ලිංගික අපයෝජකයන් හඳුනාගන්න.. ඔබේ දරුවා බේරාගන්න…

හැම අම්මෙක් තාතත්තෙක්ම හැම නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන්ගේ ජීවිතය එළිය කරන්න. ඒත් සුළු අතපසුවීමකින් හෝ ජීවිතය අදුරුකරන සිදුවීමකට තමන්ගේ නොදරුවාට මුහුණ දෙන්න සිදු වුණොත් ඒ ඛේදනීය සිදුවීමත් එක්ක මුළු ජීවිතයම විනාශයට ඇද දැමිය නොහැකියි. යළිත් කොතනින් හෝ අපි අපේ දරුවනුත් සමගින් නැගී සිටිය යුතුමයි. ඒ වෙනුවෙන් දරුවන්ව ශක්තිමත් කිරීමත් අවශ්‍ය පියවර ගැනීමත් වැඩිහිටි අපගේ යුතුකමක්. ඒ වගේම දරුවන් දෑසේ රුවා රැක ගැනීම ඊටත් වඩා එහා ගිය අපේ වගකීමක් බව නම් අමතක කරන්නම එපා.

අද පවතින සමාජය තුළ අපේ දරුවෝ බොහෝ සෙයින් අනාරක්ෂිතයි. කිසිත් නොදන්නා මල් වගේ පුංචි පැටව් සමාජයට නිරාවරණය කිරීමට පවා දැන් දැන් මව්පියන් බයයි.   ඒ රට වටා සිදුවන ළමා අපයෝජන නිතර නිතර අසන්නට ලැබීම නිසාවෙන්මයි. ඒ කෙසේ වෙතත් අපිට දරුවන් සමාජගත කිරීමෙන් වැළකී සිටිය නොහැකියි. අපි අපේ දරුවන් ආරක්ෂිත වටපාටාවක් තුළ මුදා හැරිය යුතුයි. අන්න ඒ වෙනුවෙන් පළමුව වැඩිහිටි අප දැනුවත් විය යුතුයි. 

ළමා අපයෝජන එහෙමත් නැතිනම් ලිංගික අපයෝජන

මනෝවෛද්‍ය පර්යේෂණවලට අනුව ළමා අපයෝජන, ලිංගික අපයෝජන ලෙස හදුන්වන්නේ වයස අවුරුදු 13ට අඩු එනම් නව යොවුන් වියට එළැඹී නැති දරුවන් ශාරීරිකව හෝ මානසිකව වැඩිහිටි අයෙකු මගික් ලිංගිකව බලපෑමට ලක්වීමයි. මෙම වයස් සීමාවේ දරුවන් මෙසේ අපයෝජනයට ලක්කරන පිරිස් අතර පුරුෂ පක්ෂය බහුතරයක් ලෙසත් සුළුකරයක් කාන්තාවන් සිටීමත් දැකිය හැකියි. මේ තත්ත්වය මත දරුවෙකුට සමාජයේ හමුවෙන කිසිම අවස්ථාවක් ආරක්ෂතයි යන නිගමනය එලැඹෙන්න මව්පියන්ට හැකියාවක් නැහැ.

ළමා ලිංගික අපයෝජකයන් කියන්නේ කවුද?

ඇත්තටම කිව්වොත් මෙය මානසික රෝග තත්ත්වයක් ලෙස නම් කිරීමේ වරදක් නැහැ. මොවුන්ගෙන් එක්තරා කොටසක් පැරාෆිලික් තත්ත්වයේ (Paraphilic disorder) එක කාණ්ඩයක් වන පීඩර් යිල්ස් ලෙස හදුන්වනවා. පීඩෝෆිළියා තත්ත්වය (Paedophilia), පැරාෆිලික් තත්ත්වයට (Paraphilic disorder) අයිති කොටසක්. සාමාන්‍යයෙන් වැඩිහිටි දෙදෙනෙක් අතර ලිංගික උත්තේජනයක්/සම්බන්ධයක් සාමාන්‍ය තත්ත්වයක් ලෙස අපි සලකනවා. එයට බාහිරව වෙනත් තත්ත්ව මත ලිංගික උත්තේජනයට පත්වීම පැරාෆිලික් තත්ත්වය (Paraphilic disorder)  යයි. මෙතැනදි වෙනත් වැඩිහිටියෙකු කෙරේ ඇති වෙන ලිංගික උත්තේජනයකට වඩා දරුවන් කෙරේ ලිංගික උත්තේජනයක් ඇති වීමේ තත්ත්වය පීඩෝෆිළියා තත්ත්වය (Paedophilia) ලෙස හඳුන්වනවා. මේ තත්ත්වය මත මෙවැනි පුද්ගලයන්ට කුඩා දරුවන් ගොදුරු වෙනවා.

