- Advertisement -

දරු පැටියාගේ ශාරීරික මානසික නිසි සංවර්ධනයට තාත්තාගේ දායකත්වය නැතිව බැරිද?

-

දස මාසයක් පුරා කුසේ වැඩෙන දරු පැටියා දැක ගන්න අම්මා වගේම තාත්තත් දින ගනින්නේ නොඉවසිල්ලෙන්. දරු පැටියා අම්මාගේ කුසේ වැඩෙන කල්ම අම්මාගේ අපහසුතා වෙනුවෙන් සහය වෙමින් ඇයව හොඳින් රැක බලා ගත්ත නිසාම සතුටින් ගෙවුණු අම්මාගේ ගැබිනි සමය නිරෝගී දරු පැටියෙක් වෙනුවෙන් තාත්තාගෙන් ලැබුණු වටිනා තෑග්ගක් කිව්වොත් වඩාත් නිවැරදියි. තාත්තාගෙන් ගැබිනි සමයේ අම්මා වෙත ඉටු වුණු හැම යුතුකමක්ම ප්‍රසූතියෙන් පසුවත් දරු පැටියාටත් අම්මාටත් හිමි වෙන්නේ නිරායාසයෙන්මයි. ඒත් කාර්ය බහුල බව එහෙමත් නැතිනම් නොදැනුවත්කම මේ හැමදේටම හරස් වෙන්න බැරි නැහැ. ඒ කොහොම වුණත් උපතේ සිට දරු පැටියෙකුගේ මුල් දින දහස තුළත් කායිකවත් මානසිකවත් නිසි සංවර්ධනයක් සිදු වෙන්න නම් තාත්තාගේ දායකත්වය බොහොම වැදගත් වෙනවා.

මෙන්න මේ කාරණාව ගැන හරියටම දැන ගන්න අවශ්‍ය නිසාම අපි දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකෙයේ ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය යසෝධා රෝහණචන්ද්‍ර මහත්මිය හමුවුණා.

- Advertisement -

වෛද්‍යතුමියනි, සමාජයේ බහුතර අදහසට අනුව තාත්තා කියන්නේ ගෙදර වියපැහැදම් වෙනුවෙන් වෙන් වුණු පුද්ගලයා නේද?

කොහෙත්ම නැහැ. දරුවාගේ ශාරීරික මානසික සංවර්ධනයට වැදගත් වෙන තාත්තා කෙනෙක් අතින් දරුවන් වෙත ඉටුවිය යුතු තවත් වැදගත් කරුණු රැසක් තියෙනවා.

ඒ කියන්නේ වෛද්‍යතුමියනි,

දරුවාගෙයි තාත්තාගෙයි සම්බන්ධය දරුවාගේ අනාගත හැසිරීම, හැඟීම් පාලනය කරගැනීමට ඇති හැකියාව, මානසික සෞඛ්‍ය හා අධ්‍යාපන කුසලතා යන සියලුම අංශ කෙරෙහි බලපානවා. ඒ විතරක් නෙවෙයි, අම්මා හා තාත්තා අතර ඇති සම්බන්ධයත් දරුවෙක්ගේ අනාගතයට බලපානවා.

දරුවන් ඇති දැඩි කිරීම ගැන දන්නේ අම්මලානෙ. ඉතිං තාත්තෙක් කොහොමද දරුවෙකුගේ ජීවිතයට එකතු වෙන්නේ?

නෑ… අම්මට වගේම තාත්තටත් පුළුවන් ඉපදුණු දවසේ ඉඳලම දරුවාගේ එදිනෙදා වගකීම් දැරීමට සහය වෙන්න. ඒ මගින් තාත්තා හා දරුවා අතර සම්බන්ධය දියුණු වෙනවා.

