වැඩිහිටියන්ට පමණක් දර්ශන නව යොවුන් වියට නුසුදුසු මේ නිසයි

ඔබේ දුව පුතා මේ වෙද්දී නව යොවුන් වියේ සිටින දරු දැරියන් විය හැකියි. ඔබ ඔවුන් ගැන නිතර විමසිල්ලේන් සිටින බව අප විශ්වාස කරනවා. නව යොවුන් විය කියන්නේ බොහොම කුතුහලයෙන් ගත කරන කාලසීමාවක්. 

මේ වයස් සීමාවේදී දරුවන්ගේ සිරුරේ සිදුවන ජීව විද්‍යාත්මක වෙනස් කම් මෙයට හේතුවක්. උදාහරණයක් විදියට පිරිමි දරුවන්නේ සිරුරේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය වැඩිවීම නිසා ලිංගික කටයුතුවලට ඇති ආවේගශීලී පෙළඹ වීම මෙවැනි තත්ත්වයන්ට හේතු විය හැකියි.

ඒ වගේම පාරිසරික සාධක ඒ කියන්නේ දරුවා සිටින වටපිටාවෙන් ලැබෙන සාමාජීය සාධක නිසාත් යම් පෙළඹවීමක් ඇති විය හැකියි. මෙතැනදී ජීව විද්‍යාත්මක සාධක කෙසේ හෝ පාලනය කරගත්තත් දරුවන්ගේ යහළුවන්ගෙන් ඔවුන්ගෙන් වටපිටාවෙන් ඇතිවන සාදක එනම් සමාජ විද්‍යාත්මක සාධක පාලනය කිරීමට යම් වෙහෙසක් දැරීමට සිදු වනු ඇත.

නව යොවුන් වියේ දරුවන් වැඩිහිටියන්ට පමණක් දර්ශන නැරඹීම නුසුදුසු ඇයි? 

ඔබේ දරුවා නව යොවුන් වයසට එළැඹුණත් දරුවාගේ වයස ගත් කළ මොළයේ සිදු වී ඇති වර්ධනයේ ප්‍රමාණය ලිංගික ක්‍රියාවලියක් දුටුවහොත් නිවැරදිව එය වටහා ගැනීමට සංවර්ධනය වී නොමැත. මානසික පරිණත බවකින් තොරව එවැනි දර්ශනයක් දැකීම වැරදි අවබෝධයක් ඇති වීමට හේතු විය හැකිය. 

අන්තර්ජාල වීඩියෝ වල දිගහැරෙන එවැනි ලිංගික සම්බන්ධතා දකින දරුවෙක් අප ජීවත් වන පරිසරය තුළ එනම් සැබෑ ලෝකයේත් මේ ආකරෙයේ ලෙස සිතන්නට පෙළඹිය හැකියි. නව යොවුන් විය පා තැබුවත් මෙවැනි වීඩියෝ දර්ශන නිර්මාණ බවත් ඒවායේ සිටින්නේ නළු නිළියන් බවත් ඔවුන් පුහුණු වූ පිරිස් බවත් මේ දරුවන් නොදනී. මානසික පරිණත බවකින් තොරව දරුවන් මෙවැනි දේ දැකීම හේතුවෙන් දරුවන්ගේ මනසට කා වැදෙන්නේ කාන්තා හා පුරුෂ පාර්හවය අතර ඇති බැඳීම්වල කිසිදු වටිනාකමක් නොමැති බවකි. අඹු සැමි යුවළක් එකි නෙකා කෙරෙහි දක්වන විශ්වාස, ගෞරවය, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම වැන් සංසිද්ධීන් ගැන අවබෝධයක් එවැනි දරුවන් හඳුනා නොගනී. මෙවැනි මානසිකත්වයක් තුළ දරුවෙක් වැඩිහිටි වූ විට බැඳීමකින් බලාපොරොත්තු වන්නේ ලිංගික කාර්යයන් පමණක් විය හැකි අතරම මානුෂීය වෙනත් බැඳීම් නොමැතිකම හේතුවෙන් සමාජ සබඳතා මෙන්ම පවුල් ජීවිතද බිඳ වැටී යා හැකියි.

මෙවැනි වීඩියෝවල කාන්තාවට හිමි තැන, පෞද්ගලිකත්වයට ගරු කිරීම, ගෞරවය, රැකවරණය, ආදරය වැනි බැඳීම් නොදකින නිසාම ඒවා නරඹන නව යොවුන් වියේ පිරිමි දරුවන් වැඩිහිටි වියට පා තැබූ විට කාන්තාවන්ට ගරු කිරීම, අන්‍යොන්‍ය සුහදත්වය රැකගැනීම, ගෞරව නොකිරීම මෙන්ම ප්‍රචණ්ඩත්වයට නැඹුරු වූ පිරිස් බවට පත් විය හැකිය. 