මනෝ වෛද්‍ය පර්යේෂණවලින් හඳුනා ගත් පරිදි මොවුන්,

  • සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන අතරම මත්ද්‍රව්‍ය ගැනීමෙන් පසුව යම් අවස්ථාවක් උදා වුවහොත් දරුවන් ගොදුරු කරගන්නවා
  • සමාජයෙන් වෙන්ව තනිව වෙසෙන, සමාජීය සබඳතා පවත්වාගැනීමට අපහසු නිසාත් වැඩිහිටියන් හා සම්බන්ධ වීමට‍ හැකියාවක් නොමැතිකම මත දරුවන් ගොදුරු කරගන්නවා
  • සමාජ විරෝධී පෞරුෂත්ව ඇති මොවුන් ආවේගශීලී ලෙස දරුවන් ගොදුරු කරගන්නවා

ළමා ලිංගික අපයෝජනයක ප්‍රතිවිපාක මොනවාද?

ලිංගික අපයෝජනයකට ලක් වූ දරුවෙකුට මුහුණ දීමට සිදුවන හිරි හැර මත ඇති වන ශාරීරික ප්‍රතිවිපාකවලට අමතරව කෙටි කාලීන මෙන්ම දිගු කාලීන  මනෝ වික්ෂිප්තභාවයන් ඇති විය හැකියි. මේ අවස්ථාවේදී නිසි මනෝ වෛද්‍ය උපදෙස් දරුවාට නොලැබුණහොත්, කෙටි කාලීනව බිය/මානසික පීඩනය/අවිශ්වාසය වැනි තත්තවයන්ද ඉන් ඉදිරියටත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් දිගු කාලීනව නව යොවුන් මෙන්ම වැඩිහිටිවියේදීත් විෂාදය/ මනෝ කම්පන තත්ත්ව/සාංකාව වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය.

ලිංගික අපයෝජනයට ලක් වූ දරුවෙක්ට ප්‍රතිකාර කිරීමේදී දෙමාපියන්ගේ මෙන්ම දරුවාගේ මානසික තත්ත්වයට මුල් තැන දෙමින්,

  1. ශාරීරික ගැටලු පිළබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කරයි
  2. අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය කරුණු ගොනු කරයි
  3. ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් මනෝමීය ප්‍රතිකාර ලබාදෙයි

මූලිකව එවැනි දරුවෙකු පැමිණි විට ඔහුට/ඇයට මනෝමීය ගැටලු ඇත්දැයි පරීක්ෂා කරයි. ඒ සඳහා කතා කිරීම/චිත්‍ර ඇඳීම/ගී ගැයීම/ක්‍රීඩා කිරීම වගේම දෙමාපියන් සමග සාකච්ඡා කොට කරුණු සොයා ගනියි. ඉන් අනතුරුව යම් දරුවෙකුහට විශේෂඥ ප්‍රතිචාර අවශ්‍ය නම් මූලිකය මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක් ‍යොදාගනී. ඒ සඳහා trauma based cognitive behavioral ප්‍රතිකාර ක්‍රමය යොදා ගනී.

Trauma based cognitive behavioral therapy 

අපයෝජනයට ලක්වුණු දරුවෙකුගේ එම සිද්ධිය හා සම්බන්ධ මනෝ කම්පන තත්ත්වයත් හා බැදුණු සිතුවිලි හැඟීම් හා හැසිරීම වෙනස් කිරීම මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සිදු කෙරේ. මෙය මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකු අතින් සිදුවිය යුත්තකි. ඒ සඳහා එම විශේෂඥ වෛද්‍යවරයා සුදුසුකම් සැපිරූ පලපුරුදු අයෙකු විය යුතුය. Trauma based cognitive behavioral ප්‍රතිකාර ක්‍රමයේදී, දරුවා දැන් පත්ව සිටින පීඩාකාරී තත්ත්වය ඉන් එහාට යාමක් සිදුනොවිය යුතුය. බලෙන් තොරතුරු ලබා නොගත යුතුය.

