- Advertisement -

ජනනිගේ දිනපොත 1

-

වෙන් වෙන් වශයෙන් තම මාර්ගයන් වල ගමන් කල ස්වාධීන ගැහැණියක්  සහ මිනිසෙක් පළමුව දෑසින්ද , දෙවනුව හදවතින්ද බැඳී , දැන් ඉතින් එකට දිවිමඟ යන්නට ඕනෑයි තීරණය කළ අතීත ජනවාරියක ඔවුන්නොවුන්ගේ දෑගිළි එකම රන්හුයකින් බැඳෙන්නට ඉඩ හළේය. ඒ අය නමින් ජනනි සහ සුසාර වන්නෝය. අද පටන් parenting.lk හීදී සතියකට දවසක් , ජීවන ගීතයේ ජනනය වන විවිධ ස්වර ඔවුන් විසින් සුසර කරනු ඇත. 

ඒ තුළ ඔබට ඔබ හෝ, මට මා හෝ, අපිට අප හෝ හමු වනු ඇත.

- Advertisement -

 

නනිගේ දිනපොත 1

පෙබරවාරි 20:

සුසාරයි, මායි කසාඳ බැදලා අදට හරියටම මාසයයි. තාම ඉතින් නෑදෑ ගෙවල් වල යෑමයි, යාලුවන්ගේ ගෙවල් වල යෑමෙයි ඉවරයක් නෑ. හැම සතියෙම දවස් හතේම ගමනෙමයි. ඔෆිස් යෑමක් නොතිබුනා නම් මේක හරිම ජොලි වැඩක් වෙන්න තිබ්බා.

ඒත් ඇඟපත තලල දාල වගේ. මාර වෙහෙසක් දැනෙනවා. “මේ ළමයි ගමනෙමයි ” කියලා සුසාරගේ අම්මා මූණ එල්ලගන්න පටන් අරන් දැන් දවස් හත අටක් වෙනවා. එයාටත් අපිව ඉස්සරකරන් නෑදෑ ගෙදරක යනකොට කිසි හිතට අමාරුවක් නෑ. අපි යාලුවෙක්ගේ ගෙදර එයාල නැතිව ගියොත් ඔන්න මූණ එල්ලෙන්න පටන් ගන්නවා. ඒ ලෙඩේ නම් අම්මට හැදිලා වැඩි දවසක් නෑ. මම ඇවිල්ලත් මොකෝ මහ කාලයක් ගියායෑ.

පෙබරවාරි 21:

ඊයේ අමාලිලාත් එක්ක dinner out එකක්. මාත් ඉතින් යුතුකමනේ කියලා, කැරට් කිරට උයලා, මෝර කරවල යහමින් කෑලි මිරිස්, ලූණු එක්ක තෙල් දාලා, කොළපාටට මොකුත් නෑ වගේනේ කියලා බෝංචි ටිකකුත් යන්තම් මිටි කිරෙන් මළවලා පොඩ්ඩක් තෙම්පරාදු කරලා, බතකුත් rice cooker එකේ ගැහුවේ සුසාරගේ අම්මට පහසුවෙන්නත් එක්කයි. අනෙක එයා මම ආවා නාවා, උදේට කෑම හදනවා අපිට ඔෆිස් ගෙනියන්නත් එක්කම. කොහොමත් එයාට උදේම කන්නත් ඕනනේ. මේ මට මළා වගේ නින්ද ගිය දවස් අතෑරියම පහුගිය මාසෙටම මම උදේට  උයන්න නැඟිට්ටෙත් දවස් දෙකයි තමයි ඉතිං. මහන්සීනේ. 

ඊයේ එනකොට රෑ දෙකයි. ඇවිල්ලා මහසෝනා ගැහුව වගේ ඇදේ දපල බුදියගත්තේ, මොකද ඉතිං ඉරිදා රෑ වෙනකම් party දැම්මා කියල boss සඳුදට වැඩට එන්න එපා කියල කියන එකක්යැ. පහමාරේ එලාම් එකට bathroom දිව්වේ සුසාරට කලින් bathroom යන්න. අපේ සුසා bathroom එක අස්සට ගියාම වරුවකට එලියට එන්නෙ නෑ පැළවෙනවා. මම සාරිය ඇඳගන්නත් එපෑ.” 

