- Advertisement -

ජනනිගේ දිනපොත 02

-

වෙන් වෙන් වශයෙන් තම මාර්ගයන් වල ගමන් කල ස්වාධීන ගැහැණියක් සහ මිනිසෙක් පළමුව දෑසින්ද , දෙවනුව හදවතින්ද බැඳී , දැන් ඉතින් එකට දිවිමඟ යන්නට ඕනෑයි තීරණය කළ අතීත ජනවාරියක ඔවුන්නොවුන්ගේ දෑගිළි එකම රන්හුයකින් බැඳෙන්නට ඉඩ හළේය. ඒ අය නමින් ජනනි සහ සුසාර වන්නෝය. 

මේ අද ඔබට පිරිනැමෙන ජනනිගේ දිනපොතේ පිටු කිහිපයයි…

- Advertisement -

ඒ තුළ ඔබට ඔබ හෝ, මට මා හෝ, අපිට අප හෝ හමු වනු ඇත.

 

ජනනිගේ දිනපොත 02 

පෙබරවාරි 24: 

මේ ලෝකේ හැමදේම එකම පිළිවලකට වෙනවා නම් හොදයි කියලා මට හැමවෙලාවෙම හිතෙනවා. සුසාර පවුලේ එකම ළමයා වෙච්චි එක කොච්චර හොඳද කියලා අපේ අම්මලා කල්පනා කරේ එයාට ලැබෙන යම් දේපල උරුමයක් ගැන හිතලා වෙන්න ඕන. සුසාර කියන්නේ මනුස්සයෙක් විදිහට පුදුම තරමේ හොඳ කෙනෙක්. එයා හොඳම ප්‍රේමවන්තයෙක්. ආදරණීය කෙනෙක්. ඒත් ගෙදරදි එයා හුරතල් පොඩි බබෙක්. අම්මාගේ සහය නැතුව කිසි දෙයක් කරගන්න බැරි කෙනෙක්. ඇදන් ඉන්න කලිසමත් ගස්බඩ ගාපු මනුස්සයාගේ වළල්ල වගේ ගලවන්නේ කොතනද? ආන් එතන බිමට දානවා. Towel එකට කරන්නෙත් ඒ සන්තෑසියම තමයි. මම දැන් කීපදවසක්ම ඔය තැන් තැන් වල රෙදි ගළවලා දාන්න එපා කියලා සුසාරට කිව්වම , සුසාර කිව්වේ “අනේ බබාහ් අම්මා අස්කරල වැලට දායි.. ඔයා නිදහසේ ඇදගන්නකෝ” කියලයි. අම්මා කොහොමටත් තේ උස්සගෙනයි, අතොරක් නැති හේතු හදාගෙනයි අපේ නිදන කාමරේ ගාව හිටන් ඉන්න එක මන් ආපු දා ඉදලා කරනවා. 

කාමරේට දොරක් තියෙන්නෙ හොඳ වෙලාවට. දවසක් රෑ party එකකට යන්න තිබ්බ නිසා අපි දෙන්න දවල් පොඩි නින්දක් දැම්මා. මට දවල්ට ලොකුවට නින්ද යන්නෙ නැහැ. පැය බාගයක් ඇහැ පියවෙන්න ඇති. මට bathroom යන්න ඕනා නිසාත් සුසාරට ඇහැරුනොත් පව්නේ drive කරන්නත් තියෙනවනේ මම සද්ද නොනැගෙන විදිහට අඩිය තියලා ගිහින් එකපාරට දොර ඇරියා. බුදු අම්මෝ ! අම්මා දොරලඟ. ඒ පට්ට දවාලෙත් මම හොඳටම බය වුනා. “ඇයි අම්මේ ?” කියන එක නොවුනත් මම අහන්න ඕන ප්‍රශ්නේ මම ඇයි කියලා ඇහුවා. 

