- Advertisement -

දරුවන් ලස්සනට තියා ගැනීමේ වාසි සහ සිතන්න යමක්..

-

හැම දරුවෙක්ම ලස්සනයි.ඒ වගේම තමන්ගේ දරුවා ලස්සනට තියා ගැනීමේ වගකීම ඇත්තේ දෙමව්පියන්ටයි. දරුවා ලස්සනට තියා ගන්නවා කියන්නේ අල්ලපු ගෙදර දරුවාට වඩා වියදම් අධික ඇදුම් අන්දවන එක නම් නොවෙයි. තමන්ගේ වත්කමේ හැටියට පිලිවෙලට පිරිසිදුවට දරුවා තබා ගැනීමේ වටිනාකම දෙමව්පියන්ට බාරයි.දරුවා  තබා ගැනීමේ ඔබ නොදන්න වාසි බොහොමයක් තිබෙනවා.

දරුවන් තුළ ධනාත්මක චින්තනය ඇති වෙනවා.

- Advertisement -

ලස්සනට පිරිසිදුවට සිටින දරුවන් දෙස හැම කෙනෙක්ම බලන්නේ ආදරයෙන්.ඒ නිසා දරුවාගේ හිතේ තමා ගැනත් යම් අභිමානයක් ඇති වෙනවා. ඒ වගේම මෙහි විරුද්ධ පැත්තත් ඒ වගේමයි. පංතියක වුනත් අපිරිසිදු සහ අපිළිවෙලක් ඇති දරුවා ගැන ආකර්ශනය ඇති වෙන්නේ බොහොම  මන්දගාමී විදිහටයි.

ආත්ම විශ්වාසය ඇති වෙනවා..

ලස්සනට සිටින දරුවා වෙනුවෙන් නොදැනීම ලැබෙන ආකර්ශනය නිසා තමන් මුල් කර ගත් ආත්ම විශ්වාසයක් ඔවුන්ගේ හිතේ ගොඩ නැගෙනවා.මටත් යමක් කළ හැකිය යන විශ්වාසයෙන් දරුවා පසු වෙන්න පටන් ගන්නවා. එය ඉතාම සුබවාදී තත්වයක්. ඔහු වෙතින්ම ඇති වෙන මෙම ආත්ම විශ්වාසය හෙට දවස වෙනුවෙන් දරුවාගේ පෞරෂයට ඉතාම වැදගත්.

නායකත්ව ගති ලක්ෂණ වෙනුවෙන් පෙර සූදානමක්

තමා මුල් කර ගෙන ඇති වෙන සුබවාදී  ආකල්පයත්, ඒ වගේම හෙට දවස වෙනුවෙන් ගොඩ නැගෙන ආත්ම විශ්වාසයත් නිසා දරුවා වෙතින් නොදැනීම නායකත්ව ගති ලක්ෂණ ගොඩ නැගෙන්න පටන් ගන්නවා.

පවුල් පසුබිම ගැනත් දැනගන්න පුලුවන්.

දරුවා ලස්සනට සිටිනවා නම් ඒ ගරුත්වයේ කොටස්කරුවන් බවට දෙමව්පියන්ද පත් වෙනවා. දරුවාගේ අඳින,පළඳින පිලිවෙල නිසා දෙමව්පියන්ගේ වටිනාකම්ද ගොඩ නැගනෙවා. එසේ නොවුන තැනත් සෘජු චෝදනාව එල්ල වෙන්නේ දෙමව්පියන් වෙතටයි. දරුවන් ගැන කිසිම උනන්දුවක් නැති දෙමව්පියන්ගේ කොටසට ඔබත් අයත් වෙනවා. ඒ කොහොම වුනත් ඔබ දරුවා ලස්සනට තබා ගත යුත්තේ ඔබ මුල් කර ගත් පිලිගැනීමට නොව දරුවාගේ ජීවිතය ගොඩ නැගීම කෙරෙහි දරුවා ලස්සනට, පිලිවෙලකට තබා ගැනීම වැදගත් නිසයි. 

දෙමව්පියන් හැඩ බලද්දී දරුවන් කැමැතියි.

දෙමව්පියන් තමා ගැන හැඩ බලද්දී දරුවන්ටත් තමන් ගැන මව්පියන් දක්වන ආදරය සහ ආරක්ෂාව ගැන තහවුරුවක් හිතේ නොදැනීම ගොඩ නැගෙනවා. මේ සුරක්ෂිතතාවය දරුවාගේ ජීවිතයට විශාල ආලෝකයක්.

  • ඒත් දරුවන් ලස්සනට තබා ගැනීමේදී මේවා ගැනත් අවධානය දක්වන්න..