දරුවෙකුගේ මොළයේ වර්ධනයෙන් 80%ක් පමණ සම්පූර්ණ වන්නේ දරුවාගේ ජීවිතයේ මුල් දින දහස ඒ කියන්නේ මුල් අවුරුදු තුන ඇතුළත. නව කුසලතාවයන් ඉගැන්වීමට සුදුසුම හා පහසුම කාලය මෙය වන නිසා දරුවෙකුගේ සංවර්ධනයට මෙම කාලය ඉතාම වැදගත්. එමනිසා මුල් ළමා වියේදී දෙමාපියන් දෙදෙනාම දරුවා සමග කිට්‍ටු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමෙන් දරුවාගේ කුසලතා වර්ධනය වැඩිදියුණු කළ හැකියි.

විශේෂයෙන්ම වර්තමාන කාලයේ, පියා මෙන්ම මවත් බොහෝවිට ‍රැකියාවක නිරත වෙනවා. ඒ නිසා ‍රැකියාව, ගෙදර වැඩ සියල්ල අතරතුර මවට දරුවා හා ගත කිරීමට ඇති කාලය අඩුයි. එමෙන්ම වර්තමානයේ පවුල් බොහෝ විට ජීවත් වන්නේ වෙන්වෙන්වයි. එමනිසා දරුවන් ‍රැකබලාගැනීමට අත්තම්මා, සීයා හා අනෙකුත් නෑදෑයන්ගෙන් ලැබෙන සහයත් අඩුයි. මෙවැනි තත්ත්ව යටතේ පියාට දරුවා ‍රැක බලාගැනීමේදී වැඩි කාර්යභාරයක් සිදුකිරීම අවශ්‍යයි.

එහෙම නම් වෛද්‍යතුමියනි, තාත්තෙක්ට දරුවා එක්ක කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද?

ඔව්, උපතේ ඉඳලා වැඩිහිටි වෙනකම්ම දරුවන්ගේ වැඩ කටයුතුවලට තාත්තා කෙනෙක්ට සම්බන්ධ වෙන්න ගොඩක් අවස්ථාවන් තියෙනවා.

  • දරුවා අඬන කොට ප්‍රතිචාර දක්වීම

දරුවෙකු කුඩා කාලයේ තම දෙමාපියන් සමඟ ඇති සම්බන්ධතාවය අනුව, අනාගතයේ සමාජය ගැන සුභවාදීව හෝ අසුභවාදීව සිතීමට පදනම වැටෙනවා. උදාහරණයක් ලෙස, දරුවා අඬන විට දෙමාපියන් එයට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නේ නම්, තමාගේ දුකට, අසහනයට දෙමාපියන් ප්‍රතිචාර දක්වන බව දරුවා ඉගෙන ගන්නවා. එවිට දරුවා සමාජයේ අනෙකුත් පුද්ගලයන්ද තමාගේ කරදරයකට ප්‍රතිචාර දක්වනු ඇතයි සමාජ ගැන සුභවාදී හැඟීමක් ඇතිකර ගන්නවා. නමුත්, දෙමාපියන් දරුවා හඬන විට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, තමාගේ දුකට, අසහනයට ප්‍රතිචාර දක්වන්නට කෙනෙක් නැති බව දරුවා ඉගෙන ගන්නවා. එවිට දරුවා සමාජය ගැන අසුභවාදී ලෙස බලන්නට පුරුදු වෙනවා. අඬන විට තාත්තා දරුවා වඩාගැනීම හෝ නැලවීම, තමාගේ දුකකදී, කරදරයකදී තමාට උදව් කරන්නෙකු ලෙස තාත්තා හඳුනා ගැනීමට දරුවාට උදවු වෙනවා. එමගින් තාත්තා සමග දරුවාට වඩා සුරක්ෂිත බවක් දැනෙනවා. මෙවැනි දරුවන් වයසින් වැඩුණත් තමන්ගේ දුකකදී කරදරයකදී තාත්තාගේ සහය ලබාගැනීමට මැලි වෙන්නේ නැහැ. එමෙන්ම ඔවුන් සමාජය දෙස සුභවාදි ලෙස බලනවා.

