- Advertisement -

දරුවාගේ සන්නිවේදන හැකියා වර්ධනට ගැබිනි සමයේදීම සැලකිලිමත් විය යුතු කරුණු 3ක්

-

දරු පිළිසිඳ ගැනීමත් සමගම මවගේ පෝෂණය ආරක්ෂාව ගැන ඇය මෙන්ම ඇයගේ නැදෑ හිත මිතුරන් පවා දක්වන්නේ ලොකු අවධානයක්. ඒ නිරෝගී දරු උපතක් පිළිබඳ අපේක්ෂාවෙන්. කෙසේ වෙතත් ගැබිනි සමය කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ ඉතාම වටිනා කාලසීමාවක් කිව්වොත් නිවැරදියි. නිසි පෝෂණය ගැන වගේම නුසුදුසු ආහාර සම්බන්ධයෙන් වුවත් ගැබිනි මව සැලකිලිමත් වන්නේ අම්මාගේ බණ්ඩියේ වැඩෙන පුංචි පැටියට ඒක අහිතරකර වෙයි කියන බයට. බැර ලෝහ අඩංගු ආහාරවලින් වගේම හානිකර විකිරණවලට නිරාවරණය වෙන්නත් සුදුසු නැති බව අම්මා වගේම තාත්තත් දන්නවා. ඉතිං ඒ කරුණු ගැන වගේම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕනේ තවත් වැදගත් සුවිශේෂී කරුණු කිහිපයක් තියෙනවා.  

  • සැමියා සහ බිරිඳ අතර ඇති බැඳීම, අවබෝධය සහ සහයෝගය
  • මවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය
  • මව, පියා සහ දරුවා අතර අන්තර් ක්‍රියාකාරිත්වය

කෙසේ වුණත් මෙන්න මේ කරුණු තුන ගැන නම් වැඩි අවධානයක් ඇතැම් දෙමාපියන් තුළ දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. නමුත් දරුවෙකුගේ කතාව සහ භාෂාව සන්නිවේදය දියුණු කරන්නට නම් ඒවා ඉතාම වැදගත් වන බව සිහියේ තබා ගත යුතුයි. 

- Advertisement -

සැමියා සහ බිරිඳ අතර ඇති බැඳීම, අවබෝධය සහ සහයෝගය

සැමවිටම ගැබිනි මවට අවශ්‍ය සහයෝගය සැමියාගෙන් උපරිමයෙන් බලාපොරොත්තු වන අතරම ඒ ඒ අයුරින්ට ඉටුකිරීම තාත්තෙක් වෙන්නට දින ගනින ඔබගේ යුතුකමක් බව අමතක නොකරන්න. ඒ වගේම නිවසේ කටයුතු සඳහාත් සැමියාගේ සහයෝගය ඇයට හිමිවිය යුතු අතරම ගැබිනි මවගේ අපහසුතා හඳුනාගනිමින් ඇයට සහනය සැලැස්වීමට කටයුතු කළ යුතුය. සහයෝගයෙන් යුතුකම් ඉටුකරමින් සන්තෝසෙන් ගත කරන මේ කාලය ගැබිනි මවකගේ සිතේ ඇති කරන සතුට සමගින් ඇයත් කුස තුළ වැඩෙන දරු පැටියාත් ඉතා සතුටින් සිටින බව කිව යුතුය. ඒ සතුට වෙනුවෙන් සැමියාගේ සහයෝග උපරිමයෙන් වැදගත් වන බව කිව යුතුමය. ඒ වගේම ගැබිනි සමයේ ඇතැම් අවස්ථාවලදී මවගේ සිත දුක සතුට යන දෙක අතරේ දෝලන වන අවස්ථා බොහොමයක් ඇති විය හැකියි. එවිට ඇයට මානසිකව සහනය සලසමින් ඇයව අවබෝධ කරගනිමින් එයින් මිදීමට උපරිම සහයෝගය ලබා දිය යුතුයි. එය කුස තුළ වැඩෙන දරුවාගේ මානසික සංවර්ධනයට ද බොහෝ සෙයින් බලපාන කරුණකි.

මවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය 

අම්මාගේ කුස තුළ වැඩෙන දරුවාට අම්මාව හොඳින් දැනෙන අතර අම්මාගේ සතුට කුස තුළ වැඩෙන දරුවාගේ සතුට වන අතරම අම්මාගේ වේදනාව දරුවාගේත් වේදනාව වනු ඇත. මන්ද මව සතුටින් සිටින විට ඒ හා සම්බන්ධ ධනාත්මක හෝමෝන ශ්‍රාවය වන අතරම වේදනාවට පත්ව සිටින විට ඒ හා සම්බන්ධ ඍණාත්මක හෝමෝනයන් ශ්‍රාවය වනු ඇත. උදාහරණයක් ලෙස මව මානසික ආතතියට පත්ව සිටිනවා නම් ඇය තුළ ශ්‍රාවය වන්නේ ඍණාත්මක හෝමෝනයි. එය කුස තුළ වැඩෙන දරු පැටියාට ඇති කරන්නේ නුසුදුසු තත්ත්වයකි. ගැබිනි සමයේදී කාන්තාවක් මානසික සුවතාවයෙන් සිටිය යුතු බව පවසන්නේ අන්න ඒ නිසයි. ගැටුම් පිරුණු වටපිටාවක සිටින ගැබිනි මවකට නිසි මානසික සෞඛ්‍ය මට්ටමක් පවත්වා ගැනීම අපහසු බැවින් එය කුස තුළ වැඩෙන දරු පැටියාට ඇති කරන්නේ අහිතරකර බලපෑමකි. අන්න ඒ නිසාම මව සහ පියා අතර මනා අන්තර් සබඳතාවයක් පැවතිය යුතු අතරම ඒ හරහා මව නිසි මානසික සුවයෙන් කාලය ගත කළ යුතුමය. 

මව, පියා සහ දරුවා අතර අන්තර් ක්‍රියාකාරිත්වය ‍

සන්නිවේදනය යනු දෙදෙනෙක් අතර තොරතුරු හුවමාරුවයි. එය වාචිකවත් අවාචිකවත් සිදු විය හැකි අතරම යහපත් සන්නිවේදනයට දෙදෙනා අතර අන්තර් සබඳතාව ඉතා වැදගත් වනු ඇත. ගැබිනි මවක් සමග තම සැමියාගේ යහපත් සන්නිවේදනය කුස තුළ වැඩෙන දරුවාට ප්‍රතිලාභ රැසක් අත් කරදෙනු ලබයි. මෙන්න මේ විදියට අම්මාගේ තාත්තාගේ ආදරය මැද්දේ කුසේ වැඩෙන පුංචි පැටියෙක්ට සති 14 පමණ වන විට ශ්‍රවණ හැකියාව ඇති වෙනවා. ඉතිං මෙන්න මෙතන ඉඳලා අම්මටයි තාත්තටයි වැඩ ටිකක් වැඩි වෙනවා. මොකද දැන් පුංචි පැටියා එක්ක කතා කරන්න ඕනේ. එයාට ඇහෙන්න ලස්සන සින්දු කියන්න මෘදු සංගීතවලට සවන් දෙන්න අම්මාට වෙලාව වෙන් කරන්න වෙනවා. අම්මාගේ කුස පිරිමැදලා තාත්තට පුළුවන් පුංචි පැටියාගේ විස්තර අහන්න. ලස්සන සිංදුවක් කියන්න. එයා ගැන තාත්තාගේ හිතේ තියෙන බලාපොරොත්තු ගැන කියන්න. මෙන්න මේ විදියට දවසින් දවස ගත වෙලා පුංචි පැටියට සති 20 සම්පූර්ණ වුණාම එයාට පුළුවන් අම්මා තාත්තාගේ, ඒ කිව්වේ එයාට ළඟින්ම ඉන්න අයගේ හඬවල් අඳුරගන්න. තාත්තා අම්මාගේ බණ්ඩියට පුංචි තට්ටුවක් දාලා කතා කරාම පුංචි පැටියත් ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. අන්න ඒ නිසාම අම්මා තාත්තා අතර වගේම පුංචි පැටියා එක්කත් හොඳ සන්නිවේදනයක් තිබීම බොහොම වැදගත් වෙනවා. 

අපේ බලාපොරොත්තු ඉටු කරන්න මේ ලෝකෙට එන මේ පුංචි පැටියා ශාරීරිකවත් මානසිකවත් යහපත් මට්ටමකින් මේ ලෝකෙට ගේන වගකීම පැවරෙන්නේ එයාගේ අම්මටයි තාත්තටයි. අන්න ඒ නිසාම අම්මාගේ පෝෂණය, වෛද්‍ය පරීක්ෂාවන්, විටමින් වර්ග ගැන දක්වන අවධානය කුසේ වැඩෙන මේ පුංචි පැටියටත් සිය දහස් ගුණයකින් අවශ්‍ය වෙන බව අම්මයි තාත්තයි වටහා ගත යුතුමයි. දරුවෙකුගේ කතන සහ භාෂා හැකියාවන් වර්ධනය කිරීමට ගැබිනි සමයේ සිටම ඔබ අවධානය යොමු කළ යුතුයි. අන්න ඒ නිසාම කුසේ ඉන්න කාලේ ඉඳලම පුංචි පැටියා එක්ක කතා බහ කරන්න අමතක කරන්න එපා. ඒ අවස්ථාව මගහරවා ගත්තොත් ඒ සුන්දර අත්දැකීම ඔබට වගේම කුසේ වැඩෙන පුංචි පැටියාටත් අහිමි වෙන බව මතක තබාගන්න. 

 

කථන හා භාෂා ව්‍යාධිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා සමග සකසන ලද ලිපියකි

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article