ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය අදයි !!!!

ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය සැප්තැම්බර් 08 දිනට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් භෞතචිකිත්සාව පිළිබඳව දැනුවත් කිරීමට මේ ලිපිය මගින් අරමුණු කෙරේ. සංවර්ධිත රටවල ඉතා ජනප්‍රිය මෙම භෞතචිකිත්සාව තවමත් අප රටේ ජනතාව අතර හොඳ අවබෝධයක් නැත.

භෞතචිකිත්සාව යනු භෞතික විද්‍යාවේ යෙදෙන මූල ධර්ම වන තාප ශක්තිය, විද්‍යුත් ශක්තිය, චුම්භක ශක්තිය, ධ්වනිය, ආලෝක ශක්තිය, ගුරුත්වාකර්ෂණය,චාලක ශක්තිය,විභව ශක්තිය වැනි ශක්තීන් සහ භෞතික ව්‍යායාමත් භාවිතා කරමින් රෝගියෙකුට කෙරෙන ප්‍රතිකාර ක්‍රමයකි.කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකරමින් කිසිම විකිරණ යක් භාවිතා නොකරමින් කරන මෙම භෞතික චිකිත්සාවේ කිසිම සංකූලතාවයක් (side effects) නැත.

ළමා රෝග, වැඩිහිටි වියේ රෝග, කාන්තා රෝග, ස්නායු රෝග, කැඩුම් බිඳුම් විකලාංග රෝග, රක්තවාත රෝග, ශ්වසන රෝග, ජාන රෝග සහ ක්‍රීඩා අනතුරු වැනි සියලු දේ සදහා භෞතචිකිත්සක ප්‍රතිකාර ඇත.

භෞත චිකිත්සකවරයාට රෝගියා යොමු වූ පසු ඔහු හෝ ඇය විසින් රෝගියා ඇගැයීමකට ලක් කර එම ප්‍රතිකාර තීරණය කරනු ලබයි.

එම ප්‍රතිකාර ප්‍රභේද ගණනාවකට බෙදේ. එනම් ප්‍රතිකාරමය  ව්‍යායාම (Therapeutic exercise), උරස් චිකිත්සාව (chest Physiotherapy), විද්‍යුත් චිකිත්සාව (Electro therapy), ජල චිකිත්සාව (Hydrotherapy), ආධාරක ආශ්‍රයෙන් භෞතචිකිත්සාව(Appliances), ඉරියව් භාවිතයෙන් භෞතචිකිත්සාව(Positioning) ලෙස පෙන්වා දිය හැක.

ප්‍රතිකාරමය ව්‍යායාම ලෙස සන්ධි චලනය පහසු කරවන ව්‍යායාම (Mobilization exercises), මාංශ පේශි ශක්තිමත් කරවන ව්‍යායාම (Strengthening exercises), මෘදු පටක ඇදීමට ලක් කරන ව්‍යායාම (Stretching exercises), සමායෝජන ව්‍යායාම (Co -ordination exercises), සමබරතා ව්‍යායාම (Balance exercises), ස්නායු උත්තේජනය ව්‍යායාම (P.N.F) වැනි ව්‍යායාම ප්‍රධාන තැනක් ගනී.

උරස් චිකිත්සාව මගින් ශ්වසන පද්ධතිය නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ. නියුමෝනියා, බ්‍රොන්කියෝලයිටිස්, ඇදුම, බ්‍රොන්කියෙක්ටේසිස් වැනි රෝග සුව කිරීමට නිරන්තරයෙන්ම භෞතචිකිත්සාව උපකාරී වන අතරම පෙනහලුවල සෙම ශ්‍රාවයන් ගුරුත්වාකර්ෂණය උපයෝගී කරගෙන පිටතට ගැනීමත්, හුස්ම ගැනීමේ ව්‍යායාමත් මගින් එය සිදුවේ.

විද්‍යුත් චිකිත්සාවේ දී නොයෙකුත් විද්‍යුත් උපකරණ භාවිත කරයි. ඒ අතර තාපය ලබාදීමට අධෝරක්ත කිරණ (Infra Red) උපකරණද, චුම්භකත්වය සදහා කෙටි තරංග(Short Wave) උපකරණද, ධ්වනිය ලබාදීමට අල්ට්‍රා සවුන්ඩ් (Ultra sounds) උපකරණද, විද්‍යුතය ලබාදීමට විද්‍යුත් උත්තේජක (Stimulator) උපකරණ ද ප්‍රධාන තැනක් ගනී.

මෙම උපකරණ මගින් වේදනාව නැති කිරීම, ඉදිමුමක් නැති කිරීම, තද වූ සන්ධියක් බුරුල් කර ගැනීම, ස්නායු උත්තේජනය, මාංශ පේශි ශක්තිමත් කිරීම, රුධිර ගමනාගමනය පහසු කරවීම, බැඳීම් පටක ඉවත් කිරීම වැනි කාර්යයන් සිදු කෙරේ.