  • දරුවාගේ වැඩ කටයුතුවලට සහය වීම

අලුත උපන් දරුවෙක් ඉන්නවා කියන්නේ තවත් කෙනෙක්ගේ සහය අවශ්‍යම අවස්ථාවක්. ඉතිං තාත්තාගේ දායකත්වය අම්මාටත් සහයෝගයක් වන නිසාම සාමූහිකත්වය මත ඇති වෙන සතුට පිරුණු කැදැල්ල මූලිකවම දරුවාගේ සුව මනසට හේතුවක් වෙනවා. මෙතැනදී තාත්තට පුළුවන් අම්මා පැටියට කිරි දුන්නට පස්සේ ගුඩුස් යවන්න, පැටියා නාවන්න අවශ්‍ය බඩු බාහිරාදිය එක්තැන් කරලා සහය වෙන්න. අම්මාට වෙහෙස නම් විවේක ගන්න, පැටියව ටිකක් බලාගන්න. කිරි දෙන වෙලාවට අම්මාට වතුර වීදුරුවක් බොන්න මතක් කරන්න.

  • සෑම දිනකම, දරුවන් සමග විනෝදාත්මකව කාලය ගත කරන්නට විනාඩි 30ක් වත් වෙන් කරගන්න

තාත්තා හා අම්මා දරුවා සමග සෙල්ලම් කරන ආකාරය වෙනස්. තාත්තා වඩාත් විනෝදාත්මක ලෙස දරුවන් සමග සෙල්ලම් කරනවා. සෙල්ලමේදී දරුවාට වඩාත් ස්වාධීන වීමටත්, අවදානම ගැනීමටත් ඉඩ හරිනවා. මෙය දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමට උදව් වෙනවා. මෙවැනි විනෝදාත්මක ක්‍රියාවල නිරත වීම තාත්තාත් දරුවාත් අතර ඇති සම්බන්ධය දියුණු කිරීමට උපකාරී වේ. එමෙන්ම මව්වරුන්ට වඩා පියවරු දරුවන් සමග වඩාත් ශාරීරික ක්‍රියාකාරකම් හා ක්‍රීඩාවල යෙදෙනවා. මෙසේ දරුවා සමග ක්‍රීඩාවල නිරත වීමෙන් දරුවාට ජය පරාජය දරා ගැනීමටත්, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම උගැන්වීමටත් අවස්ථාවක් ලබාගැනීමට හැකියි. මෙය දරුවාගේ සමාජ කුසලතා දියුණු කිරීමටත්, හැඟීම් පාලනය ප්‍රගුණ කිරීමටත් උපකාරී වේ.

  • සැමවිටම තම දරුවන්ට ආදර්ශමත් ලෙස හැසිරෙන්න

අවවාදවලට වඩා දරුවෙකු අවධනය යොමු කරන්නේ තාත්තාගේ හැසිරීම වෙතයි. උදාහරණයක් ලෙස තමන්ගේ තාත්තා අන් අයට සලකන ආකාරය,  කෝපයට පත් වූ විට හැසිරෙන ආකාරය, මුදල් පරිහරණය කරන  ආකාරය සහ ජිවිතයේ ප්‍රිතිමත් අවස්ථා සහ ආතතිය සහිත අවස්ථා හසුරුවන ආකාරය වැනි දේ දරුවන්ගේ හැසිරීම කෙරෙහි බොහෝ ලෙස බලපායි. තාත්තා කෝපයට පත් වූ විට කෑ ගැසීම, බඩු විසිකිරීම හෝ පහරදීම වැනි ක්‍රියාවල නිරත වන්නේ නම්, ඒ දෙස බලා සිටින දරුවාද තමා කෝපයට පත් වූ විට එවැනි හැසිරීම් පෙන්නුම් කරයි.

  • දරුවන් සමග නිවසේ වැඩ කටයුතු සම්බන්ධ වීම‍

උදාහරණයක් ලෙස රාත්‍රි ආහාරයෙන් පසු පිගන් සේදීම, ගෙවත්ත පිරිසිදු කිරීම වැනි ක්‍රියාකාරකම්වල නිරත විය යුතුය. මෙලෙස දරුවන් සමග එකට එක්ව සිදු කරන ක්‍රියාකාරකම් මගින් දරුවන් තුළ වගකීම පිළිබඳ හැගීමක් ඇති කරවන බව අධ්‍යයනයන් මගින් නිරන්තරයෙන් පෙන්නුම් කොට ඇත.

