- Advertisement -

පිළිකාකාරක ආහාර

-

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සමග සිදු කරන ලද සාකච්ඡාවක් ඇසුරින්…..

පිළිකාවක් කියන්නේ  සිරුරේ කොතැනක හෝ සෛලවල   සිදු වෙන අසාමාන්‍ය බෙදීමක්.  කිසිම පාලනයක යටත් නොවී අනවශ්‍ය අන්දමින් සෛල විභජනය වීමක්. සිරුරේ විවිධ ස්ථානවල පිළිකා ඇති වෙනවා . ඇතැම් පිළිකා ව්‍යාප්ත වෙන්නේ නැහැ. ඒත් ඇතැම් පිළිකා සිරුරේ ඉතා පහසුවෙන් ව්‍යාප්ත වෙනවා. 

- Advertisement -

පිළිකා ඇති වීමට බලපාන හේතු

    • දුම්පානය සහ බුලත්විට කෑම 
    • පරිසර දූෂණය
    • විකිරණවලට නිරාවරණය වීම.
    • ආහාර මගින් ශරීරගත වෙන වෙන විෂ රසායන
    • වෛරස ආසාදන
    • ඇස්බැස්ටෝස්

ලංකාවේ පිළිකා රෝගය පසුගිය වකවාණුව තුළ වර්ධනයක් පෙන්නුම් කරයි.2000 වර්ෂයේ 10,000 ක් පමණ වූ නව රෝගීන් සංඛ්‍යාව 2010 වසර වෙන විට 17,000 දක්වා වර්ධනය වී ඇත. අද වන විට මීට වඩා වැඩි අගයයක් දක්වා වර්ධනය වී තිබෙන බව පැහැදිළිය.

පිළිකා සම්බන්ධයෙන් දැනට ලබා ගෙන ඇති දත්ත අනුව පිළිකා වර්ගවලින් 30% සිට 50% අතර ප්‍රමාණයක් වැළඳීමට බලපාන ප්‍රධාන සාධකය අපේ ජීවන රටාවේ අයහපත් පුරුදු බැව් හඳුනාගෙන තිබෙනවා. ජීවන රටාව ගැන සඳහන් කලොත් වැඩියෙන්ම බලපාන්නේ අපේ ආහාර. අප විසින් ආහාරයට ගන්නා සමහර ආහාර  මගින්  පිළිකා කාරක අපේ සිරුරට ඇතුළු වෙනවා. 

පිළිකා සඳහා බලපාන ආහාර

  • සීනි අධික ආහාර

තන්තු අඩු ,සීනි වැඩි  ආහාර  අධිකව පරිභෝජනය නිසා පියයුරු පිළිකා, ආමාශ සහ මහ අන්ත්‍ර ආශ්‍රිත පිළිකා රෝග තත්වයට ගොදුරු වීමට පුලුවනි. අධික විදිහට මේවා ආහාරයට ගැනීමෙන් රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ වගේම ඊට සමගාමීව ඉන්සියුලින් ස්‍රාවය වැඩි වෙනවා. පර්යේෂණ මගින් හඳුනා  ගෙන තිබෙන අන්දමට දියවැඩියාව ඇති රෝගීන්ට මහ අන්ත්‍ර ආශ්‍රිත පිළිකා වැළඳීමේ අවදානම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා 22% කින් ඉහළයි. 

අධික සීනි නිසා  ස්ථුලතාවය, බර වැඩිවීම, වැනි අතුරු හේතු පිළිකා වර්ධනයට ඉතා සමීපව බලපානවා. තරබාරු සහ අධිබර අයගේ මේද තැන්පත් වීම වැඩියි. ඒ නිසා පටකවල ප්‍රදාහයන් ^ Inflammation) තත්වයන් ඇති වෙන්න පුලුවනි. ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය ( Insulin resistance ) වැඩි වෙනවා.

