දරුවා ගැන දරුවෙකු ලෙස සිතන්න

පුංචි පැටව් කියන්නේ ඇත්තටම මල් වගේ බොහොම මුදු සුමුදු යස්තුවක් කිව්වත් නිවරැදියි. මේ පුංචි මල්වලට අපි කවුරුත් ආදරෙයි. ඒ ආදරය සෑම දරුවෙකුටම එක හා සමානව ලැබෙන්නේ නැහැ. අම්මලා,තාත්තලාගේ ගති පැවැතුම් අනුව මේ තත්වය එකිනෙකාට වෙනස් වෙනවා.

ආදරය ලබා දෙන්න මිළ මුදල් අවශ්‍ය නැහැ..

දරුවන්ට ආදරයයි කියන්නේ ඔවුන් ඉල්ලන හැම දෙයම ඉල්ලන පමාවෙන් ලබා දීම නම් නොවේ. නමුත් ඉල්ලන දෙය ප්‍රතික්ෂෙප කරන රටාවක් තිබෙනවා. යමක් ඉල්ලු සැනින්ම ඒ ගැන දොස් නගමින් දරුවාට කඩා පනින්න එපා. දරුවාගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි හේතු ගැන කාරුණිකව ඔවුන්ට පහදා දෙන්න. ඒ අතර මේ වගේ හේතු ඇති.

  • අම්මා තාත්තා ළඟ දැන්  මුදල් නැහැ.
  • මේ මුදල වියදම් කිරීම අද දවසේ හැටිය අපහසුයි.
  • මුදල් ලැබුන දිනක අරගෙන දෙන්න උත්සාහ කරන්නම්.
  • පුතාට මේ දෙය අරගෙන ඕනමද කියලා තව වතාවක් හිතන්න

මේ විදිහට කරුණු කාරණා පහදා දුන්නොත් දරුවා විසින්ම එය තමාට අනවශ්‍ය බවට වූ තීරණය ගනු ඇති. එහෙම නැතුව ”කොහෙ තියෙන සල්ලිද..? මෙහෙ එනවා යන්න කියමින් දරුවාගේ කණෙන් ඇදගෙන යෑම නම් කිසිසේත්ම අනුමත කළ යුතු නැහැ.

තාත්තා කෙනෙක් නම් දුවත් එක්ක කථා කරන්න…පුතා සමග සෙල්ලම් කරන්න..එහෙම නැති වුනොත්…?

බොහෝ තාත්තලා තමන්ගේ දියණිවරුන් සමග කතාව අම්මාට පවරා නිහඬ වෙනවා. දූගේ ප්‍රශ්න අම්මාට කිව්වත් තාත්තාගේ කතා බහ දූටත් අවශ්‍යයි. දූවරුන්ගේ මල්වරවීම සහ එයින් පසුව ඇති වෙන මාසික ඔසප්වීම වැනි කටයුතු පියවරුන් සමග කථා කිරීමට නොහැකි වුනත් එදිනෙදා ජීවිතයේදී තමන්ගේ දියණිය සමග කතා බහට තාත්තාගෙන් අවස්ථාවක් ලැබීමත් ඉතා වැදගත්. 

ඒ වගේම පුතා සමග සෙල්ලම් කිරීමටත් තාත්තාට වේලාවක් තිබෙනවා නම් තාත්තා සහ පුතා අතර බොහොම සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා. අද සමහර නිවෙස්වල පුතා සහ තාත්තා අතරත් ඇත්තේ බොහොම දුරස් බවක්.කන්න දෙනවා..අඳින්න දෙනවා..ඉගෙන ගන්න වියදම් කරනවා..තවත් මොනවාද..? තාත්තා කෙනෙක් විදිහට ඔබ එහෙම හිතුවත් දරුවන්ගේ හදවත ස්පර්ශ කිරීමට මුලින් කී කිසිම දෙයකින් නොහැකි බැව් හිතන්න.දරුවාගේ වැඩීමට ආහාරපාන අවශ්‍ය බව ඇත්ත. එහෙත්..දරුවාගේ හිතට සතුට, සැනසිල්ල, ආරක්ෂාව ඇති වීමට නම් තාත්තා යන චරිතයත් සමීපව සම්බන්ධව සිටීම ඉතාමත් වැදගත්.

දරුවා යනු කුඩා කරන ලද වැඩිහිටියෙකු  නොවේ.