  • දරුවන්ගේ විනය පාලනය කිරීමටද සහභාගී වෙන්න

දරුවාගේ හොඳ හැසිරීම් අගය කිරීමත්, නරක හැසිරීම්වලට සුදුසු දඬුවම් ලබාදීමත් තාත්තාගේ වගකීමක්. නමුත් දරුවන්ට දඬුවම් කිරීමේදී පළමුවෙන්ම ඔබේ හැගීම් පාලනය කරගත යුතුය. තම දරුවන්ට කෑ ගසන, මේස හෝ වෙනත් භාණ්ඩවලට පහර දෙන හෝ දරුවන්ට පහර දෙන පියවරුන්, දරුවන්ගේ විනය/ හික්මීම ගොඩනැගීමට අසමත් වේ. මෙයට හේතු වනුයේ පියාත් හැඟිම් පාලනය කරගත නොහැකිව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විට දරුවා එම හැසිරීම් අනුකරණය කිරීමත්, දරුවන් තුළ තාත්තා කෙරෙහි ඇති ගෞරවය පළුදු වීමත් යන කරුණු නිසාය.

  • මුල්‍යමය සහයට පවුලට ආරක්ෂාව සැපයිම

දරුවා කුඩා කලදී දරුවාට ඉතා ආරක්ෂාකාරී වට පිටාවක් ඇති පරිසරයක් නිවස තුළ නිර්මාණය කිරීමේ සිට දරුවා තරමක් වයසින් මුහුකුරා යන විට දරුවාට අනෙකුත් ළමයින්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් තර්ජනයක් ඇති නොවන බවට වග බලාගනිමින්  දරුවන් සුරක්ෂිත කිරීම දක්වා ඉතා වැදගත් කාර්යභාරයක් පියවරුන් වෙතින් ඉටු විය යුතුයි.

  • දරුවාගේ අනාගතය සූදානම් කිරීම

දරුවෙක් වයසෙන් වැඩෙත්ම තමාගේ ජීවිතයේ අත්දැකීම් දරුවා සමග බෙදා ගැනීමෙන් පියවරුන්ට දරුවන් අනාගතය සඳහා සූදානම් කළ හැකිය. නව යොවුන් වියේ දරුවන් සිටින පියවරුන් විසින් යම් යම් දේවල් පිළිබඳව තම මූලික විශ්වාසයන් සහ තම ජීවන අත්දැකීම් පිළිබඳ තොරතුරු, දරුවන් හා සිදු කරන එදිනෙදා සාමාන්‍ය කතාබහට ඇතුළත් කළ හැකියි. දරුවන්ට ඔවුන් ඇසුරු කරන සම වයස් මිතුරු මිතුරියන්ගෙන් ඇති වන අනිසි පෙළඹවීම්වලදී ක්‍රියාකළ යුතු ආකාරය, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ආදීනව, නිසි වයසට එළඹීමට පෙර ලිංගික ක්‍රියාකාරකම්වල නියැලීමේ හානිකර තත්ත්වය සහ අන් අය වද හිංසාවට පත්කිරීමේදී ඇතිවිය හැකි අනිසි විපාක පිළිබදව දරුවන් සමග සාකච්ඡා කළ යුතුය.