  • සකස් කළ මස්

හැම්, බේකන්, සෝසේජස්, මීට් බෝල්ස් වැනි සකස් කරන ලද මස් කල් තබා ගැනීමේ සහ රසය, වර්ණය වෙනුවෙන්  පදම් කිරීමේ ක්‍රියාවලියේදී සෝඩියම් නයිට්රයිට් භාවිතා කරනවා. කාලයකට පෙරාතුව භාවිතා කළේ සෝඩියම් නයිට්රයිට් විතරයි.  නයිට්රයිට් භාවිතා Nitrsoamines නැමැති සංයෝග විශාල ගණනක් නිපදවන බවත්  ඒවායින් බොහොමයක් පිළිකා කාරක  බව තහවුරු වීම  නිසා පසුකාලීනව මස් සකස් කිරීමේදී සෝඩියම් නයිට්රේට්වලට අමතරව Erythrobate  හෝ Ascorbate යෙදීම සිදු වුණා.එහිදි Nitrsoamines ජනනය වීම විශාල විදිහට අඩු වෙන බව දක්නට ලැබුණා. මේ නිසා වර්තමානයේදී මස් පදම් කිරීමේදී අනිවාර්යෙන්ම Erythrobate  හෝ Ascorbate යෙදිම සිදු කරයි. කෙසේ වෙතත්  මේවා පවා යොදන මාත්‍රාව වෙනස් වුවහොත් පිලිකා කාරක ජනනය වීමේ හැකියාවක් ඇති වේ. එබැවින් මේ අන්දමට  සකස් කරන ලද ආහාර නිරන්තරයෙන් විශාල ප්‍රමාණවලින් ආහාරයට ගැනීම එතරම් සුදුසු නැත.ඇතැම් පර්යේෂණයන් මගින් පෙන්වා දෙන්නේ දිනකට සකස් කළ මස් ග්‍රෑම් 50 ක් ආහාරයට ගැනීම පිළිකාවට ගොදුරු වීමේ ඉහළ අවදානමක් ඇති කරන බවයි. 

  • රතුමස්

රතුමස් කාණ්ඩයට ගැනෙන එළුමස්, හරක් මස් පිළිකා තත්වයට හේතු වෙන බවට ආන්දෝලනයක් තිබුනත් එය නිශ්චිත වශයෙන් තවම තහවුරු වී නැහැ.

  • බාබක්‍යු කරන ලද සහ ග්‍රිල් කරන ලද සහ දුම් ගස්වන මස් සහ අනෙකුත් ආහාර

ග්‍රිල් කරන ලද සහ පමණට වඩා පිළිස්සීමට ලක් කරන ලද  විශේෂයෙන්ම විවෘත දැල්ලට යොමු කොට සකසා ගන්නා මස් සහ අනෙකුත් ආහාරවල තිබෙන  තද දුඹුරු හෝ කලු පැහැයට හැරී ඇති ආහාර  කොටස් සහ පුළුස්සන ලද ආහාර, දුම් වද්දවා සකසා ගන්නා මස් (smoked meat) මාළු ආහාර නිසා පිළිකා රෝග තත්වයන්ට ගොදුරු වීමේ අවදානම වැඩි කරනවා.

ගින්නට අසු වි කළු පැහැය ගැනුන කොටස්වල  PAH (Polycyclic aromatic Hydrocarbons ) නම් වූ කාරකයක් ජනනය  වෙනවා. ඊට අමතරව බැදුම් තෙල් නැවත නැවත පාවිච්චි කරන විට තෙල්වර්ගවල නිෂ්පාදනය  වෙන විෂ රසායනයන් ඒ තෙල් මගින් පිසින  ආහාරවලට එකතු වෙනවා. මේ නිසා වරක් හෝ දෙවරක් භාවිතා කළ තෙල් ඉවත දැමීම සිදු කුළ යුතු අතර විකල්පයක් ලෙස air frier භාවිතා කළ හැක.

