සනුකගේ තරහ පාලනය කරන්න ඩොක්ටර් දීපු උපදෙස් මාලාව

සනුක පොඩ්ඩක් ඇත්නම් තරහා ගන්න දරුවෙක්. පාසලෙනුත් හරියට පැමිණිලි. එයාට දැන් දැන් ඉන්න යාළුවොත් නැති වෙන පාටයි. ගෙදරදි නංගී, අක්කා එක්ක වුණත් පුංචි දේටත් සනුක කෝප ගැන්වෙනවා. සනුකට තරහා ගියාම කරන වැඩවලට එයාගේ අම්මාට තාත්තාටත් බොහොම තරහා යනවා. ඉතිං මුළු ගෙදරම එකම යුධපිටියක් වගේ වෙන දවසුත් තියෙනවා. සනුක ගැන තරහ ගියාම සනුකගේ හැසිරීම ගැන ලොකු කණගාටුවක් අම්මාට දැනුනත් අම්මටත් එන තරහට ගුටියක් දෙකක් නම් වැදෙනවාමයි. ඒත් රෑට නිදාගෙන ඉන්න සනුකගේ මූන ඉඹින අම්මාගේ ඇස්වල කදුළු පිරෙනවා. ඒත් මේකට මොකද්ද කරන්නේ කියලා අම්මාටත් ලොකු දැනීමක් නම් නැහැ.

ඔය අතරෙදි තමයි සනුකගේ පන්තියේ ගුරුතුමියෙන් පණිවිඩයක් ආවේ ඇවිත් මුණ ගැහෙන්න කියලා. පාසැලට ගියාට පස්සේ අහන්න ලැබුණු විස්තර එක්ක සනුකට මොකක් නමුත් අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවද කියලා අම්මටත් සැකයක් ඇති වුණා. 

ගුරුතුමිය කිව්ව විදියට සනුක බොහොම හොඳ දරුවෙක් තමයි. ඒත් එයාගේ කෝපය අසාමාන්‍යද කියලා සැකයක් ඇයටත් ඇති වෙලා තියෙනවා.ඇයටත් ඕනේ වුණේ සනුකට උදව් කරන්න බව තේරුම් ගිය අම්මා ඇගේ වචන සියල්ල හොදින් අසා සිටියා. 

අපි වෛද්‍යවරයෙක් හමුවෙමු. මුලින්ම සනුකව එක්ක යන්න ඕනේ නැහැ. අපි සනුකගේ තත්ත්වය වෛද්‍යවරයාට පැහැදිලි කරලා උපදෙසක් ගනිමු. ගුරුතුමියගේ අදහසට සනුකගේ අම්මා එකඟ වුණේ මේ තත්ත්වය එන්න එන්න වැඩි වුණොත් කියන බයත් ඇගේ සිත තුළ තිබුණු නිසයි. සනුකගේ මව ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙලා තොරතුරු විමසුවා. ඇය සමග සනුකගේ ගුරුවරියත් පැමිණීම මිල කළ නොහැකි උපකාරයක් වුණේ පාසැල තුළදී සනුකගේ හැසිරීම ඇය හොඳින් දන්නා නිසාත් ඒ කරුණු සනුකට යම් ආබාධ තත්ත්වයක් ඇත්නම් නිරාකරණය කරගැනීමට පහසු වන නිසාත්ය. 

ඩොක්ටර්, මේ මගේ පන්තියේ දරුවෙක්ගේ අම්මා කෙනෙක්. ඒ දරුවාට හරියට තරහා යනවා. අපි ඔහු වෙනුවෙන් කරන්න ඕනේ මොනවද?

