- Advertisement -

ඔබේ දරුවාත් ආවේගශීලී දරුවෙක්ද? නැතිනම් සන්සුන් තැම්පත් දරුවෙක්ද?

-

එක්තරා ගමක ලස්සන පුංචි පාසලක් තිබුනා. මේ පාසලේ එක යාලුවෙක් තමයි නෙහාරා. එයා බොහොම සංවිධානාත්මක ඉවසිල්ලෙන් පිළිවෙළට වැඩ කරන ළමයෙක්. එයාගේ හොඳම යාළුවා යි තෙනුජ. එයා බොහොම ඉක්මනට තරහා යන අවේගශීලි  අයෙක්. ඉතින් නෙහාරා බොහොම පිළිවෙළට ඉවසීමෙන් වැඩ කරන හින්දා එයාට නිතරම ලැබුනේ ප්‍රශංසා සහ තෑගි. තෙනුජ බොහොම අවේගශීලිව අපිළිවෙළට වැඩකරන හින්දා එයාට නිතරම බැනුම් රණ්ඩුවීම් සහ කරදර ඇතිවුණා.

ඉතින් පන්තියේ ගුරුතුමියගේ නම තමයි කාන්ති. එයා දරුවන්ට හරිම ආදරේ කරන අකුරු සහ ඉලක්කම්වලට වැඩිය දෙයක් පාසලෙන් ලබාදෙන්න ඕන කියලා හිතන ඉතාමත් බුද්ධිමත් ගුරුවරියක්. ඉතින් මේ එක යාලුවෙක් බොහොම පිළිවෙලට පැහැදිලිව වැඩ කරන්නත් අනික් යාලුවා බොහොම අවේගශීලි වෙන්නත් හේතුව මොකක්ද කියලා ගුරුතුමිය කල්පනා කළා. ඇයට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මේ ගුරුතුමිය තෙනුජ ගැන විස්තර හොයනකොට එයා දැනගත්තා තෙනුජට සතියේ හැම දවසකම ටියුෂන් පන්ති තියනවා කියලා. එයාට සෙල්ලම් කරන්න, සින්දුවක් කියන්න, චිත්‍රයක් අඳින්න වේලාවක් නෑ. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම රැකියාවල නිරතත වෙන නිසා ගෙදර එනකොට ගොඩක් රෑ වෙනවා. එතකන් තෙනුජ කරන්නේ වීඩියෝ ගේම් ගහන එකයි ටීවී බලන එකයි. 

- Advertisement -

ඉතින් මේ කාන්ති කියන ආදරණීය ගුරුතුමිය එයා අඳුනන ළමා මනෝවෛද්‍යවරකට කතා කරලා මේ දෙන්නගේ මේ වෙනසට හේතුව ඇහුවා. එතකොට මේ මනොවෛද්‍යවරයා ඇයට කිව්වා අපේ මොළයේ ඉතාමත් වැදගත් කොටස් දෙකක් තියනවා.

  1. සිතුවිලි මොළය

සිතුවිලි මොළයෙන් තමයි අපිට බොහොම සාමකාමිව සන්සුන්ව හිතලා බලලා හොඳ තීරණ ගන්න පුළුවන්.

  1. හැඟීම් මොළය

හැඟීම් මොළයෙන් තමයි අපේ අවේගශීලි බව, තරහව සහ රණ්ඩුවීම් ඇති කරන්න පෙළඹවන්නේ. 

ඉතින් නෙහාරායි තෙනුජයි ගත්තම කොහොමද මේ හැඟීම් මොළයයි සිතුවිලි මොළයයි ඒගොල්ලන්ගේ වැඩ කරන්නේ?

තෙනුජගේ හැඟීම්  මොළය බොහොම ප්‍රබලයි. සිතුවිලි මොළය ප්‍රබලතාවය අඩුයි. ඉතින් එයාට ඉක්මනටම දුක හිතෙනවා. කව්රුහරි එයාට නමක් කිව්වොත්, හිරිහැරයක් කළොත් ඉක්මනටම එයාට දුක හිතිලා තරහා වෙනවා. නෙහාරට අනෙත් අය හිරිහැර කළත්, කොන්ඩෙන් ඇද්දත් එයාගේ සිතුවිලි මොළය ප්‍රබල හින්දා ඉක්මනට තරහා යන්නේ නෑ. එයා තරහා ගියත් ඉවසලා අනෙත් අයට ඒකට ප්‍රතිචාර නොදක්වා ඉන්නවා. 

