අම්මා තාත්තා විසින් දරුවා ගැන උගත යුතු දේ

“ජෝන්ට ලතින් ඉගැන්වීමට පෙරාතුව ගුරුවරයා ජෝන් ගැන උගත යුතුයි….”

මේ ඇඩම්ස් ස්මිත් නැමැති ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයෙකුගේ කියමනක්.එය අපේ දෙමව්පියන් වෙනුවෙනුත් බොහොම සාධාරණ අදහසක් විය හැකියි. එක පැත්තකින් දරුවාගේ මුල්ම ගුරුවරයා වෙන්නෙත් දෙමව්පියන්. ඒ නිසා ලතින් නොව ජීවිතය කියවන්න දරුවාට උගැන්වීමට පෙරාතුව අම්මා තාත්තා විසින් දරුවා ගැන උගත යුතු දේ බොහොමයක් තිබෙනවා.

හැම දරුවෙකුම එක වගේ නැහැ

අතේ ඇඟිලි පහ වගේම දරුවන් අතරත් එක සමානකම් නැහැ. එකම අම්මාගේ තාත්තාගේ වුනත් දරුවන් අතර තිබෙන්නේ වෙනස් ගතිපැවතුම් බැව් අමතක කරන්න එපා.සමහර විට ඔබ මේ විදිහට දරුවන්ට චෝදනා නගනු ඇති

”අයියා වගේ නොවෙයි මේ ළමයා හරිම මුරණ්ඩුයි..කාගේ ගතියක්ද දන්නේ නැහැ..එකම බඩවැල කඩා උපන් දරුවන් අතර මේ අන්දමේ වෙනස්කම් තිබිය හැකියි.

 ඒ නිසා මව්පියන් ලෙස ඔබ දරුවාගේ ගති පැවැතුම් තේරුම් ගත යුතුයි. එය හරියට ජෝන්ට ලතින් ඉගැන්වීමට පෙරාතුව ජෝන් තේරුම් ගැනීමට සමානයි.

දරුවා තේරුම් ගන්නේ ඇයි?

හැම අම්මා තාත්තා කෙනෙකුගේම එකම බලාපොරොත්තුව තමන්ගේ දරුවා තමන්ගේ හැකියාවේ උපරිම ධෛර්යෙන් ඔවුන් තැබිය හැකි ඉහළම තැනක සමාජගත කිරීමයි. මේ වෑයම නිසාම දෙමව්පියන් විදිහට ඔබ උදේ හවස වෙහෙසන බව සැබෑව.දරුවා යහමගට ගැනීම වෙනුවෙන් ඇප කැප වීමේ සීමාවක් නැහැ.නමුත් අවසානයේදී ඔබට පාලනය කළ නොහැකි තැනකට දරුවා පත් වුනොත් ඔබේ සමස්ත වෙහෙසම නිරර්ථක උත්සාහයක් බවට පත් වේවි.

එකම රටාවත් බැහැ

ඔබ දරුවන් දෙතුන් දෙනෙක් සිටින දෙමව්පියන් නම්…එහෙම නැත්නම් බාල කාලයේදී සහෝදර පිරිසක් සමග කාලය ගෙව්වා නම් මොහොතක් හිතන්න.ඔබේ දරුවන්ට එකම අවවාදය එකම අන්දමින් ප්‍රතිචාර දක්වයිද…?ඒ ගැන ඔබටම අත්දැකීම් ඇති.විටෙක ඔබ ඉතා කාරුණික අවවාද කිරීමෙන් දරුවාගේ වැරදි කටයුතු වෙනස් කළ හැකියි. හොඳින් කියා නොහැකි තැනදි සමහර විට ඒ වෙනුවෙන් දඬුවම් ලබා දී ඇති.

හොඳින් කිව්වා….ආයේ කියන්න ඉඩ තියන්න එපා. මේ දෙවැනි අවවාදයට අවනත වෙන දරුවනුත් ඇති. ඒ අවස්ථා දෙකම වෙනුවට දඬුවමින් පමණක් මෙල්ල වෙන දරුවන්ද ඔබේ පවුලේම සිටිය හැකියි.ඒ නිසා දරුවාට අවවාද ලබා දෙන විට ඒ වෙනුවෙන් දරුවා දක්වන ප්‍රතිචාර ගැන අවබෝධයක් දෙමව්පියන් ලබා සිටීම ඉතාම වැදගත්.

හැම වේලාවේම කෝටුව අවශ්‍යද…?

