දරුවන්ගේ මනස කොවිඩ් භීතිකාවේ ගොදුරක් කළ යුතු නැත.

අපේ සමාජයේ පුංචිම ඒකකය පවුලයි.පවුලක සතුට,සාමය දරුවන්ගේ ලෝකයයි. මේ පුංචි කැදැල්ලේ තිබුන සතුට දැන් දවසින් දවසම ඈත් වෙනවා. ඒ අම්මාගේ තාත්තාගේ වරදක්වත් දරුවන්ගේ වරදක්වත් නිසා නොවෙයි.අපේ ලෝකය පුරාම පැතිරෙන දරුණු කොවිඩ් වසංගත තත්වය නිසා පුංචි කැදැල්ලේ මීට වසරකට පමණ පෙර පැවැති සතුට සම්පූර්නයෙන්ම නැති වෙලා..

අම්මා තාත්තා දැන් කතා ඉන්නේ බියෙන්..

අම්මා,තාත්තා දැන් නිතරම ඉන්නේ ආසාදිතයෝ කී දෙනාද..? තවත් කොවිඩ් මරණයක්ද..කියන පසුතැවිලි හිතෙන්.ඔවුන්ගේ හිතේ බියක් තිබීමත් සාධාරණයි. කිරිසප්පයෝ ඉන්න ගෙදර,වැඩිහිටි අම්මා,තාත්තා දැන් වයසයි. ඒ අය ජීවත් වෙන්නෙත් බේත් හේත්වල බලයෙන්.රැකියාවට යන්නත් ඕන.මගතොටත් ආරක්ෂාවක් තියෙනවාද..? නැත්ද දන්නෙත් නැහැ..ඉතිං දෙමව්පියන්ගේ මේ මානසිකත්වය නිසා අද පවුලක් තුළ ඇත්තේ අනාගතය ගැන බියක්.

ඉස්සර මෙහෙම වුනේ නැතිද..?

මීට සියවස් ගණනාවකට පෙරාතුවත් විවිධ වසංගත තත්වයන් ලෝකයේ ඇති වී නැති වී ගියා. ඒ කාලයේ සන්නිවේදනයේ දියුණුවක් අද වගේ නොතිබුන නිසා මිලියන ගණනින් සිදු වුන මරණ ගැන දැනගන්න ලැබුනේ නැහැ.නමුත් අද හැම පුවතක්ම සැනින් ඔබේ ආලින්දයට ලැබෙනවා.

ඉතින් දරුවෝ මේවා දැන ගත්තාම මොකද…?

දරුවන් කියන්නේ වැඩිහිටියන්ගේ මානසිකත්වයෙන් ලෝකය බලන පිරිසක් නොවෙයි.නිරන්තරවම මේ විදිහට මරණ ගැන ඇහෙද්දී, දෙමව්පියන් තැති ගෙන ජීවත් වෙද්දී ඔවුන්ගේ හිතේ යම් බියක් ඇති වෙනවා. අනේ අපේ අම්මා,තාත්තා, අත්තම්මා,සීයා අපට නැති වුනොත්..? මේ වගේ සාධාරණ බියක් දරුවන්ටත් ඇති වෙනවා.ඒ නිසා මේ වසංගත කාලයේ දරුවන්ගේ මානසික සුවතාවය ගැනත් දෙමව්පියන්ගේ අවදානය වීම වඩාත් වැදගත්.

දෙමව්පියන් විදිහට ඔබ මොකද කරන්නේ..

දෙමව්පියන් විදිහට ඔබ දරුවන්ට කොවිඩ් 19 වසංගත තත්වයෙන් ආරක්ෂා විය යුතු ක්‍රමවේදයන් ගැන දැණුවත් බව ලබා දීම නම් ඉතාම වැදගත්.ඒ අතරේදීම කොවිඩ් 19 වසංගත තත්වයේ අසුබ සහ අසත්‍ය පුවත් නිතරම පවුලේ මාතෘකාව බවට පත් කර ගන්න එපා. 

දරුවන් සමග වැඩිපුර කාලය ගෙවන්න..

දැන් පාසලත් නිවාඩු.අතිරේක පංතිත් නැහැ. ගෙදරට කවුරුත් එන්නෙත් නැහැ. අපි ගෙදරින් පිටට යන්නෙත් නැහැ.ඉතින් එකාකාර පුංචි ලෝකය තුළ දෙමව්පියන් විදිහට නිතරම දරුවන්ට සමීප වෙන්න.ඉස්සර වගේ හැන්දෑවට වැඩ ඇරිලා නිවසට එන තාත්තා, අම්මා එන පෙර මගට දුවලා අතේ එල්ලෙන්නත් බැහැ.සමාජ දුරස් බව නිසා ඔබ දරුවන්ගේ ලෝකයෙන් දුරස් වෙන්න එපා. දැන් වෙනදා වගේම සමාජ උත්සව නැති නිසා දරුවන්ට සමීපව කටයුතු කිරීමට කාලය යොදා ගන්න.