ඇත්තටම කිව්වොත් තරහා යනවා කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය හැඟීමක්. ඒක දුක සතුට කියන හැගීම් හා සමානයි. නමුත් ඒ දරුවාගේ තරහා තවත් අයෙකුට හිරිහැරයක් එහෙමත් නැත්නම් එයාගේම අධ්‍යාපනයට හෝ දින චර්යාවට බාධාවක් නම් ඒක අසාමාන්‍ය තත්ත්වයක්. තව විදියකින් කිව්වොත් හිතේ ඇති යම් මානසික ගැටලුවක් ඉස්මතු වෙනවා නම් හෝ අකටයුත්තක්, දැරුණු අත්දැකීමක් හෝ අත්ම ශක්තිය හීන වීමක් පෙන්වනවා නම් ඒ තත්ත්වයත් අසාමාන්‍යයි.

ඒත් සනුක පුංචි දරුවෙක්… ඒ වගේ දරුවෙක්ට අසාමාන්‍ය තරහක් ඇති වෙන්න පුළුවන්ද?

ඔව්.. තරහා යන්න හේතු වන කාරණා කිහිපයක් තියෙනවා.

  • ජීව විද්‍යාත්මක සාධක
  • මානෝ විද්‍යාත්මක සාධක
  • සමාජ විද්‍යාත්මක සාධක විදියට අපිට ඒ කරුණු වෙන් කරන්න පුළුවන්.

ජීව විද්‍යාත්මක සාධක කියන්නේ අපේ මොළය සැකසී ඇති ආකාරය අනුව ඒ කියන්නේ මොළයේ ස්නායු ජාලාවල වැඩ කරන ස්නායු සම්ප්‍රේෂකවල ඉහළ පහළ යෑමේ අසමතුලිතතාවය නිසා යමෙක්ට තරහා යන්න පුළුවන්.

උදාහරණයක් විදියට ගත්තොත් සමහර දරුවන්ගේ අවධානය සම්බන්ධ ස්නායු ජාලාවල ගැටලු නිසා ආවේග ශීලී විය හැකියි. එවිට පුංචි දේටත් කෝප ගැන්වෙන මේ දරුවෝ අවදානම නොතකා ඇති විය හැකි ප්‍රතිඵලය නොසලකා කටයුතු කරනවා.

මනෝ විද්‍යාත්මක සාධක විදියට ස්වඅභිමානය හීන වීම, ආත්ම ශක්තිය අඩු වීම නිසා එවැනි දරුවෝ විහිළු තහළු, අසාධාරණකම් ඉවසන්නේ නැහැ. ආත්ම ශක්තිය අඩු නිසා පුංචි දේටත් හිත රිදෙන්න පුළුවන්.

සමාජ විද්‍යාත්මක සාධක කියන්නේ දරුවා ඉන්න පරිසරය කිසිම පාලනයක් නැති, වෙනස් වෙන, අපිළිවෙළ තැනක් නම් ඒ වගේම පරිසරයෙන් දරුවාට යම් යම් හිරි හැර සිදු වෙනවා නම් හෝ හිරිහැර කරන අය දරුවාගේ වටපිටිවේ ඉන්නවා නම් එවැනි සමාජයක් හමුවේත් දරුවෙක් කෝප ගැන්විය හැකියි.

ඉතිං ඩොක්ටර් අපි දැන් මොකද අපේ දරුවට කරන්නේ,

  • ඔබේ ගෙදර ප්‍රචණ්ඩත්වයෙන් තොර විය යුතුයි

දරුවා තරහා ගත්තම අපිත් තරහ අරගෙන හරියන්නේ නෑ. තරහට විසදුම තරහම නෙවෙයි. ඒක වැරදි ආදර්ශයක්. ගෙදර පරිසරය එහෙම වුනොත් දරුවාගේ හිතේ දරුණු ප්‍රතිරූප තැම්පත් වෙනවා. දරුවා වැඩිහිටි වියට පත් වුණාම එයා ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙක් විය හැකියි.

