හෙට වියපත් වෙන දෙමව්පියන් අපි..

වැඩිහිටියන්ට දරුවන් නොසලකන සිදුවීම් ගැන අපි නිතරම කතා කරමු.ඒ ගැන දරුවන්ට චෝදනා එල්ල කිරීමත් සිදු වෙනවා. ඒ වගේම දරුවන්ගේ ආදර සැලකිලි නොමැතිව වැඩිහිටි නිවාසයන්හි දැවෙන තැවෙන වැඩිහිටියන් ගැන අපි නිතරම සංවේදීව කතා කරනවා.

වැඩිහිටියන් බවට පත්වීම සාමාන්‍ය සංසිද්ධියක්

අද දරුවා හෙට වැඩිහිටියෙකු බවට පත් වීම ස්වභාවික ජීව විද්‍යාත්මක සංසිද්ධියක්.මෙම වියපත් වීම සමග සම්බන්ධව තිබෙන තවත් අතිරේක හේතු කාරනා කීපයක් තිබෙනවා.

  • වියපත් වීම සමග කායික ශක්තිය පිරිහීම.
  • විශේෂයෙන් බෝනොවන රෝගවල ගොදුරක් බවට පත් වීම.
  • දරුවන් ස්වාධීන ජීවිත ආරම්භ කිරීම නිසා දෙමව්පියන් හුදෙකලා වීම.
  • ආර්ථික ගැටළු හෙවත් ආදායම් මාර්ග නැති වීම
  • සමාජ සම්බන්ධතාවයන් අඩු වීම

දරුවනුත් වැඩිහිටියන් බවට පත් වෙනවා…

කාලය සමග ඔබේ තුරුලේ සිටි දරුවන් නොදැනීම වැඩිහිටි දරුවන් බවට පත් වෙලා ඔවුන්ගේ ජීවිතයේ විවිධ වෙනස්කම් ඇති වෙනවා.

  • දරුවන්ගේ අධ්‍යාපනය සහ රැකියාවන්හි නිරත වීම.
  • විවාහ වීම.
  • දරුවන් ලබා ඔවුන්ගේ ජීවිත ගොඩ නගා ගැනීම.
  • සමාජ සම්බන්ධතාවයන් නිසා දරුවන් කාර්ය බහුල වීම.

එහෙමනම් දෙමව්පියන් වියපත්වම සහ දරුවන් ස්වාධීන ජීවිතයක් ආරම්භ කිරීම අතර ඇති හිදැස පුරවන්නේ කොහොමද…?

උස් මහත් වෙලා දීග තල ගිහින් තමන්ගේම දරුවන් හදා වඩා ගෙන ජීවිතය පටන් ගත් දූ දරුවන්ට තමන්ගේ දෙමව්පියන් ගැන සොයන්න බලන්න වෙලාවක් නැති තරම් කාර්යබහුලයි කියන එකකාර ගීතයක් තිබෙනවා. මේ නිසා අද දෙමව්පියන් මහගෙදර තනි වෙන රටාව නොවැලැක්විය හැකි සාධාරණ හේතුවක් විදිහට අර්ථකථනය කරනවා.

නමුත් මෙය නිදහසට කරුණක් නොවෙයි..

අතීතයේදී දෙමව්පියන් දරුවන් දහ දොළොස් දෙනා හදා වඩා ගත්තේ මුවින් එක වචනයක්වත් නොකියා. ඔවුන්ට ඇත්තටම දරුවන් බරක් වුනෙත් නැහැ. ඔවුන්ගේ දෙමව්පියන් බරක් වුනෙත් නැහැ.

මෙතැන පුංචි වෙනසක් තිබෙනවා…

අතීතයේදී දෙමව්පියන්ගේ ජීවන රටාව බොහොම සරලයි.ඒ නිසා ඔවුන්ගේ කාලය ඉතිරියි. මේ සරල පැවැත්ම නිසා තමන්ගේ දරුවන් වගේම දෙමව්පියන්ද රැක බලා ගැනීම කිසිම විදිහකින් ගැටළුවක් වුනේ නැහැ. අද දෙමව්පියන්ගේ එකම අරමුණ තමන්ගේ දරුවන් වෙනුවන් අනාගතය සූදානම් කිරීමයි. ඒ මතම වෙහෙසෙන ඔවුන් තමන්ග් දෙමව්පියන්ට සලකන්න, රැකබලාගන්න වෙලාවක් නැතැයි කියමින් තමන් සාධාරණ කර ගන්නවා.

ලෝකය විවෘත වීම නිසාත් දෙමව්පියන් අසරණ වෙනවා..

අද හැම දරුවෙක්ම බාල කාලයේ පටන් තමන්ගේ අනාගත සිහිනය ගොඩ නගා ගන්නේ විදේශයක ජීවත් වීමයි. පුද්ගල අරමුණු වෙනුවෙන් බාධා කරන්නත් බැහැ.දරුවන් විදේශගත වුනත් දෙමව්පියන් තමන්ග් උපන් ගම රට දමා යන්න කැමැත්තක් නැහැ.ඒ නිසාම ඇතැම් දෙමව්පියන්ගේ අවසාන කටයුතු වෙනුවෙන්වත් දරුවන්ට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ලෝකයේ කොහේ හිටියත් දෙමව්පියන් වෙනුවෙන් අවධානයක් දැක්වීම අවශ්‍ය වෙනවා..

දරුවන් කොතැනක හිටියත් දෙමව්පියන් හදවතින් තනි කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. අද අපි මහපොළව මත පය ගසා සිටිනවා නම් ඒ ගෞරවය අත් වෙන්නේ දෙමව්පියන්ට බව සහතිකම ඇත්ත.