එතකොට තෙනුජ ඉක්මනටම රණ්ඩුවලට පැටලෙන්න අවස්ථාව වැඩියි. මොකද කව්රුහරි එයාව තල්ලු කළොත් එයාගේ හැඟීම් මොළය ප්‍රබල හින්දා එයාට ඉවසගෙන ඉන්න අමාරුයි. එයා ඉක්මනටම ප්‍රතිචාර දක්වනවා. ඒත් නෙහාරා අනෙත් අයගෙන් හිරිහැර ආවත් ප්‍රතිචාර දක්වන්නේ සන්සුන්ව බොහොම හිතලා බලලා. එයා හැමවිටම එයාගේ සිතුවිලි මොලයෙන් අනෙත් අයගේ හැඟීම් ගැන සැළකිලිමත් වෙනවා. ඉතින් ගුරුතුමිය ළමා මනෝවෛද්‍ය විශේෂඥගෙන් අහනකොට එයා තමයි කිව්වේ තෙනුජගේ හැඟීම් මොළය ඉතාමත්ම ප්‍රබලයි. එයා මොළය වර්ධනය වෙනකොටත් තම ප්‍රාථමික අවධියක තමයි පසුවෙන්නේ. එයාගෙම වයසේ එයාගෙම හොඳම යාලුවා වුන නෙහාරගේ දැන් සිතුවිලි මොළය කෙමෙන් ප්‍රබල වෙමින් පසුවෙන්නේ. එයා බොහොම සංසුන්ව, සංවිධානාත්මකව තීරණ ගන්න හේතුව තමයි එයාගේ හැඟීම් මොළයට වැඩිය සිතුවිලි මොළය ප්‍රබල වීම.

ළමා මනෝවෛදවරයා පැවසූ විදියට අපේ ජිවිතයේ සාර්ථකත්වයට අපිට ඉගැනීම පිලිබඳ බුද්ධිය, අපේ IQ එක ඉලක්කම් සහ අකුරු පිලිබඳ බුද්ධියට අමතරව ඉතාම වැදගත් වන දෙයක් තමයි අපේ පෞරුෂත්වය. ඊටත් වැඩියෙන් අපිට ඉක්මනින්ම වෙනස් කරගන්න පුළුවන් දෙයක් තමයි අපේ EQ එක එහෙමත් නැත්නම් හැඟීම් පිළිබඳව තියන බුද්ධිය. අපේ හැඟීම් අවබෝධ කරගැනීම, අනෙත් අයගේ හැඟීම් අවබෝධ කරගැනීම ඊට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීම තමයි හැඟීම් පිලිබඳ බුද්ධිය කියන්නේ. 

ඉතින් නෙහාරා හොඳම හැඟීම් පිලිබඳ බුද්ධියක් ඇති දරුවෙක්. ඉතින් මේ විදිහට අවේගශීලිව ඉක්මනට තරහා යන තෙනුජත්, සංසුන්ව සංවිධානාත්මකව කටයුතු කෙරන නෙහාරාත් අනාගතයේ මොනවගේ පුරවැසියෝ වෙයිද?

සමහරවිට බොහොම අවේගශීලි, මාර්ග නීති පිළිපදින්නේ නැති, බැංකුවක පෝලිමේ ඉන්න අමාරු කෙනෙක් වෙයිද? එහෙම නැත්නම් බොහොම පිළිවෙලට වැඩ කරන අනෙක් අයට ගෞරව කරන බොහොම සහකම්පනය සහිත පුරවැසියෙක් වෙයිද? ඉතිං මේ අවස්ථාවේදී ළමා මනෝවෛද්‍ය උපදෙස් මගින් ජිවිතේ වෙනස් කරගන්න හැටි ගුරුතුමිය හොඳටම ඉගන ගත්තා. 

ඔබේ දරුවාටත් මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබදව සැලකිලිමත් වෙමින් අවශ්‍ය මනෝ වෛද්‍ය උපදෙස් ලබාගෙන දරුවා නිසි මගට යොමු කිරීම සමාජය ඉදිරියේ දරුවා පත්වන අපහසුතා මෙන්ම සහකම්පනය සහිත දරුවෙකු දැයට දායාද කිරීමට ඔබට ඉවහල් වනු ඇත.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article