- Advertisement -

දරුවාගේ කතාව සහ භාෂාව වර්ධනයට අවශ්‍ය වන ලෙස නිවසේ පසුබිම සකසමු.

-

දරුවන් තුළ පවතින කථන හා භාෂා වර්ධනයේ ප්‍රමාදය වර්තමානයේ සුලබ තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම තත්ත්වය පහසුවෙන් මග හරවා ගැනීමට හැකි අතර මෙවන් තත්ත්වයන් ඇති නොවන ලෙස පසුබිම සකසා ගැනීමටත් දෙමව්පියන්ට ලෙස ඔබට කළ හැකි දේවල් බොහොමයක් පවතී.

දරුවාගේ කතාව හා භාෂාව වර්ධනය ප්‍රමාද වීමට බොහෝ හේතු බලපාන අතර ඉන් ප්‍රධානම කාරණය වන්නේ කතාව හා භාෂා වර්ධනය ට  අවශ්‍ය නිසි උත්තේජන දරුවාට නොලැබි යාමයි. එමෙන්ම, දෙමවූපියන්ගේ අධික කාර්යබහුලත්වයත් සමඟ දරුවා සමඟ නිවස තුළ ගත කරන කාලය අවම වීමත් බොහෝ විට දරුවා රැක බලා ගන්නා අයෙක්  පමණක් නිවසේ රැදීමත් නිසා භාෂා භාවිතයෙන් පෝෂිත පරිසරයක් නිර්මාණය නොවීමත් ප්‍රධාන කාරණයක් බවට පත්ව ඇත. එමනිසා, කුඩා කාලයේ සිට සන්නිවේදනයේ  යෙදීමට සිටින පිරිස අවම වීම තුළින් දරුවාට කතාව හා භාෂාව නිතර ඇසෙන පරිසරයක් නිර්මාණය නොවීමත් හේතුකරගෙන දරුවාගේ භාෂා වර්ධනය ප්‍රමාදයක් ඇති වීමට ඉඩකඩ ඇත. එමනිසා, කුඩා කාලයේදී දරුවාට භාෂාව පිරුණු පසුබිමක් නිවස තුළ නිර්මාණය කර දීම දෙමාපියන් වශයෙන් ඔබට සිදු කිරීමට හැකි ප්‍රධානම කාර්යකි. 

- Advertisement -

තවද දරුවා කුඩා කාලයේ ඉගෙන ගනු ලබන්නේ පරිසරය හා බැඳී මෙන් හා ලබා ගන්නා අත්දැකීම් තුළිනි. දෙමවුපියන් වශයෙන්  ඔබගේ ළමා කාලය සිහිපත් කළ හොත් එය ඉතාමත් සුන්දර බව බොහෝ දෙනෙක් අවිවාදයෙන් පිළිගනු ඇත. මන්ද දඟකාරකම් වලින් පිරුණු, සෙල්ලම් ගෙවල් ඇතුලේ කෝම්පිට්ටු හදපු, ගස් වැල් සමඟ ගත කරපු කාලයක් ඔබට තිබෙන්නට ඇත. නමුත් අද වැඩෙන දරුවන්ට පරිසරය හා සමඟ බද්ධ වෙමින් ඉගෙනීමේ යෙදීමට තිබෙන ඉඩකඩ සීමා වී ඇත.  එමනිසා, ඔබත් ඔබේ දරුවාට පරිසරය හා සමඟ බද්ධ වෙමින් පරිසරයේ ඇති දේ හදුනා ගැනීමට, ඒ සමඟ විවිධ නිර්මාණශීලි ක්‍රියාකාරකම් සිදු කිරීමට අවස්ථාව ලබා දීම තුළින් දරුවාගේ භාෂාව උත්තේජනය නිසි අයුරින් සිදු වීමට තිබෙන බාධා ඉවත්වනු ඇත.