මව්පියන් ලෙස ඔබ සැමවිටම,

ඔබේ දරුවාට උනන්දුවෙන් සවන් දෙන්න. යම් අපයෝජනයකට ලක්ව ඇති බවට සැක මතුවුවහොත් වහාම ළඟම ඇති රෝහලට දරුවාව රැගෙන යන්න. එවිට දරුවා පරීක්ෂා කිරීමත් එවැනක් තහවුරු වුවහොත් අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමත් සිදු කරයි. තහවුරු වීමෙන් පසුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් යොමු කිරීමට දෙමාපියන් වශනේ ඔබට හැකියාව ලැබේ. 

දරුවෙකු ලිංගික අපයෝජනයකට ලක් වුව හොත් දෙමාපියන්/ගුරුවරුන් ලෙස ඔබ කළ යුත් දේ

  • කොතරම් නොසන්සුන්, ‍කෝප ගැන්වෙන අවස්ථාවක් වුවත් දරුවාගේ මනෝබාවය රැක ගැනීම අත්‍යවශ්‍ය නිසා ඔබ කලබල නොවිය යුතුය
  • මෙවැනි සිදුවීමකින් පසුව මනෝමීය සංකූලතා ඇති විය හැකි බැවින් සිදුවීම සඟවා සිටීමට හෝ කල්ගත කර විසඳුම් සෙවීමට නොසිතිය යුතුය. මෙවැන්නක් දැනප ගතහොත් ඒ පිළිබඳ වාර්තා කිරීම ඔබේ යුතුකමකි
  • අවශ්‍ය අංශවල තොරතුරු නිවැරදිව ලබාදීම අත්‍යවශ්‍යය
  • මෙවැනි අවස්ථාවකදී දෙමාපියන්/ ගුරුවරු/වෛද්‍යවරු එකම කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුය

ළමා අපයෝජකයන්, නිවස, පාසැල අසල හෝ තුළ සිටය හැකිය. එසේම දරුවන් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි රුකියාවල (ගුරුවරු, පාසැල් බස් රියේ රියැදුරු) නිරත වේ. ‍මනෝ විද්‍යාත්මක පර්යේෂණවලට අනුව මෙවැනි අපයෝජකයන් දරුවන් හොඳින් හඳුනන ළගින් ඇසුරු කරන්නන් බව හෙලි වී ඇත.

 

මෙවැනි අපයෝජකයන් දරුවන් සමග සම්බන්ධතාවයක් ගොඩ නඟා ගනිමින් මිත්‍රත්වයක් අරඹයි. දරුවන් කැමති යමක් ත්‍යාග ලෙස ලබා දේ. මෙතැනින් නොනැවතී ඉදිරියට ගමන් කරයි. දරුවෙකුට සිතා ගත නොහැකි ආකාරයෙන් හිරිහැරයක් නොවන ලෙස හිස පිරිමැදීම, අතින් අල්ලා ගැනීම මගින් මොවුන් ආරම්භය සටහන් කරනවා. ඉන් නොනැවතී දරුවන්ට ශාරීරික හිංසනයට අමතරව වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝ/ කෙටි පණිවිඩ යැවීම සිදු කරනවා. හැම දෙමාපියන්ම දරුවන් දුරකතනයේ හෝ පරිගණකයේ හෝ සිටින විට ඔවුන් ඇතුළු වන වෙඩ් අඩවි, පණිවිඩ ආදී සියල් පිළිබඳව සැලකිලිමත් විය යුතුමය. 

මව්පියන් වන ඔබ,

  • දරුවාට උපරිම ආරක්ෂාව ලබා දෙන්න. දරුවන්ගේ ආරක්ෂකයා ඔබම වන්න
  • වයසට සරිලන පරිදි ලිංගිකත්වය පිළිබඳව අවශ්‍ය දැනුම ලබා දෙන්නවයසට අනුතූලව. (දෙමාපියන්/ගුරුවරුන් මගින්)
  • පෙර පාසැල් වියේ සිටම තමන්ගේ සිරුරේ අයිතිය තමාට බව කියා දෙන්න(රූප සහිතව පැහැදිලි කරන්න)
  • එසේ සිදු වූ දරුවෙකු ලැජ්ජාවට පත්කිරීම කොන් කිරීම වැනි දෙයින් වළකින්න (දරුවන් විස්තර කීමට මැලි වීම හේතුවෙන් එවැනි පුද්ගලයන් හඳුනා ගැනීමට තවත් දරුවන් එයින් වළකා ගැනීමටත් නොහැකි විය හැකිය)

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here