- Advertisement -

මගේ අම්මාට මම ආදරේ ඇයි?

-

ලෝකයේ සියළු නපුරෙන් මා රකිමින් හොඳම දේ මට පෙරා දුන් මගේ අම්මා ලෝකයේ හොඳම අම්මාය. මට අපැහැදිලි සහ අසීරු සෑම ගැටළුවකදීම මට පෙනුන එකම පැහැදිලි පිළිතුර වූයේ මගේ අම්මාය ( all knowing mom-ness).

කඳුළේ ලුණු රසකදීද , අසරණකමේ අඳුරු පත්ලේදීද, ඒ අසමාන ලෙස  උණුසුම් උරහිස මා වෙනුවෙන් විසිහතර පැයේම දරා සිටියේ මගේ අම්මාය. හිස අත ගෑ සැනින් බොහෝ වේදනාවන් ගෙන් මා මුදාහළ මායාකාරී ස්පර්ශන් හිමි මගේ අම්මාටය ( gentle touch ). ඇයට මම ආදරේය.

- Advertisement -

කාශ්ඨක අව්වේද, ගිනිලන පොළවකද, සැඩදිය පහරකද අප්‍රතිහත දෛර්‍යවන්තභාවයෙන් නැඟී සිටිය හැකි කෙනෙක් වේද , ඒ  නම් මගේ අම්මාය. ජීවිතයේ ආර්ථිකමය පරිහාණින්වලට වලට නොපැකිළව නමුත් තාර්කිකව මුහුණ දුන්නේ මගේ අම්මාය.(ability to rationalize and work through  any tough situation ) යසද,  අයසද සමව විදින්න ඉගැන්වූයේ අම්මාය.  මම ඇයට ආදරේය.

දසමසක් මා වෙනුවෙන් ඇගේ සියුමැලි නාරි දේහයම කැපකර ඉන් බිඳකුදු  නොනැවතී, ලේ බිංදුව පවා කිරි වලට පරිවර්තනය කරන්නට නිර්ලෝභී වී, ඉනික්බිති ජීවිතයම පවුල වෙනුවෙන් දිය කර හරින්න තරම් අයෝමය කැපකීරිමක් කළේ  අම්මාය ( generosity ). මම ඇයට  ආදරේය.

මා වෙනුවෙන් ආශා කල බොහෝ දේද, සුව නින්දද, සැපවත් ජීව්තයද, සැනසුම්දායක දවස් ගණනාවක්ද අහිමි කරගත් ඇය, ඒ සියල්ල එක මුදු සිනහවකින් අමතක කරදමා මගේ ආදර චුම්බනයකින් , මගේ සිනහවකින් පමණක් සැනසෙන්නට දන්නීය. ඒ මගේ අම්මාය. ( selflessness ) මම ඇයට ආදරේය.

රතුබත් කන්නටද, කොළකැද බොන්නටද, එළවලු කන්නටද ඇවිටිලි කරමින් දවස පුරා මා පීඩාවට පත් කරන්නී ඇයය. කුඩා පෝච්චි වල වස විස නැති එළවලු වවමින් සියුමැලි දෑත් වල කරගැට එනතුරු ඒවාට සාත්තු කළේ මගේ අම්මාය. ඒ සියක් ආයු ඇයට නොව මට ලබා දෙන්නටය. ( health conscious ) ඒ මගේ අම්මාය. මම ඇයට ආදරේය. 

එහෙමත් දවසකදී හැදෙන අමතර කෑමක් ටිකක් වැඩිපුරද , බත්පතට වැඩිපුර මාළුපිණිද, වැඩිපුර බිත්තරයක්ද  මගේ යහලුවන් වෙනුවෙන් එකතුකල ලෝකයේ ප්‍රණීතම රසමසවුළු පිසින්නියද, අන් දරුවන් කෙරෙහි අපිරිමිත දයාවෙන්ද බැලූ ( empathy) උදාර ගැහැණිය වන්නීද මගේ අම්මාය. මම ඇයට ආදරේය.

නවීන ජංගමයා හසුවරන්නට කොතෙක් කියාදුන්නද, මාගේ මිතුරන්ට හිටි අඩියේ අහේතුකව  happy birthday එමොජි සහ ස්ටිකර් යවමින් ඔවුන්ව සිනහගන්වන්නීද,  මගේ ඇමතුමකදී, I’m at a meeting.pls call me later කියා කුස්සියේ සිට පණිවිඩ එවමින් මා කෝප ගන්වන්නීද ඇයය.  හවස් කාලයේ මේ සියලු වීරක්‍රියා සිහිකරමින් කිරිදරුවෙකු සේ සිනා නඟන්නීද ඇයය. ( silly sense of humor) ඇය මගේ අම්මාය. ඇයට මම ආදරේය.

ෆීනික්ස් කිරිල්ලියක් මෙන් අළුද දූළිද මතින් නැගී සිටීමින් එහි  මූලික පාඩම කියා දුන්නේ ඇයය. තාත්තාද අපවද ආදරයෙන් රඳවාගෙනවුන් ආදරයේ බන්ධනය ඇයය. බිඳුණු හදවත් සීරුවෙන් සුවපත් කළ, විසිරෙන පවුල එකට එකතු කළ, කළ නොහැක්කක් නොමැති ගැහැණිය මගේ අම්මාය ( dedication to the family ). මම ඇයට ආදරේය. 