  • පැහැදිලි දින චර්යාවක් ඇති කර ගත යුතුයි

පැහැදිලි දින චර්යාවක් මගින් දරුවෙක්ගේ හිතේ ව්‍යූහාත්මකව සංවිධානාත්මකව වැඩ කරන්න පටන් ගන්න නිසා කෝප ගැන්වෙන්න තියෙන අවස්ථාව අඩුයි. මව්පියන් විදියට අපි දැනගන්න ඕනේ දරුවෙක්ට චිත්‍ර අඳින්න කිව්වම එයා ඒක නොකර සෙල්ලම් කරනවා නම් ඒ වගේ දේවල්වලට තරහ නොගෙන ඉන්න. 

  • දරුවා එක්ක තරහ ගන්න එපා

දරුවන්ට තරහා ගියාම දෙමාපියන්ටත් තරහ යනවා. මීට පෙරත් මම කිව්වා දරුවට තරහ ගියාම අපිත් තරහ අරන් හරියන්නේ නැහැ කියලා. මොකද දරුවෙක්ට තරහ ගිහින් කියන්නේ එයාගේ හැඟීම් මොළය ප්‍රබල වෙලා කියන එක. අපිට තරහ ගියොත් අපිට වෙන්නේත් ඒකමයි. අපෙත් හැඟීම් උත්සන්න වෙනවා. එතකොට දරුවට වටින කියන ප්‍රයෝජනවත් දෙයක් එයාගේ මනසට එකතු කරන්න අපිට බැරි වෙනවා. ඒ නිසා දරුවා තරහෙන් ඉන්නවා නම් එයාව මගහරින්න. ඒත් එයාගේ ආරක්ෂාව ගැන වගකීම සිහියේ තබාගන්න. 

  • දරුවා පාලනය වුනාම හොඳ නරක කියා දෙන්න

හොඳ නරක ගැන අවබෝධයක් ලබා දෙන්න දරුවා තරහින් ඉන්න වෙලාවක් තෝරා ගන්න එපා. ඒක අසාර්ථකයි. හැම දරුවෙක්ම එක වගේ නෑ. ඒ වගේම දෙමාපියන්ගේ පිළිවෙළ දරුවන් තුළ නොතිබෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපේ පෞරුෂත්වය මත ඉඳලා දරුවෙක්ට උපදෙස් දීම අසාර්ථකයි. ඒ වගේම හෙඳ නරක කියා දිය යුත්තේ දරුවන්ගේ වයසට පෞරුෂයට ගැලපෙන විදියටයි.

ඩොක්ටර් මේ දරුවන්ට ඉවසීම පුරුදු කරන්න බැරිද?

ඇයි බැරි, දරුවන්ට ඉවසීම පුරුදු කරන්න ක්‍රම දෙකක් යොදාගන්න පුළුවන්. ඒ මෙන්න මේ විදියට

  1. කෙටි කාලීනව තරහ ගිය විට  යොදා ගන්නා ක්‍රම 5
  2. තරහ නොගිය වෙලාවට වුවත් කළ යුතු තරහ ඇති වීම දිගු කාලීනව පාලනය කරන ක්‍රම 5

කෙටි කාලීනව තරහ ගිය විට  යොදා ගන්නා ක්‍රම 5

මෙම ක්‍රම 5 ඉංග්‍රීසි හෝඩියේ මුල් අකුරු පහෙන් මතක තියා ගන්න පුළුවන්.

A – Awareness – දැනුවත් වීම

  • ශාරීරික වෙනස් කම්

හිසේ වේදනාව, වේගයෙන් හුස්ම ගැනීම, මස්පිඬු දරදුඬු වීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා නම් දරුවා කෝප ගැන්වී ඇති බව වටහා ගෙන කෝපය අඩු කිරීමට උපක්‍රම යෙදිය යුතුයි.

  • මානසිකව ඇති වන වෙනස්කම්

කලබලයට පත් වීම, සිත් තැවුලෙන් සිටීම වැන ලක්ෂණ පිළිබඳව දැනුවත් විය යුතුය. දරුවා සමග කතා කොට සන්සුන් කිරීමට උත්සාහ කරන්න.