දෙමව්පියන්ගේ පැත්තෙන් පුංචි ඉවසීමක්..

දරුවන්ගේ ජීවන රටාව සමග තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට නම් දෙමව්පියන්ගේ පාර්ශවයෙනුත් පුංචි ඉවසීමක් අවශ්‍ය වෙනවා. ඇතැම් දෙමව්පියන් තමන්ගේම මතයේ සිටිනු විනා කිසිසේත්ම නම්‍යශීලි නොවන තැනුත් නැතුවාම නොවෙයි. දරුවන් සමග රැඳෙන්නට අසනීප තත්වයකදීවත්සූදානම් නොවන දෙමව්පියන්ද සිටිනවා. මේ මුරන්ඩු ගති පැවැතුම් නිසා දරුවන්ද අපහසුතාවයට පත් වෙන බවත් දෙමව්පියන් අමතක කරනවා.

 

අතීතය පාදක කර ගෙන නැගෙන චෝදනා හරිම දරුණුයි..

බොහොමයක් දරුවන් උස් මහත් වී තමන්ගේ ජීවිත ගොඩ නගා ගත් දිනට දෙමව්පියන් වෙනුවෙන් චෝදනා නගන්නට ආයුධ කීපයක් සූදානම් කරනවා..

  • අපිට පුංචි කාලයේ කිසිම සැපක් තිබුනේ නැහැ.
  • ඉඩම් පංගුවේ වැඩි කොටස දුන්නේ අයියාට..
  • අපි මේ තැනට ආවේ අපේම උත්සාහයෙන්…

මේ සියල්ලම ඇත්ත විය හැකියි. නමුත් මේ දරුණු ආයුධ වලින් දෙමව්පියන්ගේ හදවතට පහර දිය යුතු නැහැ.මේ කරුණු සාධාරණ කරමින් දෙමව්පියන්ට නොසලකා සිටින දරුවන් වෙනුවෙන්නම් කිසිම සමාවක් දිය යුතු නැහැ.

ඔබේ හෙට දවස..

අද දෙමව්පියන් ලෙසින් කාලය ගෙවන හෙට දවසේ ඔබත් වියපත් වෙනවා. එවිට ඔබේ දරුව්නගේ ආරක්ෂාව,රැකවරණය ඔබට අවශ්‍ය වෙනවා. ඒ ආදරය, ආරක්ෂාව ලබා ගැනීමට නම් ඔබ අද දවසේ ඔබේ දෙමව්පියන්ට සලකන රටාවෙන් දරුවන් අත්දැකීම් උපයා ගන්නවා.

මේ වෙනුවෙන් වූ ඇති ආදර්ශ කතාවක් ඔබටත් මතක ඇති. තමන්ගේ පියාට නිවසේ තිබෙන බෙලෙක් තැටියක ආහාරපාන දෙන අමුසැමියන් යුවලක් සිටි අතර එක් දිනක් පියාගේ බෙලෙක් තැටිය සොයා ගැනීමට නොහැකි වුණා. අම්මා සහ තාත්තා දෙන්නාම එකතුව පියාගේ පිගාන සොයන විට පුංචි පුතු පිලිතුරු දුන්නේ

”තාත්තා වයසට ගියාම බත් දෙන්න මම සීයාගේ පිගාන අරගෙන තිබ්බා…”

මෙහි වරදක් නැහැ.දරුවා ඉදිරියේ ඔබ දෙමව්පියන්ට සලකන ආකාරය ඔස්සේ  ඇති සිතුවමෙන් ඔහු තමාගේ අනාගතය ගොඩ නගා ගන්නවා. ඒ නිසාම දරුවන් ඔබට හෙට දවසේ සලකන ආකරයත් අද ඔබේ දෙමව්පියන්ට  ඔබ සලකන ආකරය මත රදා පවතිනු ඇත.

ඇහේ මුහුණේ තියාගෙන හැදුව දරුවන් අද ඇහැක් ඇරලා බලන්නේ නැහැ..

අපි සාමාන්‍යයෙන් කියන්නේ දරුවන්ට දෙමව්පියන්ගේ ආදරය,ආරක්ෂාව ලැබුන විට ඔවුන් අනාගතයේදී දෙමව්පියන් සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නා බවයි. එහෙත් දෙමව්පියන් මේ සියල්ල ලබා දුන්නත් අනාගතයේදී දෙමව්පියන්ට නොසලකන දරුවන් බිහි නොවෙනවාමත් නොවෙයි ඒ වෙනුවෙන් හේතු කීපයක් බලපානව.

  • නරක ආශ්‍රය
  • අයහපත් ආදර්ශ
  • සාරධර්ම නොමැති වීම
  • ජනමාධ්‍ය මගින් මවන මව්පිය  දූ දරුවන්ගේ ගැටුම්

එසේ නම් ඔබත් හෙට දවසේ වියපත් වැඩිහිටියෙක් බවට පත් වෙනු ඇත. ඔබේ දරුවන්ද  ස්වාධීන ජීවිත ගොඩ නගා ගනු ඇත. මේ තත්වය කිසිසේත්ම වලක්වා ගත නොහැකි සංසිද්ධියක්. එහෙත්.. මේ වෙනුවෙන් දරුවන්ට දොස් නොනගන සහ දෙමව්පියන් මානසිකව කම්පනයට පත් නොවන හෙට දවසක් ගොඩ නැගීමට නම් ඒ වෙනුවෙන් අද දවස සැලසුම් කර ගත යුතුයි.එවිට හෙට දවස ඉතාම යහපත් වෙනු ඇත.

 

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here