දරුවාට අපහසුනම්

දරුවාගේ ඇදුම් ඔබ ජීවත්වෙන පරිසරයට අනුව තෝරා ගන්න. අධික උණුසුම් ප්‍රදේශයක ඔබ ජීවත් වෙනවා නම් කොතරම් ලස්සන වුනත් නයිලෝන් වැනි කෘතිම රෙදිවලින් සකස් කළ ඇදුම් දරුවාට ගැලපෙන්නේ නැහැ. එවැනි පරිසරයකදී දරුවාට වඩාත් ගැලපෙන්නේ කපු රෙදි ඇදුම්. ඇඳුම් විලාසිතාවන් වුනත් ඒ අන්දමින් ඔබ ජීවත්වෙන පරිසරයට ගැලපෙනවාදැයි සලකා බලන්න ඕන. අත් නැති ඇදුම් සීතල පරිසරයකදී දරුවාට ගැලනේනේ නැහැ. එවැනි පරිසරයකදී දරුවාට ගැලපෙන සිරුර උණුසුම් කරන ඇදුම් ගැන වැඩි අවධානයක් දක්වන්න අවශ්‍යයි.

වත්කම් ප්‍රදර්ශනය එපා.

ඔබේ වත්කම් ප්‍රදර්ශනයට දරුවා නියෝජිතයෙක් කර ගන්නත් අවශ්‍ය නැහැ.ඔබේ වත්කමේ හැකියාව අනුව දරුවා ලස්සනට තබා ගැනීමට බාධාවක් නැහැ.එහෙත් ඔබට දරන්න බැරි අන්දමින් විය පැහැදම් කරමින් දරුවා සැරසීමත් අවශ්‍ය නැහැ.දරුවන් ඉතා ඉක්මනින් උස් මහත් වෙන නිසා ඇඳුමක් මිළට ගැනීමේදී ඒ ගැනත් සලකා බැලීම අද වගේ යුගයකදී ඉතා වැදගත්.

විවිධ මෙවලම් එපා..

හය හතර නොතේරෙන දරුවන් වෙනුවෙන් ඇදුම් මිළට ගැනීමේදී එහි තිබෙන අතිරේක ගැනත් සලකා බැලීම ඉතාම වැදගත්. ඇතැම් ඇදුම්වල තිබෙන රිදී කුඩු වැනි දිස්නය දෙන දේවල්, ආකර්ශණීය පදක්කම් වැනි දේ දරුවාට අහිතකර අන්දමින් බලපාන්න පුලුවනි. මෙම කුඩු වර්ග දරුවාගේ ආශ්වාසය  සමග එක් වී ආසාත්මිකතාවයන් ඇති වෙන්න පුලුවනි. පහසුවෙන් ගැලවෙන බොත්තම්, විවිධ ප්ලාස්ටික් කැබැලි දරුවා විසින් ගලවා ගෙන කටේ දා ගැනීමේ අවදානමත් තිබෙන බව අමතක කරන්න එපා.

ඔබ ඇඳුමක මෙවැනි කොටස් ඇතොත් ඒවා ගැන වැඩි අවධානයක් දක්වන්න. ඒ වගේම මේ අන්දමේ මෙවලම් නිසා නින්දේදී සහ දරුවාගේ විවිධ හැසිරීම්වලදී සම සීරී තුවාල වීමේ අවදානමත් තිබෙනවා.

පුංචි අයට වටිනා ආභරණත් එපා

පුංචි දරුවන්ට පංචායුධ වැනි ආභරණ පළඳවන විටත් එයින් දරුවාට අපහසුවක් නොවන ලෙසින් දිග නූලක අමුනන්න.සමහර විට මාස එකොළහේදී කරට දමන ලද නූල හෝ දම්වැල දැන් දරුවාගේ කරටම හිර වී තිබෙන්න පුලුවනි. ඒ නිසා ආභරණයට වඩා දරුවාගේ පහසුව ගැන හිතන්න.

තවත් අයගේ තෑගි විදිහට දරුවන්ට පළදවන රන් මුදු දරුවා වැඩෙන විට පුංචි ඇගිල්ලට වඩාත් වේදනාකාරියි. එම ස්ථානයේ වතුර,සබන් ,දහඩිය රැදී ආසාත්මිකතාවයන් ඇති කිරීමටත් ඉඩ තිබෙනවා.ඒ නිසා පුංචි දරුවන්ට රන් මුද්දක් ඇගිල්ලට පළඳනවාට වඩා ඒ වියදමෙන් වෙනත් තෑග්ගක් ලබා දෙනවා නම් වඩාත් සුදුසුයි.ඒ ඇයි කිව්වොත් මෙවැනි ආභරණ වලින් පසුකාලයකදී ප්‍රයෝජන ගැනීමත් සිදු වෙන්නෙත් නැහැ.ඉතා සීමිත කාලයක් තුළ දරුවා අපහසුවෙන් පසු වෙනවාට වඩා වැඩි ප්‍රයෝජනයක් නම් සිදු නොවෙන බැව් ඔබටත් තේරෙනවා ඇති නේද..?

එහෙමනම් දරුවා ලස්සනට තියා ගැනීම වගේම ඒ ලස්සන දරුවාට අපහසුවක් නොවන සේ පවත්වා ගැනීමේ වගකීමත් අමතක කරන්න එපා.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article