- Advertisement -

”ආතතියෙන් තොරව විභාගයට සැරසෙන හැටි” දරුවාට කියවන්න ඉඩ දෙන්න

-

විභාගයකට මුහුණ දෙන දරුවෙක් ඉන්න ගෙදරක වටපිටාව දරුවාට පුංචිම හෝ බාධාවක් නොවෙන විදියට සකස් කරගන්න දෙමාපියෝ වගේම ගෙදර අනෙකුත් සාමාජිකයොත් සැලකිලිමත් වෙනවා. මොකද හොඳ මානාසික ඒකාග්‍රතාවයක් වගේම මානසික නිදහසක් පවත්වා ගන්න ඉගෙනීමට සුදුසු වටපිටාවක් නිවසක තිබිය යුතුයි කියලා අපි කවුරුත් දන්නවා. ඒත් විභාගයකට දරුවෙක් සූදානම් විය යුතු නිවැරදි ආකාර ගැන දැනුවත් බවක් හැම දෙමාපියෙක් තුළම නැහැ.

අද වෙන විට බොහෝ දෙනෙක් බොහොමයක් කරුණු වෙනුවෙන් අන්තර්ජාලයේ පිහිට පතන්න පුරුදු වෙලා. නමුත් අධාපන ක්‍රමවේදයන් පිළිබඳව සලකා බලද්දී බටහිර රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් අපේ රටට උචිත නොවිය හැකියි. වැඩිහිටි අපි ඇතැම් විට දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන්ම වෙන් වුණත් දරුවන්ට ලබා දෙන උපදෙස් නිවැරදිම ඒවා විය නොහැකියි.

- Advertisement -

බටහිර රටවල අධ්‍යාපනය වෙනුවෙන් යොදා ගන්නා විෂය නිර්දේශය, ක්‍රම සහ විධි වගේම විභාග ක්‍රම අපේ රටේ විෂය නිර්දේශයට, විභාග ක්‍රමවලට හාත්පසින්ම වෙනස් විය හැකි අවස්ථා ඇති නිසාම අන්තර්ජාලය ඔස්සේ බටහිර දරුවන්ගේ ක්‍රම අපේ දරුවන් පිට පැටවීම වැඩිහිටි අප කරනා එක් වරදකි. පිටරට දරුවන් විභාග සඳහා සූදානම් වන ආකාරය අපේ රටට සුදුසු නොවිය හැකියි. 

පාඩම් කිරීමේ හැකියාව වුවත් දරුවාගෙන් දරුවාට වෙනස් වේ. එකිනෙකා පාඩම් කරන ක්‍රමය රඳා පවතින්නේ එක් එක් දරුවාගේ අවධානය යොමු කිරීමේ හැකියාව, මතක තබා ගැනිමේ හැකියාව සහ පෞරුෂත්වය මතයි. එසේම පාඩම් කිරීමට යොමු වන කාලයද එසේමය. ඇතැම් දරුවන්ට උදෑසන පාඩම් කිරීම සාර්ථක වුවත් තවත් දරුවෙකුට ඒ වේලාව අසාර්ථක විය හැකියි. මේ සියලු කරුණු සලකා බැලූ කළ විභාගයකට දරුවෙක් සූදානම් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ වැඩිහිටි අපද දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.

කොච්චර පාඩම් කළත් මකත හිටිනේ නැහැ

  • පාඩම් කරුණු කෙටි කාලීනව දිගු කාලයක සිට පුහුණු වීම

අපේ සමහර දරුවෝ විභාගේ ළං වෙලා එක දිගට පාඩම් කරන්න පටන් ගන්නවා. නමුත් ඒ ක්‍රමය එතරම් සාර්ථක ක්‍රමයක් විදියට හඳුන්වන් බැහැ. කොච්චර පාඩම් කරත් අමතක වෙනවා කියන මැසිවිල්ල පාඩම් කිරීමට නිවැරදි ක්‍රමය යොදා නොගන්නා නිසා ඇති විය හැකි තත්ත්වයක් බව මේ ලිපිය අවසානයේදී ඔබට වැටහේවි. 