සැබවින්ම දරුවෙකු යනු වැඩිහිටියෙතුගේ ප්‍රමානයෙන් ශාරිරිකව වෙහෙසවිය හැකි සහ වගකීම් දරණ පුද්ගලයෙකුගේ මට්ටමට ලා සැලකිය හැකි තැනැත්තෙක් නොවේ.ඔවුන්ගේ ලෝකය බොහොම සුන්දරයි. නමුත් ඒ සුන්දරත්වය අත්විදින්න අවසරය වැඩිහිටියන් වෙතින් ලැබිය යුතුය. දරුවාගේ ළමා ලෝකයම විනාශ කරන දෙමව්පියන්ද නැතුවාම නොවේ. ඇතැම් දෙමව්පියන් විසින් දරුවාට දැරීමට අපහසු තරම් වැඩකටයුතු පවරන අවස්ථාවන් තිබේ. මේ නිසාම ජලය,ගින්දර වැනි දෙයින් දරුවන් අනතුරු ලබන අවස්ථාවන් එමටය. ඒ නිසා ස්වයං ආරක්ෂාව ගැන දරුවාට අවබෝධයක් ලබා දීම මිසක අනවශ්‍ය අන්දමින් අවදානම් කටයුතු වෙනුවෙන් යොමු කිරීම ආදරණීය දෙමව්පියන් විසින් කිසිම දිනක සිදු කරන කාර්යක් නම් නොවේ.

දෙමව්පියන් දරුවන්ට නොසලකන්නේ ඇයි..?

නොදැණුවත්බව

අද ලෝකය පුංචි ගම්මානයක් බව ඇත්ත.ඒත් මේ ගම්මානයේදී දෙමව්පියකරණය හෙවත් දරුවන් හදා වඩා ගැනීම මුල් කර ගෙන පවත්නා සංවාදයන්,සන්නිවේදනයන් ඇත්තේම නැති තරම් කිව්වොත් නිවරැදිය. මෑතබාගයේ පටන් ගර්භණී මාතාවන්ගේ පටන් දෙමව්පියකරණය ගැබිණි සායනයන්හිදී අම්මාට වගේම තාත්තාටත් ලලබා දීම නම් සතුටට කරුණක්.

ආර්ථික ගැටළු

වතුර ගලන්නේ මිටි තැනින් කියන්නා සේ දෙමව්පියන්ගේ ආර්ථික ගැටළුවලින් නිතරම පීඩා විදින්නේ දරුවන්ය. ඇතැම් තාත්තලාට දරුවාගේ කිරි පැකැට්ටුවට මුදල් නොමැති වුනත් දුම්වැටියට, අරක්කු බෝතලයට ලෝබ නැතුව ලැබෙන මුදල වැය කරන අවස්ථාවන් ඇත. නමුත් මේ පියවරුන් දරුවන්ගේ ඒනෑ එපාකම් සියල්ලම මුදල් නැහැ…යන පොදු වගන්තියෙන්ම කප්පාදු කිරීමට තරම් ගොරෝසු හිත් ඇත්තන් බැව් කිව යුතුමය.

කාලය

කාලටය හැල්මේ ගෙවෙද්දී ඒ සමග පොර බදින අම්මා තාත්තාටත් දරුවන්ගේ ලෝකයට සම්බන්ධ වීමට අවස්ථාවන් නැති බවත් ඇත්ත. එහෙත් වෙලාව යනු අවශ්‍යතාවය ඇත්නම් නොදැනීම උපයා ගත හැකි දෙයක් බැව් නොරහසකි. ඒ වෙනුවෙන් ඇත්තේ එකම සාධකයකි. එනම් දරුවන් අපේම වස්තුවක් බව සිතීම පමණි. රැකියාව, අතිකාල ඉපැයීම,සමාජ සම්බන්ධතාවයන් හමුවේ දරුවා සමගත් කාලය ගෙවීමට දවස් නැතැත් පැය ගණනින් හෝ කාලය උපයා ගැනීම දයාබර දෙමව්පියන්ගේ කාර්යක් විය යුතුය.

ඔබ ආදරණීය අම්මෙක්..තාත්තෙක් නම්..දරුවා ගැන දරුවෙකු ලෙස සිතනවා නම් ඉහත දැක්වෙන අන්දමින් ඔබ දැනටමත් කටයුතු කරන බව ඔබටම තේරුම් යනු ඇති.

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here