පියවරු සමග මනා සබඳතාවයක් පැවතීම මගින් දරුවන් අතර මානසික ආතතිය, කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වීම සහ බොරු කීම වැනි තත්ත්ව අවම වන බව සමීක්ෂණවලින් පෙන්වා දී ඇත. පියවරුන් සමඟ කිට්‍ටු සම්බන්ධතාවයක් ඇති දරුවන් තුළ  වඩාත් සමාජ හිතකාමී හැසිරීම් රටාවක් දක්නට ලැබේ. එමෙන්ම මෙබදු පියවරුන් සිටින පිරිමි දරුවන් පාසලේදී ගැටලු ඇති කරගැනීමට ඇති ප්‍රවණතාවය අඩුය. මෙවැනි ගැහැනු දරුවන් හොඳ ආත්ම අභිමානයකින් යුතුව හැසිරෙන දරුවන් බවට පත්වන බවට අධ්‍යයන මගින් හෙලි වී ඇත. මෙයට අමතරව පියවරුන් සමග යහපත් සබදතාවයක් සහිතව ජීවත්වන දරුවන් හොඳ මානසික සහ ශාරීරික සෞඛ්‍යයකින් යුතුව අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර මත්ද්‍රව්‍ය, ප්‍රචණ්ඩත්වය වැනි වැරදි හැසිරීම්වලින් වැලකී සිටින අය වීමට වැඩි ඉඩ කඩක් ඇති බවට බොහේ අධ්‍යයනවලින් හෙළිවී ඇත.

වෛද්‍යතුමියනි, යහපත් දරුවකු ගොඩනැගීමට අම්මා හා තාත්තා අතර බැඳීම කෙබඳු විය යුතුද?

මවගේත් පියාගේත් සබඳතාවයේ ගුණාත්මක බව දරුවන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් ඇති කරනවා.

තම දරුවන්ගේ මවට ගෞරවයෙන් යුතුව සලකන, පවුල තුළ ගැටලු ඇතිවෙන අවස්ථාවලදී ඒවා වැඩිහිටියන් ලෙස වගකීම් සහගතව සහ කතාබහ කොට විසඳා ගන්නා පියවරු සිටින පිරිමි දරුවන්, අනාගතයේදී කාන්තාවන් හා සුහදව කටයුතු කරන ආකාරය සහ කාන්තාවන්ට අගෞරවයක් සිදුවන අකාරයට හැසිරීමෙන් වැලකී සිටීමට පුරුදු වෙයි. එමෙන්ම එබදු ආදර්ශමත් පියවරු සිටින ගැහැනු දරුවන්, පිරිමින් සමග අහිතකර, හිංසාකාරි සම්බන්ධතා ඇති කර ගැනීමෙන් වැළකී සිටී.

පියා සහ මව අතර සබදතාවය තුළ පවත්වා ගෙන යන සෙනෙහස ,රැකවරණය, ගෞරවය සහ පරිත්‍යාගශිලි බව වැනි ගුණාංග අත්දකින දරුවන්, තම අනාගත සහකරු හෝ සහකාරියට ද මෙසේ සෙනෙහසින් සැලකීමට වැඩි ඉඩකඩක් ඇත. එමෙන්ම තම පියා තම මව කෙරෙහි දක්වන‍  කෝපය හෝ අවතක්සේරුබව අත්දකින දරුවන් හට මානසික අවපීඩනය, ආක්‍රමණශීලි බව සහ දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් ඇති වීමේ අවධානමක් ඇත.

එමෙන්ම දෙමාපියන් අතර හොඳ සම්බන්ධයක් තිබීම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බලපායි. දෙමාපියන් අතර ගැටලු හෝ කලහකාරී පවුල් පරිසරයක සිටිනා දරුවන් නිතරම සිටින්නේ බියෙන් හා ආතතියෙන්. මෙවැනි නිවසක දරුවෙකුට ඉගෙනීමට සුදුසු පරිසරයක් නැති අතරම මෙසේ බියෙන් හා ආතතියෙන් සිටිනා විට දරුවාට තම අධ්‍යාපනය කෙරෙහි නිසි අවධානයක් යොමුකිරීමට නොහැකි නිසා පාසැල් වැඩ අඩාල වීමට ඉඩ තිබෙනවා.

මේ තත්ත්වයේදී පියවරුන්ට ඇති ලොකුම බාධකය වන්නේ කාර්ය බහුල බව වුවත් අසීරුවෙන් හෝ දරුවා වෙනුවෙන් කාලය වෙන් කළ හැකි නම් එය ඔබේ දරුවා වෙනුවෙන් වූ මහඟු ආයෝජනයකි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකෙයේ ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය යසෝධා රෝහණචන්ද්‍ර මහත්මිය සමග සකසන ලද ලිපියකි.

Sponsored

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article