මූලිකවම සිදු වෙන්නේ පාසැලේ ගුරුවරයා පාඩම කියා දෙන විට දරුවන් එය සාවදානව අසා සිටීමයි. යම් හෙයකින් දරුවාට පාඩම ගැටලු සහගත නම් එය ගුරුවරයාගෙන්ම යාළුවෙකුගෙන් හෝ විමසා නිරාකරණය කරගත යුතුයි. පාඩම හොඳින් වැටහුණු පසු එදිනම හවස් වරුවේ හෝ නැවත පාඩම කියවා බැලීම ඉතාම වැදගත්. ඉන් පසු සුව නින්දකින් පසු හෝ දින කීපයකින් නැවත පාඩම අධ්‍යයනය කිරීමෙන් කෙටි කාලීන මතකයේ රැදී ඇති එය දිගු කාලීන මතකයට ඇතුළු කරගැනීමට හැකියාව ලැබේ.  (පාඩම හරිහැටි නොවැටහුණත් ඇතැම් විට කටපාඩම් කිරීම මගින් මතකයේ රඳවාගත හැකි බව අපේ දරුවන් සිතුවත් යමක් දිගු කාලීන මතකයට ඇතුළත් කරවීමට නම් ඒ පිළිබඳව පූර්ණ අවබෝධයක් තිබිය යුතුමයි. පාඩම් හොඳින් අවබෝධ වුණත් නැවත නැවත අධ්‍යයනය නොකළොත් දිගු කාලීන මතකයට ඇතුළත් කරගත නොහැකි වීමෙන් මතකයෙන් ගිලිහී යාම ඇති ඉඩ කඩ වැඩියි) 

  • එකම පාඩම ක්‍රම කිහිපයකින් මතක තියාගන්න
  1. සවන් දීම

ගුරුවරයා පන්තියේදී කියාදෙන පාඩම සාවදානව අසා සිටිය යුතුය

  1. ලිවීම

පාඩම සඳහා ගුරුවරයා විසින් ලබා දෙන හෝ දරුවා විසින් සකස් කරගන්නා සටහන 

  1. කියවීම

නිවසට පැමිණි පසු නැවත පාඩම කියවීම

 

පාඩම් කිරීමේදී ඉතා වැදගත් මෙන්ම මතකය රඳවා ගන්නා සුවිශේෂී ක්‍රමයක් ලෙස වස්තූන් අවකාශයේ පිහිටා තිබීම (Visual Space Memory) දැක්විය හැකියි.මෙය සුවිශේෂ මතක වර්ගයක් වන අතරම මෙහිදී සිදු වන්නේ පාඩම රූපසටහන් බවට පත් කිරීමයි. පාඩම් කරුණු නැවත මතක් කරමින් වෙනස් කෝණයකින් දැක රූප සටහන් ගොඩ නැගීම මගින් පාඩම මතකයේ රඳවන ප්‍රමාණය වැඩියි. මේ ආකාරයට රූප සටහන් ගොඩනැගීමෙන් පසුකාලීනව රූප සටහන බලද්දි නැවත පාඩම ා පහසුවෙන් මතකයට නැගීමට ඇති ඉඩකඩ වැඩියි.

ආයේ ආයේ පාඩම් කරන්න වෙලාව නැහැ

අද වෙද්දි ඇතැම් දරුවෝ එක විෂයකට එක් අමතර පන්තියකට පමණක් නොවේ අමතර පන්ති කිහිපයට සහභාගී වෙනවා. එතැනදී දරුවන්ට ආයේ ආයේ පාඩමට යොමු වීමට ඇති වෙලාව සීමිතයි තමයි. ඒත් එදා ඉගෙන ගන්න පාඩම ලිපියේ පෙර සඳහන් කළ ආකාරයටම නැවත නැවත අධ්‍යයනය කරන්නට කෙසේ හෝ කාල වේලාවක් වෙන් කර ගත හැකි නම් එය විභාගයට සාර්ථකව මුහුණ දීමට හේතු වෙනවා. අඩුම තරමේ මාතෘකා උපමාතෘකා හෝ කියවා හිතට ගැනීම වැදගත්.

විවිධ පාඩම්වල සංකල්ප අතර සම්බන්ධයක් ඇති කරගැනීම

ඇතැම් විට පාඩම්වල එකිනෙක හා සමාන කරුණු තියෙනවා. පළමු වෙනි පාඩමේ සංකල්පයක් දෙවෙනි පාඩමේ සංකල්පයක් හා සම්බන්ධ විය හැකියි. අන්න ඒ වගේ අවස්ථාවලදී ඒ පාඩම් දෙකම හොඳින් කියවා සංකල්ප සම්බන්ධ කිරීමෙන් ස්ථාවර මතකයක් ගොඩ නඟාගත හැකියි.

කාල සටහනක් ඕනෙමද?

ඔව්… කාලසටහනකට අනුව වැඩ කිරීම සාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතු වනු ඇත.

  • කාලය කළමනාකරණයට

උදාහරණයක් විදියට ගත්තොත් උදෑසන 8 – 9 තෙක් කාලසටහනට අනුව පාඩම් කරන විෂය විද්‍යාව නම් යම් කිසි හේතුවක් නිසා අවධානය පවත්වා ගන්න බැරි වීමෙන් නිසා ඒ පැය මඟහැරුණු දරුවෙක්ට ඊලඟ පැයේදී එනම් 9 – 10 තෙක් අලුත් බලා පොරොත්තුවක් ඇතිව පාඩමට යොමු විය හැකියි. ඒත් කාල සටහනක් නොමැති වීම ඒ පැය කිහිපයම පසුතැවිල්ලෙන් ගත කිරීමට හේතු විය හැකියි. කාල සටහනකට අනුව වැඩ කිරීමෙන් කාලය නිකරුණේ ගත වුණා කියා පසුතැවිලි වීමට සිදු වන්නේ නැහැ.