” ආ.. අහ් … මේ සද්දක් නැත්තේ මොකද බලන්න ආවා.. පුතාට තේකක් ඕනද දන්නෙ නෑනේ “

මේවට උත්තර විදිහට මොනවා දෙන්නද? මම “තේ එපා එයා නිදි අම්මේ කිව්වා”. මටයි අක්කටයි වෙනම කාමර අපේ තාත්තා දීලා තිබ්බා. තට්ටු නොකර කෙල්ලන්ගේ කාමර වලට යන්නෙපා කියලා තාත්තා අම්මටත් නීති දැම්මේ අපිට අවුරුදු 16,17 වෙනකොට. මට මේ ජීවිතේ හරි අමුතුයි. හැමදේටම කළබලවෙන්න එපා කියලා ඉගැන්නුවත් තාත්තාමනේ. තව ටිකක් බලනවා. සුසාරගේ අම්මා ඇත්තක් කිව්වා වෙන්න පුලුවන්නේ.

 

පෙබරවාරි 27:

මට premenstrual symptoms එන්න පටන් අරන්ද කොහෙද. ඇඟේ වෙහෙසයි, තරහා යන එකෙයි, ඇඩෙන එකෙයි නම් කිසි අඩුපාඩුවක් නෑ. මටම මාව control නැති ගතියක් දැනෙනවා. හිස කැක්කුම ඊට හපන්. හෙටවත් මේක හැදුනොත් හොඳයි. කෑම පිරියත් නිකම් තියෙනවා නැති ගානයි. මේ දවස් වල නම් අම්මා දොර ළගද? උයනවද ? කනවද? බොනවද? මම කිසිදෙයක් හෙව්වේ  නෑ. මට වෙහෙසයි. වැඩට යනවා නෙමේ යැවෙනවා. මොකද ජනනිට ? කියලා සාලේ පැත්තෙන් අහනවා මට ඇහුනා.  සුසාර මොනවද කිව්වා. මම නිකම්ම නින්දට වැටුනා. කබඩි තරඟෙට ගියා වගේ මගේ ඇඟ. 

පෙබරවාරි 28::

නිවාඩු දාන්නම හිතෙනවා. ගිය මාසෙ wedding එක ගත්ත නිසා නිවාඩු ඉල්ලන්නත් බෑ  වගේ. අද සිකුරාදනේ ඔන්න ඔහේ අදත් අදිනවා. හෙටම rest එකක් ගන්නවා. මීට වඩා අමාරුවක් ආවොත් ගන්නත් නිවාඩු එපෑ. අනික මේ පෙබරවාරිනේ තාම. 

ගෙදර එනකොට අම්මා bedsheets මාරු කරලා තිබ්බා ඇදේ. අනේ මන්දා…එක්කෝ කමක් නෑ මට ඇඟට අමාරු එකේ ඔන්න ඔහේ නිදා ගන්න විතරනේ තියෙන්නේ. අද නම් ගෙදර කෑම එපා ! කොත්තුවක් සැරට කන්න තිබ්බා නම් හොඳයි. මම සුසාරගේ number එක dial කළා.

සුසාර ගෙට ගොඩ වෙද්දි හතට කිට්ටුයි. මම හිටියේ නින්දයි නොනින්දයි අතර. වාහනේ සද්දෙට ඇහැරුනත්, මාව ඇදෙන් බැස්සෙව්වේ කොත්තු සුවඳ. 

” ඊයා මේ මොන ජරාවල්ද? අපි නම් ගෙවල් හරියේ ගෙනල්ල කාල නෑ පිටි ගොඩවල්… අපේ පුතා කාලත් නෑනේ.. මේවා කොහොම හදනවද ? කවුද  දන්නේ ජරාව..” අම්මා කියෙව්වේ මම ඉවසිල්ලක් නැතුව කොත්තුව ලෙහාගෙන පිස්සෙක් වගේ කන්න පටන් ගත්තම. ” අම්මේ කොත්තුව ගෙනාවෙ මට.. මට මේවා කාල හොඳට පුරුදුයි… සුසාරට ඔයා උයපු දෙයක් බෙදලා දෙන්නකෝ” කියල කියන ගමන්  ” අනේ මළසමයං අපි බඳින්න කළින් ඉදන්ම මාවත් ඇදගෙන කොත්තු කන්න කඩවලට රින්ගුවේ ඔයාගේ පුතා තමා කියලා” හිතින් හිතුවා. මොකද සමහර වචන කටින් පිටකරලා වැඩක් නෑ.  ඒක නියම කොත්තුවක් ….

ලබන සතියේත් හමුවෙමු.

කියවන සැමට ආදරයෙනි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article