ඇතැම් දෙමව්පියන් හැම වරදක් වෙනුවෙන්ම කෝටුව පෙරට ගන්නා අවස්තා තිබෙනවා. ඒත් කෝටුව නොමැතිව බොහොම මෘදු ස්වරයෙන් අවවාද ලබා දී දරුවාගේ වැරදි නිවරැදි කර ගැනීමත් පහසුයි. ඒ සියල්ල පසෙක තබා කෝටුව පමණක් පෙරට ගැනීමට හේතුව වී තිබෙන්නේ දෙමව්පියන් විසින් දරුවා ස්වභාවය ගැන තවමත් දැණුවත් වී නැති නිසාම නොවන්නේද…?

කෝටුවටත් බය නැති වෙන දවසක් එනවා.

ඕනෑ දෙයටත්,එපා දෙයටත් කෝටුවෙන් ලබා දෙන පහර නිසා පසුකාලයකදී දරුවා කෝටු පාරටත් බිය නැති වෙනවා.නමුත් අවවාදයෙන් බැරිම තැනකදී කෝටුවෙන් සංග්‍රහයක් ලැබෙද්දී නම් දරුවාගේ හිත කෝටු පහරේ වේදනාව සිහියට නැගෙන නිසා වැරැද්දෙන් දුරස් වෙන්න උත්සාහ ගන්නවා.දරුවා ගැන නිසි අවබෝධයක් ඇති දෙමව්පියන් කෝටුව නිතරම ඉස්සර කිරීමට සූදානම් නැහැ.

දඬුවමත් දරුවාගේ ස්වභාවය අනුවයි.

දඬුවම් ලබා දෙන විටත් දරුවාගේ මානසික තත්වය තේරුම් ගන්න. ආවේගශීලී දරුවෙකුට දඬුවම් කරද්දී ඔබත් ආවේගශීලී නොවන්න.ඔබ දරුවාගේ මව,පියා බව ඇත්ත වුනත් දරුවාගේ මානසිකත්වයේ බලපෑම දෙමව්පියන්ගේ ස්ථානය අභිභවා යන බව අමතක කරන්න එපා.එවැනි අවස්ථාවකදී ඔබ සන්සුන් වී අවවාද ලබා දීම ඉතාම වැදගත්.

දරුවන්ට යටත් වෙන්න පුලුවනෑ

මේ ගැන වරදවා හිතන්න එපා. එය දරුවාට යටත් වීමක් නොවේ. ඔබ දරුවා තේරුම් ගැනීම පමණි.ඔබ දරුවාගේ පූර්ව ගුරුවරයාය.ජීවිතය නැමැති තක්සලාවෙන් දරුවා බොහෝ දේ අනාගතයේදී උගත යුතුය. ඒ වෙනුවෙන් වූ ශික්ෂනය, සංවරය ගොඩ නගන්නේ ඔබය. ඒ ඔබ දරුවාගේ ගුරුවරයා නිසාය.

දරුවා කරන වැරැද්ද නොව වැරැද්දට හේතුව දැන ගන්න.

රෝගයක නිදානය සොයා ගන්නා වෛද්‍යවරයෙකු මෙන් දෙමව්පියන් ලෙසින් ඔබද දරුවා විසින් සිදු කරන වරද නොව වරදට හේතුව සොයා ගන්න. පාසල් යන්නට නොහැකි යැයි හඩන දරුවාට පාසල් නොයන නිසා දඬුවම් කිරීම වෙනුවට පාසල් නොයන්නට හේතුව සොයා ගන්න. දරුවාගේ පැත්තෙන් ඒ වෙනුවෙන් හේතු සාධක බොහොමයක් තිබෙන්නට හැකියි. සාර්ථක දෙමව්පියන් විසින් මුලින්ම ගත යුතු පියවර වන්නේ දරුවාගේ ප්‍රතික්ෂෙප වීමට බලපාන පරිසර සාධක හදුනා ගැනීමයි.

මව්පිය,දූ දරු ගැටුම් ඇයි..?

අද බොහෝ විට ඇසෙන දරුවන් සහ දෙමව්පියන්ගේ ගැටුම් වෙනුවෙන් වූ පරිසරයක් ගොඩ නැගී ඇත්තේ ඇයි? සැබැවින්ම ගැටෙන්නට දෙයක් නැත. ගැටීමට හේතුව මෙම දෙපාර්ශවය අතර ඇති අනවබෝධය පමණි.දරුවන් ඔබේ ලෙයින් මසින් උපන් බැව් සැබෑය.එහෙත් කාලය සමග ඔවුන්ගේ මනස සිතුවිලි හැසිරෙන අන්දම ගැන දෙමව්පියන්ට අවබෝධයක් තිබීම ඉතාම වැදගත් වේ. ඒ නිසා හැම දෙයක් වෙනුවෙන්ම ”මම අම්මා…මම තාත්තා…” යන ආයුධය පෙරට නොගන්න. එයින් ඔබ්බට ගොස් දරුවාගේ  හිත හැසිරෙන රටාව දැන හඳුනන දෙමව්පියෙකුගේ තැනට පත් වෙන්න.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here