තවද, අද වන විට දරුවන් දුරකතන හා රූපවාහිනී තිරය ඉදිරියේ ඉතාමත් කාර්යබහුල වී කටයුතු කිරීම සුලබව දැකගත හැකි තත්ත්වයක් වී ඇත. එමගින් දරුවාගේ චින්තනය මෙන්ම භාෂා වර්ධනයට අවශ්‍ය වන්නා වූ ඇතැම් කාරණා ගිලිහි යාමට ඉඩ කඩ පවතී. දරුවාගේ කුඩා කාලයේ ප්‍රධානම වෘත්තිය ලෙස සෙල්ලම් කිරීම සහ හඳුනාගත හැකි අතර දරුවා රූපවාහිනී තිර හා ජංගම දුරකථන තිරය ඉදිරියේ කාලය ගත කිරීමෙන් සිදු වන්නේ දරුවාගේ කුඩා කාලයේ වෘත්තිය ද වෙනස්කමක ට ලක්වීමයි. එමනිසා ඔබේ දරුවා ජංගම දුරකථන හා රූපවාහිනී තිරය ඉදිරිපත් ඉදිරිපිට කාර්ය බහුල වී සිටී නම් ඒ වෙනුවට ආදේශක හඳුන්වාදීම තුළින් දරුවාගේ කතාව හා භාෂාව වර්ධනයට අවශ්‍ය ලෙස ඔබගේ නිවසේ පසුබිම සකස් කර ගැනීමට හැකියාව පවති. ඒ සඳහා ආදේශක ලෙස ඔබට දරුවාට විවිධ වූ ක්‍රියාකාරකම් හඳුන්වාදීම, විවිධ වූ සෙල්ලම් බඩු හඳුන්වාදීම හා සෙල්ලම් කිරීම, දරුවා අධ්‍යාපනික ක්‍රියාකාරකම් තුළ නිරත කරවීම, දරුවා ට කතන්දර/ගීත කියා දීම හා ඒ ඇසුරෙන් ප්‍රශ්න ඇසීම මෙන්ම තිර වෙනුවට ආකර්ශනීය පොත පත හදුන්වා දීම ත් සිදු හැකි ය.

තවද, දරුවන් සෙල්ලමේ යෙදීම තුළින් බොහෝ අත්දැකීම් ලබා ගනිති.  ඒ තුළින් ඔවුන් භාෂාව වර්ධනය කර ගන්නා බව අද වන විට සොයාගෙන ඇත. එමනිසා, දරුවාගේ වයස ට සරිලන ලෙස සෙල්ලම් බඩු තෝරා ගැනීමත් දරුවා සමඟ සෙල්ලම් බඩු ආශ්‍රය කරගෙන සෙල්ලම් කිරීමත් ඒ තුලින් සන්නිවේදනයේ යෙදීමත් ඔබට සිදු  කිරීමට හැකියාව පවතී.

නිවස තුළ භාෂා දෙකක් භාවිතා කිරිම කථන හා භාෂා වර්ධනය ප්‍රමාදයට හේතුවක් බව බොහෝ දෙනා සැලකුවත් නිසි ලෙස කතාව හා භාෂාව වර්ධනය වන දරුවෙකුට එය ගැටලුවක් නොවන බව වර්තමානයේ පිළිගන්නා කරුණකි. එම නිසා දරුවා හට එක හා සමාන මට්ටමින්  භාෂා දෙකේම උත්තේජන ලබා දීමට ඔබට හැකියාව පවති නම් නිවස තුළ භාෂා දෙකක් භාවිතා කිරීම ගැටළුවක් නොවනු ඇත. නමුත් දැනටමත් ඔබේ දරුවාට කතාව හා භාෂා වර්ධනයේ ප්‍රමාදයක් පවතී නම් භාෂා දෙකක් භාවිතා කිරීම පිළිබඳ කථන හා භාෂා චිකිත්සකවරයෙකුගෙන් විමසා උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ.

 

 කථන හා භාෂා චිකිත්සක සජිනි පෙරේරා මහත්මිය විසිනි. 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article