- Advertisement -

දරුවන් තුළ පවතින “කථන හා භාෂා ප්‍රමාදය ” හඳුනාගන්නේ කෙසේද?

-

දරුවෙකු ගේ වයසට ප්‍රමාණවත්  ලෙස කතාව හා භාෂාව වර්ධනය නොවීම “කථන හා භාෂා ප්‍රමාදය”  (Speech and Language Delay) ලෙස සරළව ම හඳුන්වා දිය හැකිය. මෙහිදී ඇතැම් දරුවන් “කථන ප්‍රමාදයක්” (Speech Delay) පමණක් පෙන්වන අතර ඔවුන්ගේ භාෂා වර්ධනය සාමාන්‍ය වෙයි.. එමෙන්ම, ඇතැම් දරුවන් “භාෂා ප්‍රමාදයක්” (Language Delay) පෙන්නුම් කරන අතර එහිදී භාෂාවේ මෙන්ම  කථනයේ ද ප්‍රමාදයක් පෙන්නුම් කරයි.  

වර්තමානයේ සුලභව ම දැක ගත හැකි තත්වයක් ලෙස මෙම තත්වය හඳුන්වා දිය හැකිය. මේ සඳහා බලපෑ හැකි කරුණු කිහිපයකි. ඒවා නම්, 

- Advertisement -
  • ශ්‍රවණ අපහසුතා, 
  • දරුවා අඩු මාස ප්‍රමාණයකින් ඉපදීම 
  • නිවසේ  භාෂා දෙකක් හෝ කිහිපයක් භාවිතා කිරීම,  
  • දරුවාගේ ශාරීරික හා මානසික වර්ධනයේ ගැටලු,
  • දරුවන් තුළ පවතින වෙනත් සුවිශේෂී තත්වයන් (ඔටිසම්, මස්තිෂ්ක අඝාදය ආදී ) 
  • ප්‍රමාණවත් ලෙස භාෂා වර්ධනය ට අවශ්ය උත්තේජන  නොලැබී යාම හඳුන්වා දිය හැකිය.

බොහෝ විට මෙම තත්වය හඳුනාගනු ලබන්නේ  දරුවාගේ මව විසිනි. තම දරුවාගේ වයසේ වෙනත් දරුවන්ගේ කතාව හා සැසදීම තුළින් ඇය මෙම තත්වය හඳුනා ගැනීමට පෙලබිම සුවිශේෂී කරුණකි. නමුත් දරුවන්ගේ වර්ධන අවධීන් අනුව කථන හා භාෂා ප්රමාදය හඳුනා ගැනීමට පහත නිර්ණායක සලකා බැලීම අත්යාවශ්ය වේ. එනම්,

  • මාස 12  පමණ වන විට තනි වචන කතා නොකිරීම.
  • මාස 15 – 18 පමණ වන විට වැඩිහිටියන් නම් කරන දේ නොපෙන්වීම.
  • මාස 24 පමණ  වන විට වචන 50 කට ආසන්න ව ප්රකාශ නොකිරීම හෝ වචන 2 – 3 ඇතුළත් වාක්ය ගොඩ නැගීමට අපහසු වීම.
  • මාස 36 පමණ වන විට වචන 3 – 4 ඇතුළත්  වාක්ය ගොඩ නැගීමට අපහසු වීම හෝ විධාන අනුගමනය කිරීමට අපහසු වීමයි.

තවද, දරුවාගේ සෞක්‍ය වර්ධන සටහන නිවැරදිව පිරික්සීමෙන් ද ඔබට නිවරදි වැටහීමක් ලබා ගැනීමට හැකියාව පවතී.

දෙමාපියෙකු වශයෙන් ඔබගේ දරුවාගේ කතාව, භාෂා අවබෝධය හා භාවිතය පිළිබඳ යම්කිසි ගැටලුවක් ඇත්නම් ප්‍රථමයෙන්න ම ඊට හේතු වූ කරුණු සොයා බැලීම හා ඊට  නිවැරදි ලෙස ක්‍රියාත්මක වීම ඉතාමත් වැදගත් වන අතර  මේ පිළිබඳ ගැටලුවක් හෝ සැකයක් ඇත්නම් කථන හා භාෂා චිකිත්සකවරයකු වෙත (Speech and Language Therapist) ගොස් නිවැරදි තක්සේරුවක් (Assessment) කර ගැනීම ඉතාමත් වැදගත් වේ. මේ වන බොහෝ රජයේ හා පුද්ගලික අංශ වල කථන හා භාෂා චිකිත්සකවරු දිවයින පුරා විසිරි සිටිති. 

නමුත්, දරුවා බොහෝ කාලයක් ගත කරන්නේ තම දෙමාපියන් සමඟ නිසාවෙන්ම දෙමාපියන්  වශයෙන් ඔබටත් නිවසේදී මේ සඳහා කටයුතු කිරීම සිදුකල හැකිය. එහිදී, 

  • නිවසේදී දරුවා සමඟ සරල වචන භාවිතයෙන් කතා කිරීම
  • දරුවා සමඟ  නිතර කතා කිරීම
  • සෙල්ලම් කිරීම තුළින් අලුත් වචන දරුවාට කියා දීම
  • වචන පවසන විට මුහුණ හොදින් දරුවාට පෙනෙන අයුරින් කතා කිරීම
  • දරුවා තිර (Screen) සමඟ වැඩි කාලයක් ගත කරනවා නම් එම කාලය ක්රමයෙන් වෙනත් ක්රියාකාරකම් සඳහා යොදා ගැනීම 
  • නිතර පරිසරය සමඟ  සම්බන්ධ වෙමින් අත්දැකීම් ලබමින් ඉගෙන ගැනීමට දරුවා යොමු කිරීම දරුවාගේ කතාව හා භාෂා වර්ධනය ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

තවද, වඩාත් වැදගත් වන්නේ මෙම තත්වය නිසි වයසට හඳුනාගැනීම හා නිවැරදි ක්‍රමවේද කෙරෙහි යොමු වීමයි. එමෙන්ම, කථන චිකිත්සාව තුළින් දරුවා ගේ කථන හා භාෂා වර්ධන ප්රමාදය නිවැරදි කර ගත හැකිය.

 

කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article