මානසික සතුට ගැන උනන්දු වෙන්න..

උදේ පටන් හවස් වෙන තුරු වසංගතය ගැන අඳෝනාවන ගායනා කිරීමට වඩා දරුවන්ගේ සතුට ගැන දෙමව්පියන්ගේ අවධානය යොමු කරන්න.ඔවුන්ගේ සතුට සදන දේ වෙනුවෙන් ඔබත් සමීප වෙන්න.සමහර විට දරුවන්ගේ විනෝදාංශ වෙනුවෙන් දැන් ඔබටත් උදව් විය හැකියි.දරුවාගේ මුද්දර ඇල්බමය සකස් කරන්න,කාසි එකතුව පිලිවෙලක් කිරීම වැනි ඔවුන්ගේ කුමන හෝ විනෝදාංශයට ඔබත් උදව් වෙන්න.

මේ කාලය නැවත ලැබෙන්නේ නැහැ..

කොවිඩ් 19 වසංගත තත්වය නිසා ඔබට ලැබී ඇති විවේකය නැවත කිසිම දිනක ඔබට නොලැබෙනු ඇත.කොවිඩ් කවදා හෝ දිනක ලෝකයෙන් තුරන් වෙනු ඇත.ඒ නිසා අද ලැබී තිබෙන විවේකයෙන් ඔබ ප්‍රයෝජන ගැනීම ඉතාම වැදගත්.දරුවාගේ අතපසු වී ඇති වැඩ කටයුතු වෙනුවෙන් ඔවුන්ට සහය ලබා දෙන්න. ඉස්පිලි,පාපිලි ගැන අවබෝධයක් නැති දරුවාට දැන් බොහොම සෙමින් ඒ අඩුපාඩු සකස් කර දීමේ හැකියාව ඔබට ලැබේවි.

පොත් පත් කියවන්න, මැහුම් ගෙතුම් හෝ ගෙවත්ත ලස්සන කරන්න පුලුවනි

ඔබ හැමදාම කියන වෙලාවක් නැති ගැටළුව දැන් තාවකාලිකව හෝ අවසානයි.අතිරේක පංති ආදිය නොමැති නිසා දරුවාට පොත් පත් කියවීමට අවස්ථාව සලසා දෙන්න. මැහුමක් ගෙතුමක් කිරීමට ඔවුන් උනන්දු කරන්න. ගෙවත්තේ ඇති මල් ගහකට, එළවලු පැලයකට සාත්තු කිරීමේදී දරුවාගේ සහයෝගය ලබා ගන්න.

ව්‍යායාම කිරීමටත් පුලුවනි

මානසික සුවතාවය වෙනුවෙන් ව්‍යායාම කිරීම ඉතාම වැදගත්. දැන් ඇවිදින මංතීරු /ජිම් වැනි බාහිර පරිසරයට සම්බන්ධ වීම අවදානම් නිසා දරුවා ඔබ  සමග පුංචි ව්‍යායාම කිරීමට සම්බන්ධ කර ගන්න.ව්‍යායාම නිසා මොළයට ඉතා හොදින් ඔක්සිජන් පරිවහනය වීමෙන් යහපත් මානසික සෞඛ්‍ය තත්වයක්ද ගොඩ නගා ගත් හැකියි.

රසවත් සහ සමබර ආහාර වේලක් 

දරුවන්ට පෝෂණීය අන්දමින් ආහාර පිලියෙල කිරීමට දෙමව්පියන්ට වෙලාවක් නැති වීම නිරන්තරව නැගුන ගැටලුවක්.උදේ හය ,හයහමාර වෙද්දී දරුවා නිවසෙන් පිටව යද්දී මේ කාර්යය කිරීමට එදා තිබුන අපහසුතාවය අද නැහැ. ඒ නිසා දරුවා වෙනුවෙන් පෝෂණීය විදිහට කොළ කැඳ කෝප්පයක්, කව්පි,කඩල කෝප්පයක් පිළියෙල කර දීමට දැන් අවස්ථාව තිබෙනවා. ඒ වගේම අලුත් විදිහට රස බලන්න යමක් දැන් පිලියෙල කරන්නත් අම්මාට වෙලාව තිබෙනවා.

එහෙමනම් අපි ගෝලීය වසංගතයක් ඉදිරියේ සිටින බව ඇත්ත. මෙය සරලව සිතිය යුතුද නැත.එහෙත් අප කොවිඩ් සමග ජීවත් විය යුතුය.එහෙත් දරුවන්ගේ මනස කොවිඩ් භීතිකාවේ ගොදුරක් කළ යුතු නැත.දරුවන්ගේ සුන්දර ලෝකයට කොවිඩ් ආගන්තුක බව සැබෑවකි. එහෙත් කොවිඩ් ඉදිරියේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය  ආරක්ෂා කර ගැනීම දෙමව්පියන්ගේ යුතුකමකි.

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here