වළං වලට අත තියලවත් නෑ. කෑම එහෙමමයි. පිලුණු ගඳ එන්නේ මේ කැරට් හට්ටියෙන්. මම කෝප්පෙට වතුර එකක් පුරව ගත්තා.

” ඇයි අම්මේ මේ කෑම ? ” ගොඩ වෙලාවක් මගේ දිවඅග දහාට පාලිය නටපු වචන ටික ඔන්න එළියට පැන්නා.

” මේවා කන්න පුලුවන්ද? තාත්තාට සීනී, මට අක්මාවේ තෙල් නිසා ඔය තෙල් පෑදුන එව්ව කන්න හොඳ නෑ. ඉතින් අපි බඩගින්නේ නිදාගත්තා.. කෝ එහාට  වෙන්න මේ කේතලේට වතුර පුරවන්න. පුතා නැඟිටලත් ඇති..තේ හදන්න එපෑ”. අම්මා කිව්වේ මගේ මූණ මඟ ඇරලා.

“අනේ මළසමයං ! වෙනදට ඔය කිරට , මිරිසට ,තෙලට හැම ජාතියටම අඩව් අල්ලපු එළවලු,  මස් මාළු අපේ බත් එකේ තියෙන්නේ” කියලා කටට ආපූ වචන කුණු කෙළ එක්කම ගිළලා මම bathroom  එකට රින්ග ගත්තා.

පෙබරවාරි 22:

අනේ අපේ office වල ඉන්න කලිසම් යටින් චීත්ත පටලන් ඉන්න පිරිමි සෙට් එක.  මම බැන්ඳ දා ඉදලා උන්ට මම බබා ගේනකම් හදිස්සියි. මොකෝ පෝරුවෙදි ready made ළමයෙක් අතට දෙනවද?  එක දවසක් දෙකක්ද? මළවිකාර. තැනේදියි නොතැනදියි හරිම joke එක ඒක. මට පෙරේදා ඉදන් හරිම ඔලුවේ කැක්කුමයි. තේ බොන ගමන් මම ඔලුව තියන් හිටියා. මං හිතන්නේ migraineද කොහෙද?  ඔන්න හැදුනා අර සෙට් එකට ලෙඩේ. ” පාන් කරවෙන්න කලින් බාගන්න ඕන ජනනි…… ඒවට පළපුරුද්ද ඕන… සුසාරයට තාම පුරුදු නැතුව ඇති.. රේන් කෝට් කියන්නෙත් තෙමෙන්නෙ නැති ක්‍රමයක්” 

අපෝ ඒ චීත්ත පිරිමි සෙට් එක. තේ කෝප්පේ නෙමේ,  තේ ජොග්ගුවම ඔලුව ඉදන් යන්න හලන්න තිබ්බේ මට.  උන්ට එපා වෙන්නෙ නැද්ද මන්දා, 

” ඔයාලගේ පියාණන්වරු පාන් කර වෙන්න කලින් බාන සාත්තරේ දැනන් ඉදල නැති වෙන්න ඕන. දැනන් හිටියා නම් උපුලුත් නෑ කවිඳුත් නෑ.. නැද්ද මන් අහන්නේ” මම කිව්වේ බැරිම තැන. 

