මනාව අවබෝධ කරගත යුතුයි.
එහෙම අවබෝධ කරගෙන ළමා සහ යොවුන් මනස පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ මනෝවෛද්‍ය විශේෂඥයෙක්ගේ උපදෙස් ලබාගැනීමෙන් ඔබට දරුවාට වඩා යහපතක් ඇතිදේ කළ හැකියි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය