අකලට හිසකෙස් පැසීම යනු වයස් ගත වීමත් සමඟම නියත වශයෙන්ම සිදු වන ස්වභාවික සංසිද්ධියකි. නමුත් පුද්ගලයෙකුගේ හිසකෙස් පැසීම නොහොත් සුදු පැහැ වීම අකලට සිදුවන්නේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු වන අතර එය මානසිකව බලපෑම ඇති කරන ගැටලුකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත. ඒ සඳහා අභ්‍යන්තරික වශයෙන් හේතු සාධක ඇති නමුත් ඒවා නිවැරදි කිරීමට මත්තෙන් කෙනෙකු ක්ෂණිකව යොමු වන්නේ බාහිරින් වර්ණ ගැන්වීම කෙරෙහිය. සුදු පැහැ වුනු කෙස් ගසක අභ්‍යන්තරයෙන් නැවත කලු වර්ණක ඇති කිරීම සිදු කිරීමට අපහසු කරුණක් බැවින් බාහිරින් වර්ණ ගැන්වීම එකම විසඳුම ලෙස පෙනේ.
නමුත් ගර්භණී මව්වරුන්ට මෙය වඩාත් ගැටලුකාරී වේ. ගර්භණී කාලයේ හිසකෙස් වර්ණ ගැන්වීම ආරක්ෂිතද නැද්ද යන වග සහ එසේ ආරක්ෂිත නොමැති නම් ඒ සඳහා පවතින විසඳුම කුමක්ද යන්න ඊට හේතුවයි. මේ සඳහා නිසි පිළිතුරක් ලබා ගැනීමට පෙර කේෂ වර්ණක සහ වර්ණ ගැන්වීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් වේ.
වෙළඳපොලෙහි රසායනික සහ ස්වභාවික කේෂ වර්ණක පවතින අතර මූලිකවම ඒවා වර්ග 4 කට බෙදා දැක්විය හැක. එනම්,
- Temporary colors
- Semi permanent colors
- Demi permanent colors
- Permanent colors
වර්ණක ආලේප කිරීමට ප්‍රථම “Temporary hair colors” හැර අනෙකුත් වර්ණක වර්ග 3 ම (Patch test) ආසාත්මිකතාව පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම මේ සියලුම වර්ණ වර්ගයන්ට ආවේණික වූ රසායනික සංයුතියන් පවතින අතර එමඟින් කෙස් සඳහා ලබාදෙන වර්ණය සහ එය කෙතරම් කාලයක් රඳා පවතින්නේද යන්න තීරණය කරයි.
Temporary colors
අපගේ හිස කෙස් නිර්මාණය වී ඇති ආකාරය අනුව පිටතින්ම පවතිනුයේ cuticle නොහොත් උච්චර්මයයි. ඊට ඇතුලතින් cortex නම් ස්ථරය සහ අභ්‍යන්තරයෙන්ම Medulla නොහොත් මජ්ජාව වේ. Temporary colors වලදී කෙස් ගසේ පිටතින්ම පවතිනුයේ cuticle layer එක හරහා ගමන් නොකරයි. කෙස් ගස වටා තැන්පත් වීම පමණක් සිදු වේ. එමඟින් කෙස් ගසෙහි රසායනික වෙනස් කම් කිසිසේත් සිදුවන්නේ නැත.
Semi permanent colors
සේදුම් වාර කීපයකදී තුනි වී යන මෙම වර්ණක කෙස් ගසෙහි cuticle layer තුළට ඇතුළු වන නමුත් ඔක්සිකරණ ක්‍රියාවක් සිදු කිරීමට තරම් රසායනිකව ප්‍රබල නැත.
Permanent hair color
ඇමෝනිය, ඇමෝනියා අඩංගු සෙසු සංඝටක, පෙරොක්සයිඞ් ආදී ශරීරයට අහිතකර විය හැකි රසායනික සංයෝග මෙහි අඩංගුය. කෙස් ගසෙහි අභ්‍යන්තරයටම ඇතුළු විය හැකි වර්ණක වන අතර බොහෝ කාලයක් වර්ණය හිස කෙස්හි රඳවාගෙන සිටී.
පොදුවේ සමහර කේෂ අලංකරණ සඳහා භාවිත කරන රසායනික සංයෝග පිළිකා කරක බව වාර්තා වී ඇතත් වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කේෂ වර්ණක ගැබ තුළ සිටින දරුවාට හානි කර වූ අවස්ථා ගැන සඳහන් වී නැත. එසේම මේ සියලුම වර්ණකවල ඇති රසායනික සංයෝග යම් යම් මට්ටමින් කේෂ තුළට ඇතුළු වුවද ඒවා රුධිර සංසරණ පද්ධතියට එකතු වී කලලය කෙරෙහි හානි කර නොවූවත් ඇතැම් වර්ණක ගර්භණී කාලයේදී භාවිත කිරීම නිසා හිස් කබලේ චර්මයේ ආසාත්මිකතා ආදී සංකූලතා ඇති වීමේ ප්‍රවණතාවයක් ඇත. එබැවින් ගර්භණී කාලයේදී කෙස් වර්ණ ගැන්වීමේදී ප්‍රවේශම් විය යුතු කාරණා බොහෝමයක් ඇත.
වෛද්‍ය නිර්දේශය අනුව වෙළඳපොලෙහි පවතින වර්ණක අතුරින් Semi permanent සහ temporary hair colors පමණක් ගර්භණී මව්වරුන්ට සුදුසු බවත් permanent bleach අඩංගු වර්ණක භාවිතය නුසුදුසු බවත් ගැබිනි මව්වරුන් විසින් දැනගත යුතුය.
එසේ නම් ගර්භණී මවකට පහසුවෙන් භාවිත කළ හැකි හානි කර නොවන temporary colors යනු බොහෝ කාලයක් කෙස්වල රැඳී නොතිබෙන මාසයක වඩා අඩු කාලයකදී තුනි වී යන වර්ණකයි. බෙහෝමයක් natural hair dye නොහොත් ස්වභාවික වර්ණක මේ ගණයට අයත් වේ. Henna යනු එවැනි ස්වභාවික කේෂ වර්ණයකි. මෙමඟින් ඉතා පහසුවෙන් සුදු පැහැති කෙස් කලු පැහැයෙන් ආවරණය කරගත හැක. එසේම විවිධ ස්වභාවික වර්ණක ලෙස බීට් රූට්, කැරට්, තක්කාලි, කෝපි ආදී දේ විවිධාකාරයෙන් සකසා භාවිත කළ හැක.
සුදු කෙස් වර්ණ ගැන්වීමට ආයුර්වේදයෙහි භාවිත වන ඉතා සුප්‍රකට ස්වභාවික වර්ණකය වනුයේ නිල් අවරිය චූර්ණයයි. නිල් අවරිය (Indigofera Tinctoria) කොළ හොඳින් වියලා කුඩු කරගන්නා අතර එයට ආධාරක ලෙස ආමලීක චූර්ණය, හෙනා චූර්ණය ආදී ස්වභාවික ද්‍රව්‍ය යොදා සාදා ගන්නා මිශ්‍රණය කෙස්වල ආලේප කිරීමෙන් ඉතාමත් ලස්සන ස්වභාවික වූ කෙස් සඳහා ආවේණික තද නිල් කලු වර්ණයක් ලබාගත හැක. නිල් අවරිය චූර්ණය වෙළඳපොලෙහි මිලදී ගැනීමටද ඇත. 100% ස්වභාවික වන මෙම ක්‍රමය ගර්භණී මව්වරුන්ට ඉතාමත සුදුසු ක්‍රම වේදයකි.
ආයුර්වේදයේ සඳහන් වන නීල්යා නම් වූ තෛලය නිෂ්පාදනයේ දී යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වනුයේද මෙම නිල් අවරිය යන පැලෑටියයි. බොහෝමයක් පුද්ගලයින් සිතනුයේ වර්ණ ගැන්වීම සුදු පැහැ කෙස් සඳහා එකම විසඳුම බවයි. නමුත් එය තාවකාලික විසඳුමක් බවත් නොකඩවා එම වර්ණ ගැන්වීම සිදු කරන්නට වන බවත් අපි දනිමු. විවිධ රසායනික වර්ග භාවිත කර කෙස් වර්ණ ගැන්වීමේ අවධිය වන තෙක් නොසිට ඊට පෙර සිටම විවිධ ප්‍රතිකාර ක්‍රම මඟින් හිසකෙස් හි කාල වර්ණය දීර්ඝ කාලයක් පවත්වා ගැනීම සඳහා අකලට හිසකෙස් පැසීම සහ පෝෂණය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මඟපෙන්වයි.
ලිපිය සකස් කලේ
මාතර විශ්ව විද්‍යාල විද්‍යායතනයේ බාහිර කථිකාචාර්ය,
ආයුර්වේද වෛද්‍ය කේ. අචලා ද සිල්වා.
B.A.M.S (ගෞරව ) (කොළඹ)
අශ්වින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, අම්බලන්ගොඩ, හික්කඩුව.