B – Breathing –  හුස්ම ගැනීම

ගැඹුරු හුස්ම ගැනීම මගින් කෝපය පාලනය කරරීම

C – Counting  – ගණන් කිරීම

කෝපය පාලනය කිරීමට බිංදුවේ සිට දහයටත් සහයේ සිට බිංදුවටත් ගණන් කරන්න.

(B + C ) – ගැඹුරු හුස්මත් සමගම ගණන් කිරීම ද කෝපය පාලනයට සහය වන ක්‍රමයකි)

D – Distance – ඉවතට යාම

දරුවා කෝප ගැන්වෙන හේතුව, ස්ථානය, පුද්ගලයාගෙන් ඉවත් වීම කෝපය පාලනයට උදව් වේ

E – Express  – හැඟීම් පිට කිරීම

හැඟීම් වචන වලට හරවා පිට කිරීමට දරුවාට අවස්ථාව දෙන්න. දරුවාට හිතුණු දේ දැණුනු දේ ගැන ආදරනේ විමසන්න

තරහ නොගිය වෙලාවට වුවත් කළ යුතු තරහ ඇති වීම පාලනය කරන දිගු කාලීන ක්‍රම 5

A – Adult behavior – වැඩිහිටි ඔබේ හැසිරීම

ඔබේ හැසිරීම ප්‍රචණ්ඩකාරී නොවිය යුතුයි. ඔබ තරහව ඉවත් කළ යුතුයි. කරහා ගත්තාම ඕනේ දෙයක් කරගන්න පුළුවන් කියන සිතුවිල්ල දරුවන් තුළ ඇති වන්නේ ඔබ තරහවෙන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙනු දුටු විටයි. 

B – Believe in self – ආත්ම විශ්වාසය වඩවා ගන්න

පුංචි දේටත් ඉවසීම නැතිව කෝප ගැන්වෙන්නේ ආත්ම ශක්තිය දුර්වල පිරිස්. ඒ නිසා දරුවෙකුගේ ආත්ම ශක්තිය වර්ධනය කිරීමට කටයුත් කළ යුතුයි. ඒ සඳහා මනෝ වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි.

C –  Coping Skills දරා ගැනීමේ හැකියාව වර්ධනය කරන්න

යම් මානසික ආතතියකට ඔරොත්තු දීමේ හැකියාව හා එම හැකියාව වර්ධනය කිරීමට දරුවාට සහය වෙන්න. පීඩනයක් ඇති වූ විට කෝප ගැන්වෙනවා නම් ඒ කියන්නේ පීඩාවකට ඔරොත්තු දීමේ හැකියාවක් දරුවා තුළ නැති බවයි. අන්න ඒ නිසාම දරුවාට ගැටලු නිරාකරණය කිරීමේ න්‍යායයන් පිළිබඳ අවබෝධ කරවිය යුතුයි. එය දිගුකාලීනව පුහුණු වීම මගින් කෝප ගැන්වීම අවම කරගන්නට විශාල සහයෝගයක් වේ.

D – Deep Breathing – ගැඹුරු හුස්ම 

ආනාපානසති භාවනාව වැනි ක්‍රම මගින් අපේ හුස්ම ගැන සිහිය පිහිට වීම මෙන්ම දිගු කාලීනව මනස සන්සුන් වන මනෝ චිකිත්සක ක්‍රමවලින් ඉවසීම ප්‍රගුණ කළ හැකියි.

E – Emotional understanding – භාවාත්මක අවබෝධය

තමන්ට මෙන්ම අන් අයටත් තරහාව දුක වේදනාව වැනි හැඟීම් ඇති බව දරුවා එක්ක යෙදෙන සංවාදවලදී වටහා දීමට උත්සාහ කළ යුතුය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here