තවත් වැඩිපුර නිදන්නට ඇස ඉල්ලන මිනිත්තු දෙකක කාලයෙන් මා මුදවමින් අවදිවන්නට බලකල සොදුරු ආඥාදායකයත්වය ඇයගේය. ඉර එළියට පෙර මගේ කාමරය දීප්තියෙන් දැල්වූ ඒ අසිරිමත් දෑස්ද, ආදරණීයම ඇමතීමද ඇයගේය ( lighting up my room with her smile and eyes ) ඈ මගේ අම්මාය. මම ඇයට ආදරේය.

සුළු සෙම්ප්‍රතිශ්‍යාවක සිට අසීරු රෝගයක් දක්වාම සහනය සළසන සුකුමාර වැළදගැනීම ඇත්තේ ඇගේ පපුතලයේය. සුවපත්බවේත්,  මානව දයාවේත් උත්තම චුම්භනයන් අයිති ඇයටය. මම කැමතිම හාදු ඇත්තේ ඈ ළගය ( comforting hugs) ඈ මගේ අම්මාය. මම ඇයට ආදරේය. 

” චූටි දුව ” ලෙස මා ඇමතිය හැකි ලෝකයේ ලාලිත්‍යවත්ම හඬ ඇත්තේ ඇයටය. අතිශය ආවේගකාරී, ප්‍රකෝපකාරි මොහොතක පවා මා වළක්වාලන අමෘතමය වචනද සන්සුන් පැහැබර මුහුණද ඇත්තේ ඇයටය ( calming presence ). ඇය මගේ අම්මාය.  ඇයට මම ආදරේය. 

යන්න බැරි බව කියා නවතන, දැන් අතැර දැමිය යුතු බව සිතන, බොහෝ කාරණා වලදී මා අල්වාගෙන සිටින, පැටලුම් ලෙහමින් මා අස්වස්සාලන, නවත්තන්නට සැරසුන ඒ බොහෝ දේ අවසානය හා ජයග්‍රහණය දක්වාම කැන්දාගෙන යන රූපරම්‍යාව ඇයය ( stuck with me through  thick and thin ).  ඇය මගේ අම්මාය. මම ඇයට ආදරේය. 

මගේ හිතුවක්කාරකම් සීතළ කදුළකින් දරමින්ද, තාත්තාගේ කුඩා දඩුවමින් මා මුදවමින්ද, එකටෙක කියූ එහෙමත් නරක නපුරු දවසක මෘදුව රවමින්ද, මා සනසන්නට මා කැමතිම රසකැවිල්ලක් සඟවාගෙන අවුත් දුන් නොහිම් ආදරය ඇයගේය ( unwavering love) . ඈ  මගේ  අම්මාය. 

ලෝකයේ හොඳම, ආදරණීයම අරක්කැමියා ඇයය ( amazing cooking skills ). සියලුම කුළුබඩු සමඟ ඇය මුසු කරන ඇයගේ ආදරයේ තුනපහ මිශ්‍රණය ලොවේ අන් කිසි තැනක ඔබට සොයා ගැනීමට නොහැකිය. එය ඇත්තේ ඇය ළඟම පමණය. ඒ මගේ අම්මා ළගය. මම ඇයට ආදරේය. 

සෙවණැල්ල වුව ඇතැර යන එහෙමට දුෂ්කර දිනවලදී තාත්තාට සෙවණැල්ල වෙමින්, දුකද, සැපද සමසිතින් දරමින්, මරණයට පවා වෙන් නොකළ හැකි ලෙස කොන්දේසි විරහිතව රැදි හිදින්නී ඇයය. තාත්තාගේ පරම්පරාව ගෙන යෑම ප්‍රාණ  පරිත්‍යාගයෙන් දරුවන් වැදූයේද හැදූයේද ඇයය. කිසිදු ප්‍රතිලාභයක් නොපතා ආදරයම බෙදන, ආදරයේ විසල් වෘක්ෂය ඇයය ( unconditional love for my father ). ඒ මගේ අම්මාය. ඇයට මම ආදරේය.  

අසමසම ලෙස දුක නිවාරණය  කරන, අසාධාරණ ලෙස ඕනෑම කෙනෙක්ට  සමාව දෙන බවට අපෙන් චෝදනා ලබන ප්‍රශස්‍ය හදවත හිමි ඇයටය  ( epic capacity for forgiveness ). ලෝකයේ අසමසම කෙනෙක් ඇත්තම් මට, ඒ මගේ අම්මාය. මම ඇයට ආදරේය.

හේතුකව හෝ අහේතුකව මම ඇයට බැඳෙමි. ආදරය කරමි. ඇය ඉගැන්වූ මාර්ග වල යමි. ඇගේ කිරට හැරවුන ලේ වල අයිතිය සුරකිමි. “අම්මා” , අප්‍රතිහත කැපකිරීම් වල පර්‍යාය පදයක් බව අදහමි. හේතු දහසක්, දසදහසක් හෝ බිලියනයක් සොයාගෙන ඇයව අගයමි. අම්මා අසමසම නිර්මාණයක් බව විශ්වාස කරමි. මගේ අම්මාට මම ආදරේ කරමි.

මගේ අම්මාටද ලෝකයේ සියලු අම්මලාටද ආදරයෙනි. 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article