නව යොවුන් වියේ දරුවන් මෙවැනි වීඩියො දර්ශන නැරඹීමේදී මොළයේ පිහිටි රිවෝඩ් පාත්වේ ස්නායු ජාලය මගින් ඩොපමින් නම් වූ ස්නායු සම්ප්‍රේෂකය අධිකව උත්තේජනය වීම නිසා මානසික පරිණත බව නැති මෙවැනි දරුවන් තුළ සැබෑ ලෝකය තුළ කළ යුතු දේ කෙරේ ඇති ඇල්ම නැතිවිය හැකියි. උදාහරණ  විදියට ඉගෙනීම , ක්‍රීඩාව, දෙමාපියන් එක්ක කාලය ගත කිරීම වැනි දේ මූලිකව දැක්විය හැකියි.

ඩොපමින් අනවශ්‍ය ලෙස උත්තේජනය වීම නිසා දරුවන් ලබා ගත යුතු ජයග්‍රහණ ගැන උනන්දුව හීන වී යයි. මානසික ඒකාග්‍රතාවය බිඳ වැටීම, කම්මැලිකම, මතකය අඩු වීම, අවධානය අඩු වීම වැනි ලක්ෂණ මෙවැනි දරුවන් පෙන්වයි. විභාග අසමත් වීමට මේ තත්ත්වය හේතු වෙනවා. මන්ද අවශ්‍ය දේ කෙරේ අවධානය රඳවා ගැනීමට නොහැකි වීම හෝ අවධානය රඳවා ගත්තත් අධ්‍යාපන කටයුතු කෙටි කාලීන මතකයෙන්  දිගු කාලීන මතකය තෙක් හොඳින් සම්ප්‍රේෂණය නොවීම නිසා ලකුණු අඩු වීම විභාග අසමත් වීම සිදු විය හැකියි. මෙවැනි දරුවන් දෙමාපියන්ගෙන් තමන්ගේ දේ සඟවා ගැනීමට බොරු කීමට පටන් ගන්නවා. මේ තත්ත්වය විෂාදය තෙක් වුවද වර්ධනය වීමට ඉඩ කඩ ඇත. ‍

මෙවැනි තත්ත්වයකදී කළ යුත්තේ කුමක්ද?

  • දරුවන් සමග මනා බැඳීමක් ඇති කරගන්න

දෙමාපියන් සහ දරුවන් අතර මනා සම්බන්ධතාවයක් පැවතීම ඉතා වැදගත් වන්නේ මෙවැනි තත්ත්වයන් මැඩ පවත්වා ගැනීමටයි. වයසට සුදුසු පරිදි තම දරුවාට ලිංගික දැනුම ලබා දීම එවැනි සබඳතාවයක් පවත්වා ගෙන යන දෙමාපයින්ට පහසු කටයුත්තකි. මන්ද විශ්වසනීය සමීප වැඩිහිටියන් හරහා එම දැනුම දරුවාට නොලැබුණොත් කුතුහලයෙන් ගෙවෙන මේ නව යොවුන් වියේදී ඔවුන්ට අවශ්‍ය කරුණු අන්තර්ජාලයෙන් හෝ යහළු යෙහෙළියන්ගෙන් හෝ වෙනත් වැඩිහිටි පිරිස් වෙතින් දැනගැනීමට ඔවුන් පෙළඹේ. ඒ හරහා නිවැරදිම දැනුවත් බව නොලැබීම සැබවින්ම ගැටලුකාරී වේ. මන්ද ඔවුන් ද නිසි දැනුමක් නොමැතිව ලබාදෙන තොරතුරු සබෑ ජීවිතය සමග ගත්කළ නිවැරදි නොවිය හැකියි.

  • අන්තර්ජාලය භාවිතයේදී විශේෂ ආරක්ෂිත උපක්‍රම භාවිත කරන්න 

දරුවා භාවිත කරන පරිගණකය සැටම පෙනෙන ස්ථානයක තැබීම මගින් දරුවා එය භාවිත කිරීමේදී තිරය මත ඇති දේ අපේ ද ඇස ගැටෙනවා. අත්දකින දේ දරුවා සමග සාකච්ඡා කිරීමටත් අනවශ්‍ය දේ වෙත යොමු වීමට පෙර අවශ්‍ය දැනුවත් බව ලබා දී අවබෝධ කිරීම ඉතා වැදගත්ය.

  • අවශ්‍ය නම් මනෝ වෛද්‍ය උපදෙස් ලබාගන්න

ඔබේ දරුවා මෙවැනි දේ කෙරේ යොමු වී පාලනය කර ගත නොහැකි හෝ විෂාදය වැනි ලක්ෂන පෙන්නුම් කරයි නම් ළඟම ඇති රජයේ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයට ගොස් උපදෙස් ලබාගන්න.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here