ජලයේ උඩුකුරු තෙරපුම මගින් ආඝාතයට පත්වූ රෝගීන්ගේ පණ නැති වූ පේශි ශක්තිමත් කිරීමට ද ඇවිදීම පුහුණු කිරීමටද ජල චිකිත්සාව යොදා ගනී.

වෝකර්, කෝනර් චෙයා, ස්ටෑන්ඩින් ෆ්රේම්, කිහිලි කරු, පතුරු ක්‍රම, විශේෂිත සපත්තු භාවිතයෙන් ද භෞතචිකිත්සක ක්‍රම රෝගීන්ට කරනු ලබයි.

ඉරියව් හඳුන්වා දීමෙන් කරන භෞතචිකිත්සාව ද වැදගත් වේ. වේදනාව අඩු කරන ඉරියව්, ඉදිමුම අඩු කරන ඉරියව්, ප්‍රතීක ක්‍රියා උත්තේජනය කරන ඉරියව් මගින් රෝග සුව කරනවා මෙන්ම නිවැරදි ඉරියව් හඳුන්වා දීමෙන් අනාබාධිතව ක්‍රියාකාරකම් වල යෙදීමට මිනිසාට හැකි වන අන්දම හදුන්වා දෙයි. වැරදි ඉරියව් නිසා බොහෝ දෙනෙකුට ගෙලේ වේදනාව,කොන්දේ වේදනාව ඇතිවේ. එමෙන්ම Kyphosis, Scoliosis, Lodosis වැනි කොඳු ඇට පෙළේ විකෘතිතා ඇති වේ.

ක්‍රීඩකයෙක් ජාතික තලය දක්වා නිර්මාණය කිරීමට භෞතචිකිත්සකයෙකුගේ සේවය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මනස සංයමයට පත් කිරීමේ ව්‍යායාම ද කරමින් භෞත චිකිත්සකවරු මානසික ආතතියද අඩු කරයි. තවද ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුමට දිවා රාත්‍රී  දැඩිසත්කාර ඒකක වල භෞතචිකිත්සකවරු සේවය කරයි.රෝගියෙකු දැඩිසත්කාර ඒකකයේ සිට නැවත සුව වී ප්‍රජාවට මුදා හැරීම තෙක් භෞතචිකිත්සක වරු කැපවී ක්‍රියා කරති. එමෙන්ම ප්‍රජාවේ පුනරුත්ථාපන වැඩසටහන් වලටද භෞතචිකිත්සක වරු විශාල මෙහෙයක් සිදු කරති.(Community Base Rehabilitation Programme).

අංශ භාගය, පාකින්සන් රෝගය, ගිලන්බාර්  සින්ඩ්‍රෝමය, බෙල්ස් පෝල්සි, අර්බ්ස් පෝල්සි වැනි ස්නායු රෝග වලටද, රුමටොයිඩ් ආතරයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස්, සර්වයිකල් ස්පොන්ඩිලෝසිස්, ෆ්රෝසන් ෂෝල්ඩර් වැනි රක්තවාත රෝග, අස්ථි භග්න, සන්ධි විසන්ධි වීම්, මෘදු පටක අනතුරු වැනි කැඩුම් බිඳුම් විකලාංග රෝග සඳහාත් ඩවුන්ස් සින්ඩ්‍රෝමය වැනි ජාන රෝග සදහා ද නියුමෝනියාව, බ්‍රොන්කයිටිස් වැනි රෝග තත්ත්වයන්ටද භෞත චිකිත්සාව හරහා සහනය සලසා ගත හැකිය.

භෞත චිකිත්සාව පිළිබඳ ඉතිහාසය ගෙන බැලුවොත් හිපොක්‍රටිස්  පවා මෙම ප්‍රතිකාර භාවිත කර ඇත. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ ජලය භාවිත කරමින් කල ජලචිකිත්සක ප්‍රතිකාර කල බවට සාක්ෂි තිබේ. ශ්‍රී ලංකාවේ මෙම ක්‍රමය  1957 වසරේදී අරම්භ කර ඇත. 1953 සැප්තැම්බර් 8 ලෝක භෞත චිකිත්සක සම්මේලනය  ( World Confederation of Physical therapy ) පවත්වා ඇති අතර ඉන්පසු එම දිනය එනම් සැප්තැම්බර් 8  ජාත්‍යන්තර භෞත චිකිත්සක දිනය ලෙස 2003 දී   ඔවුන් ප්‍රකාශයට පත් කරන ලදි.

අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here