පෙබරවාරි 23:

ඔලුවේ කැක්කුම තාම අඩුවක් නෑ. අද නම් උදේම ඇහැරුනා මට. ඇත්තටම හරියකට නින්ද ගියේ නෑ. සුසාර කිව්වේ හවසට බෙහෙත් ටිකක් අරන් එමු කියලයි. මට හිතෙනවා තව ටිකක් බලන්න. එහෙම උනොත් සති අන්තේ යනවා. Personal files කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මට එපා වෙලා තියෙන්නේ. සමහර මිනිස්සුන්ට විශ්‍රාම  යනකම් මතක් වෙන්නෙ නෑනේ තමන්ගේ file එක සම්පූර්ණ කරගන්න. අරක අඩුයි. මේක අඩුයි. ඒ මදිවට නම් වලත් වෙනස්කම්. ඒවට දිවුරුම් පෙත්සමුයි. මේ රටේ මිනිස්සු කොහොමත් අනෙක් අය ගැන හෙන උනන්දුයි තමන්ගේ ඒවට වඩා. 

සුසාරල ඉන්නේ එයාගෙ සීයා, සුසාරගේ තාත්තලාටයි, බාප්පලාටයි බෙදලා දීපූ ඉඩමක. ගේ වටේම නෑයෝ පදිංචි කරන එක කොටින්ම කිව්වොත් සීයගේ ප්ලෑනක්. මගේ අම්මේ! ගෙවල් වටේ නෑයෝ ඉදීමේ රඟ දැනෙන්න නම් එහෙම තැනක පදිංචි වෙලාම බලන්න ඕන. සුසාරලගේ ගෙවල් වලට පිටිපස්සෙ ගෙදර එයාලගේ මද්දු බාප්පගේ , ඒ කියන්නේ තාත්තාගේ දෙවනි මල්ලි. එයාට  දුවලම තුන් දෙනෙක්, දෙන්නෙක් ස්කෝලේ ගිහින් ඉවරයි. එක්කෙනෙක් රූපලාවණ්‍යය ඉගනගන්නයි, අනෙක් එක්කෙනා කළමණාකාර සහකාර විභාගෙට ඉගන ගන්නයි කියල පන්ති යනවා. බාලම දුව තාම ස්කෝලේ දහයේ වසරේ කිව්වා. ඔය තුන් දෙනා මෙහෙමයි වැඩි හරියක් ඉන්නේ. බාප්පල වැඩට යනකොට කෙල්ලො තුන්දෙනා බලල දීල තියෙන්නේ සුසාරගේ  ආච්චියි, සුසාරගේ අම්මයිලු. ඒකලු ඔය මෙහෙටම වෙලා ඉන්නේ. 

කතාවේ රසවත්ම කෑල්ල ඒක නෙමෙයි.  එක දවසක් මම හදිස්සියේ short leave එකක් දාල ගෙදර එනකොට දෙවනි ගෑනු ළමයා මගේ අල්මාරිය ඇරගෙන අදිනවා. සුසාරගේ අම්මා හිටියේ නෑ. එයා නානවා. එයා හිටියත් ලොකු වෙනසක් නැති වෙයි. තාම පුංචි කෙල්ලො කියලනේ අම්මා හුරතල් කරන්නේ. මම එක පාරටම කාමරේට එයි කියල මධූ හිතුවේ නෑ. දෙවනි ගෑනු ළමයා මධුවන්ති.  “මධූ” කිව්වම ගැස්සිලා ගිහින් එයාගේ ලොකු අම්මාගේ  අල්මාරියෙන් පරණ සාරියක් හෙව්වා කියලා නිදහසට කරුණු කිව්වත්, මීට මාසෙකට කලින් මාත් එක්ක මේ ගෙදරට ආපු අල්මාරියට එයාගේ ලොකු අම්මාගේ සාරි එර්දියෙන් වැඩ්ඩද කියල මම ඇහුවේ නෑ. සුසාර කිව්වෙ යතුර දොරේම තියල ගිය එක මගේ වැරැද්ද කියලා. කොහොමත් වැටයි නියරයි නම් ගොයම් කන්නේ… කාට කියන්නද ඉතිං ඒ අමාරුව නැද්ද මන් අහන්නේ?.

ජනනිගේ දිනපොතෙන් ලබන සතියේ හමුවෙමු..

කියවන සැමට ආදරයෙනි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article