- Advertisement -

භෞත චිකිත්සාවේ එන ජල චිකිත්සාව අපේ දරුවන්ට සුදුසුද?

-

අතීතයේදී මෙන් නොව අද වන විට අපේ රට තුළත් භෞත චිකිත්සාව පිළිබඳව විශ්වාසයක් ගොඩනැඟී හමාරය. ඒ ඒ හරහා බොහොමයක් රෝග තත්ත්ව සඳහා විසදුම් හිමි වීමත් සමගය. අනවශ්‍ය ලෙස ඖෂධ ප්‍රතිකාර ලබා ගන්නා ඇතැම් රෝග තත්ත්ව භෞත චිකිත්සාව මගින් සුව කිරීම ඇතැම් විට විස්මය ජනකය. භෞත චිකිත්සාවේ එන ප්‍රතිකාර ක්‍රම එතරම්ම සාර්ථක බව කිව යුතුමය. මේ අත්දැකීම් සමගින් රෝග තත්ත්වයකදී ඉහළ සාර්ථකත්වයක් හිමි ප්‍රතිඵලයක් ලබාදීමට හැකි භෞත චිකිත්සක ප්‍රතිකාර වෙත වැඩිහිටියන් මෙන්ම දරුවන්ද යොමු කිරීම සතුටට කරුණකි. 

භෞත චිකිත්සාවේ එක් එක් ආකාරයේ ප්‍රතිකාර ක්‍රම ඇති අතරම මේ ලිපිය වෙන්වන්නේ , වැදගත් ප‍්‍රතිකාර ප‍්‍රභේදයක් වන ජල චිකිත්සාව (Hydrotherapy) පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. ජල චිකිත්සාව (Hydrotherapy) යනු ලංකාව වැනි රටකට ඉතා සුදුසු ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක ජලය සුලභව ඇත. එය අපට නොමිලේ ලැබේ. ගංගා, ඇල, දොළ, වැව් රට තුල තිබෙන අතර රට වටා මුහුද තිබේ. එබැවින් සුදුසුකම් ලත් භෞත චිකිත්සකයෙකුගේ උපදෙස් පරිදි තමාගේ ඇති  ඕනෑම රෝගයකට ජල චිකිත්සක ප‍්‍රතිකාර ලබාගත හැකිය. ජලය ප‍්‍රතිකාරයක් ලෙස ගැනීමේදී දරුවන් ඉතා උද්යෝගයෙන් එම ප‍්‍රතිකාර ලබා ගනිති. එබැවින් එම ප‍්‍රතිකාරවලින් ඉක්මනින් සුවය ලබාගන්නා අය බොහෝය. ජලය සමග කරන ක‍්‍රීඩා ප‍්‍රතිකාර මනස ප‍්‍රබෝධමත් කරන අතර ආතතියද අඩු කරයි.

- Advertisement -

ජලයේ ඇති උඩුකුරු තෙරපුම මෙම ජල චිකිත්සාවේ භාවිත වන මූලික සිද්ධාන්තයයි. ස්නායු ආබාධ නිසා දෙපා පණ නැති අයට ජල තටාකයක් තුල ජලයේ උඩුකුරු තෙරපුම නිසා ගුරුත්වාකර්ෂණයට එරෙහිව දෙපා එසවිය හැකි බැවින් පහසුවෙන් ඇවිදීමට හැකිය.

සාමාන්‍යයෙන් ජල චිකිත්සාව සඳහා යොදාගන්නා ජල තටාකයේ වතුර ගලන දිශාව විවිධ කෝණ ඔස්සේ වෙනස් කළ හැක. වතුර පහර රෝගියාට වදින දිශාව මෙන්ම වේගය අඩු වැඩි කිරීමට ඒ තුළ උපකරණ ඇත. මෙමගින් දෙපා පණ නැති රෝගියාට දෙපා චලනය කිරීමට අවශ්‍ය ජවය ජලය මගින් ලබාදේ. මෙම ව්‍යායාම ක‍්‍රමය සක‍්‍රීය උදව් ව්‍යායාම (Active assisted exercises) ලෙස හඳුන්වයි. තවද රෝගියාගේ චලනයට විරුද්ධව ද ජල පහර එවීමෙන් රෝගියා එයට එරෙහිව එම චලනය (Resisted exercises) කිරීම නිසා ආදාල පේශී ශක්තිමත් වේ. 

එපමණක් නොව ජල තටාක තුළ පඩි පෙළක් සහ සමාන්තර පොලු ද සවිකර ඇත. පඩි පෙළ නැගීමේදී දෙපා ඉහළට එසවීමට ජලයේ උඩුකුරු තෙරපුම උදව් කරයි. මෙම ජල චිකිත්සාව මගින් ඉතා ඉක්මණින් රෝගියා නැවත යථා තත්ත්වයට පත් කළ හැක.