  • කිරි ආහාර අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීම

කිරි ආහාර අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීමත් පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා වගේම කාන්තාවන්ට පියයුරු පිළිකා තත්වයට හේතු වෙනවා. කිරිවලින් ස්‍රාවය වෙන ඊස්ට්‍රජන් හෝර්මෝනය සහ  IGF 1 (Insulin-like Growth Factor-1) නැමැති සංයෝගය පිළිකා ඇති වීමට  හේතු වෙනවා. ඇමරිකා එක්සත් ජනපදය වැනි ඇතැම් රටවල් කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම  සඳහා ගවයන්ට හෝර්මෝන ලබා දීම නිසා IGF 1 සංයෝගය කිරිවල වැඩි වශයෙන් නිෂ්පාදනය වුණා. නමුත් දැන්  බොහෝ රටවල් හෝර්මෝන ලබා දීම නවතා දමා තිබෙනවා. ලංකාවේ සමස්ත කිරි පරිභෝජනය පහළ මට්ටමක පවතින බැවින් මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවේ. 

  • විකිරණශීලී ආහාර

දූෂිත මුහුදු ජලයෙන් ලබා ගන්නා මත්ස්‍ය විශේෂයන්ගේ විකිරණ ද්‍රව්‍ය වැඩියි. විකිරණශීලි ද්‍රව්‍ය පිළිකා වැළඳීමට හේතු වෙනවා. ලංකාවේ ආනයනය කරන සියලුම ආහාර ද්‍රව්‍ය විකිරණශීලීභාවය  සඳහා පරීක්ෂාවට ලක් වෙනවා. කෙසේ වෙතත් පාරිභෝගිකයන්ට නුසුදුසු ආහාර නැවත විවිධ විවිධ ක්‍රම වලින් ලංකාවට ඇතුල් වෙනවාද යන්න පිලිබඳ ප්‍රවේසම්විය යුතුය. මීට අමතරව විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා කරන,විකිණශීලී අපද්‍රව්‍ය බැහැර කරන ප්‍රදේශ සහ ඒ අවට වගා කරන බෝග සහ ඇති කරන සතුන්ගෙන් ලබා ගන්නා ආහාරවල විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු වීමට ඉඩ කඩ පවතී.මීට අමතරව විවිධ දෑ සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය මෙන්ම ඇතැම් ආහාර ආකලන ද්‍රව්‍ය ( Food Additives ) ද පිළිකා ඇති වීමට හේතු වෙනවා.

මීට අමතරව ආහාර ඇසුරුම් ද්‍රව්‍යවල ඇති සංයෝග  පිළිකාකාරක විය හැකි බව අනාවරණය වී ඇත.ප්ලාස්ටික් බෝතල් සහ අනෙකුත් ඇසුරුම් බොහොමයක ප්ලාස්ටික් නිපදවීමේදී යොදා ගන්නා PlasticiZersFillers වැනි ද්‍රව්‍ය ආහාරවලට සංචරනය වේ.මෙවැනි සංයෝග බොහොමයක් මේදයේ දියවෙන අතර මේ නිසා මේදය වැඩි ආහාරවලට මේවා පහසුවෙන් ගමන් කරයි. එමෙන්ම බොහෝ ප්ලාස්ටික් ඇසුරුම් රත්කිරීම හෝ උණුසුම් ආහාර ප්ලාස්ටික් බඳුන්වල ගබඩා කිරීම මගින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ද්‍රව්‍ය සංක්‍රමනය වේ.

එමෙන්ම ජලබෝතල් ප්ලාස්ටික් බීම බෝතල් අව් රශ්මියට නිරාවරනය කිරීමට සැලැස්වීම නිසාද පිළිකා ජනකයන් ඉතා සිඝ්‍රයෙන් ආහාරයට ගමන් කරයි.තද හිරු එළිය වැටෙන ලෙසට මෙම බෝතල් ගබඩා කිරීම,තද හිරු එළිය ඇති උණුසුම් දිනවල වාහන තුළ ප්ලාස්ටික් ජල හෝ බීම බෝතල් තබා යෑමද නුසුදුසුය.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අංශය.

 

 


 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article