  • සෑම විෂයකටම නියමිත කාලය වෙන් කිරීමෙන් සෑම විෂයක්ම එක හා සමාන කාලයක් ලැබෙනවා. 
  • බටහිර රටවල මෙන් නොව අපේ රටේ විභාග ක්‍රමය පවතින අකාරයට නම් විෂය කරුණු සියල්ල නොව විභාගයට අවශ්‍ය කරුණු පිළිබඳ පමණක් අවබෝධය තිබීම ප්‍රමාණවත්. අන්න ඒ නිසා කාලසටහනකට අනුව පාඩම කිරීමට යොමු වීම තුළින් එසේ අත්‍යවශ්‍ය කරුණු වෙනුවෙන් කාලය වෙන් කිරවා ගැනීම පහසුයි
  • කාල සටහන මගින් කාලය නිසි පරිදි කළමනාකරණය වන නිසා මානසික ස්ථාවර බව නිදහස වගේම අවධානය එක් අරමුණක පවත්වා ගැනීමට පහසු වේ

 

විභාගය කියන්නේ අපේ ජීවිතය තුළ වැදගත් එකම දෙය නොවේ. විභාගවලින් ජය ලැබීම අපේ ජීවිත පහසු කරවන නමුත් විභාග අසමත් වීම ජීවිතයම අවසන් වූවා යැයි සිතීම කිසිසේත්ම නිවැරදි සිතිවිල්ලක් නම් නොවේ. සමහර දරුවෝ කුඩා කාලයේ සිටම තමන්ගේ සියලු දේ මව්පියන් විසින් කළ නිසා විභාග පිළිබඳ වගකීමත් දෙමාපියන් මතම පැටවීමට උත්සාහ කළත් විභාගවලින් දරුවෙකු ලබන ජය පරාජය දිගු කාලීනව බලපාන්නේ දරුවන්ගේ ජීවිතවලටමයි. විභාගයකින් ජය ලැබීම සතුටක් වනවා සේම ජය නොලැබීමත් ජීවිතය කලකිරවා ගැනීමට හේතුවක් නොවණු ඇත. ඕනෑම පුද්ගලයෙක්ට තමා තුළ පවතින යම් හැකියාවක් ඔප් නංවා ගනිමින් ජීවිතය ජය ගැනීමට හැකියාවක් ඇත.  

විභාගේ අත ළඟ නම් මානසික ආතතිය අවම කරගැනීමට

  • පැය හයකවත් නින්දක් අත්‍යවශ්‍යයි. 

අපේ මොළයේ හිපොකම්පස් නමින් හැඳින්වෙන මතකය පිළිබඳ කොටසේ ක්‍රියාකාරීත්වය නින්ද අවශ්‍ය වෙනවා. කොයිතරම් පාඩම් කළත් කරුණු දිගු කාලීන මතකය තුළ තැම්පත් වීමට නම් නින්ද අවශ්‍යයි. 

    • අවබෝධ කර ගෙන ඇති පාඩම්වලට මුල් තැන දෙන්න (විෂය ඉගෙනීමට නොව විභාගයට සූදානම් වීමට ප්‍රමුඛත්වය දිය යුතු නිසා) 
    • සුපුරුදු පාඩම් විලාසය වගේම වේලාවන් වෙනස් කරන්න එපා
    • සිත සංසුන්ව පවත්වා ගැනීම මගින් මතකය මෙන්න අවධානය රැකගන්න (ආනාපාන සති භාවනාව/සක්මන් භාවනව හෝ සියුම් සන්සුන් සංගීතයකට සවන් දීම)
    •  විභාගයට රැගෙන යා යුතු දේ කල් තියා සූදානම් කරගන්න(පෑන් පැන්සල්/ඇඳුම්/අනෙක් ලියකියවිලි)

 

  • අවසන් වන විෂය හා සම්බන්ධ යහළු යෙහෙළියන් සමග සාකච්ඡා, පිළිතුරු සැපයීම අපහසු වූ ගැටලුකාරී ප්‍රශන පත්‍ර ගැන සිතීම මෙන්ම පිළිතුරු සෙවීම් අනවශ්‍යය (අන්‍යයන්ගේ පිළිතුරු සහ ඔබේ පිළිතුරු වෙනස් වීම නිසා ඇති වන සිත් තැවුල් ඉදිරි විෂයන්ට නිසි ලෙස මුහුණ දීමට බාධා විය හැක) 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article