සාමාන්‍යයෙන් ජල චිකිත්සක ප‍්‍රතිකාර ලබාදීමට ප‍්‍රථම භෞත චිකිත්සකවරුන් විසින් රෝගියා ඇගයීමකට ලක් කර රෝගියාගේ පේශී වර්ගීකරණයක් කරනු ලබයි. මෙම පේශී වර්ගීකරණයට අනුව 3 වන ශ්‍රේණියට පේශිය පැමිණ ඇත්නම් පමණක් ජල චිකිත්සක ප‍්‍රතිකාර වලට යොමු කරනු ලබයි.

 

වර්ගීකරණය නම්

1 වන ශ්‍රේණිය – පේශියේ කිසිම සංකෝචනයක් සිදු නොවේ.

2 වන ශ්‍රේණිය – පේශිය සුළු වශයෙන් සංකෝචනය වේ. නමුත් කිසිදු වලනයක් සිදු නොවේ.

3 වන ශ්‍රේණිය – පේශිය සංකෝචනය වන නමුත් චලනය කළ හැක්කේ පොළවට සමාන්තර තලයක පමණි.

4 වන ශ්‍රේණිය – ගුරුත්වාකර්ෂණයට එරෙහිව වලනය කළ හැකිය.

5 වන ශ්‍රේණිය – බලයකට එරෙහිවද ගුරුත්වාකර්ෂණයට එරෙහිවද චලනය කළ හැක.

6 වන ශ්‍රේණිය – සාමාන්‍ය ශ්‍රේණිය

ආඝාතයකට ලක් වුන සියලූම රෝගීන්ට ජල චිකිත්සාව සඳහා රෝහල් තුළ පහසුකම් නැති වුවත් අප රටේ සෑම ප‍්‍රදේශකයම ගංගා, ඇල, දොළ, වැව් සහ රට වටේට මුහුද ඇත. එබැවින් නිසි භෞත චිකිත්සක උපදෙස් ලබාගෙන තවත් උදව්වට කීප දෙනෙක්ද සමග ආරක්‍ෂා සහිතව රෝගියෙකුට ගංගාවක හෝ මුහුදු වෙරළක මෙම ප‍්‍රතිකාර කරගත හැක.

උදාහරණ ලෙස කලවයේ ඇති පේශිය වන කොඩ්‍රිසෙප් (Quadricep) ශක්තිමත් කිරීමට මුහුදු වෙරළට ගොස් මුහුද දෙසට මුහුණලා ගොඩට එන රැල්ල කකුලට ස්පර්ශ වන විට එයට විරුද්ධව දණහිසෙන් කකුල දිගහැරිය යුතුය. රැල්ලේ වේගය හා ජල ප‍්‍රමාණයේ තීව‍්‍රතාවයට එරෙහිව කකුල දිග හැරීම කොඩ්‍රිසෙන් පේශිය ශක්තිමත් වේ.

එමෙන්ම සක‍්‍රීය උදව් ව්‍යායාමයක් කිරීමට නම් එනම් රෝගියාට දණහිසෙන් කකුල දිග හැරීමට තනිවම නොහැකි නම් මුහුදු වෙරළේ මුහුදට පිටුපා සිටගෙන මුහුදු රැල්ල එන විට එයත් සමග දණහිස දිග හැරීමෙන් එය පහසුවෙන් කළ හැක. එවිට ටික දිනකින් පේශිය ශක්තිමත් වේ.

කැඩුම් බිදුම් හා විකලාංග රෝග තත්ත්වවලදී උදාහරණයක් ලෙස පාදයේ අස්ථියක් භග්න වී ඇති විටද ප්ලාස්ටරයක් දමා සිට එය කපා ඉවත් කළ පසුවද පාදයට බර නොදමා කිහිලිකරු වලින් ඇවිදීමට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති අවස්ථා වලදීද මෙම ජල චිකිත්සක ප‍්‍රතිකාර ලබාගත හැක.

එනම් සාමාන්‍යයෙන් ජල තටාකයක රෝගියාගේ කිහිලි ප‍්‍රදේශය දක්වා ජලය පිරවූ රෝගියා දෙපා වලින් ජලය තුල සිටගෙන සිටියද රෝගියාගේ බරින් 90% ක් රෝගියාට නොදැනේ. මෙම ක‍්‍රමය මගින් කිහිලිකරු නොමැතිව රෝගියාට ජල තටාකය තුල ඇවිදීමට පුහුණු කළ හැක. (Non Weight bearing walking)

එමෙන්ම සමහර අවස්ථාවල වෛද්‍යවරුන් රෝගියාට තමන්ගේ බරෙන් කොටසක් පමණ පයට දමා යන ලෙස අවවාද කරන අතර එවිට රෝගියාගේ උකුල ප‍්‍රදේශය දක්වා ජලය පිරවූ තටාක ඇවිදීමේදී රෝගියාගේ බරෙන් 50% ක් පමණ දෙපා වලට වැටේ. මෙය partial weight bearing walking ලෙස හැඳින්වේ.

 

ආචාර්ය ජාලිය උඩුවැල්ල

භෞත චිකිත්සක අධිකාරී

රිජ්වේ ආර්යා ළමා රෝහල

කොළඹ

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article