- Advertisement -

පොඩ්ඩන්ගේ ආහාර මේ විදිහට පිලියෙල කරමු..

-

දරුවන්ට කවන්න පොවන්න දෙමව්පියන් බොහොම උනන්දුයි.ඒ වුනත් අම්මාට අවශ්‍ය විදිහට කන්න බොන්න පොඩ්ඩා සූදානම් නැහැ.රසට,ගුණට උයල පිහලා දුන්නත් දරුවා ඒ ගැන උනන්දු නැහැ.අන්තිමේදී අම්මයි පොඩ්ඩයි හැලහැප්පිලා කෑමත් අවසානයි. අම්මාටත් තරහ යනවා..පොඩ්ඩා කන්නෙත් නැහැ.අම්මාගේ හිතේ තවත් කනස්සල්ලක් ඉතිරි වෙනවා.ඒ විතරක් නොවෙයි…දරුවාට පෝෂණය නැති වීම නිසා විවිධ ගැටළු ඇති වෙන්නත් පුලුවනි.ඉතින් අම්මයි, පොඩ්ඩයි ගැටුමක් නැතුව කන බොන දේ සකස් කර ගන්න බැරිදි..? 

වෙනස් විදිහට උයන්න…

- Advertisement -

පොඩ්ඩන්ට එකකාරව ආහාර පාන ලබා දෙන විට එපා වීමක් ඇති වෙනවා. හැමදාම එකම රසය..එකම විදිහ..ඉතින් පොඩ්ඩා ඉවසන්නේ නැහැ.ඒ නිසා දවස් තුන්සිය හැට පහේම එකම රටාවට උයන බත ටිකක් වෙනස් කරන්න. බතට එළවලු ටිකක් එකතු කරලා වර්ණවත් කරන්න. එහෙම නැත්නම් බිත්තරයක් සහ කහ ටිකක් එකතු කරලා ලස්සන කහ පැහැයක් ගන්වන්න.අද කාලයේ වගේ ආහාර පිසින කලාව ගැන දැනුම් තේරුම් නැති වුනත් අම්මලා බීට් යුෂ එකතු කරල බත් වර්ණවත් කලා. එදාට අපි වුනත් බොහොම උනන්දුවෙන් බත් කෑවා. අද ලෝකය ඊට වඩා බොහොම ඉදිරියෙන් සිටින නිසා අම්මලාට රස කාරක ,වර්ණ කාරක නැතුව ලස්සන රටාවකට බත් පිසින්න පුලුවනි‍.

සමහර විට පොඩ්ඩා බත් කෑම දරුණු විදිහට ප්‍රතික්ෂෙප කරනවා නම් නූඩ්ල්ස්, පැස්ටා වැනි දේවල් ආහාරය වෙනුවෙන් ලබා දෙන්නත් පුලුවනි. ඒ වෙනුවෙන් හොඳින් එළවළු සහ ප්‍රෝටීන එකතු කරන්නත් පුලුවන්.ඒ නිසා බත් දෙන අතරවාරයේ මෙවැනි ආහාර මගිනුත් දරුවාගේ පෝෂණය ලබා ගන්න පුලුවනි. හැබැයි රසකාරක නොව හොඳාකාර එළවළු සහ මස්, මාළු නම් එකතු කිරීම වැදගත්.

සංයෝගත් වැදගත්..

පොඩ්ඩන්ගේ දිව රවටන කලාවත් අම්මා දැන සිටීම වැදගත්.ඒ නිසා ව්‍යංජන වෙනුවෙන් යම් යම් දේවල් කලවම් කරන්න පුලුවනි. පරිප්පු පිසින විට නිවිති සාරණ වගේ දේවල් එකතු කරන්න පුලුවන්. දෙල් වැනි දේ  පිසින විට නිවිති, දෙහි යුෂ එකතු කිරීමෙන් එහි උෂ්ණය මැකෙනවා. ඒ විතරක් නොවෙයි, කිසිම දවසක මඤ්ඤොක්කා වසා තම්බන්න එපා.ඒ වගේම මඤ්ඤොක්කා පිසින විට මුරුංගා කොළ එකතු කිරීමෙන් එහි විස ගතිය නැති කර ගන්නත් පුලුවනි.මැල්ලුමක් පිළියෙළ කරද්දි පොඩ්ඩා ගොටුකොළ වර්ජනය කරනවා නම් පලා වර්ග කීපයක් එකතු කරල කලවම් පලාවක් සාදා දෙන්න.ඒ වෙනුවෙන් ගොටුකොළ විතරක් නොවෙයි, මුකුනුවැන්න, කතුරු කොළ ටික්ක, කූර තම්පලා එකතු කරන්න. රසයේ වෙනස නිසා පොඩ්ඩාගේ විරෝධය නවතී.

උත්සව අවස්ථාවකදී පෝෂණය දෙන්න..

අපේ නිවසේ උත්සව අවස්ථාවක් තිබෙනවා නම් එතැනදී පවුලේම පෝෂණය තියෙන්නෙත් අම්මා අතේ. අදටත් උත්සවයක් වෙනුවෙන් කිරිබත වරදින්නේ නැහැ.හින්දු සංස්කෘතියේදී පොංගොල්බත, මුස්ලිම් බැතිමතුන් පිළියෙළ කරන බත පෝෂණයෙන් ඉහලයි.ඒ වගේම අතීතයේදී හත්මාළුව ඉතාම ජනප්‍රියයි.අදටත් පහතරට පලාත්වල සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් හත්මාළුව පිලියෙල කරනවා.ඉතින් මේ උත්සව අවස්ථාවන්හි පිලියෙළ කරන ආහාර වුනත් දරුවාට සකස් කර දෙන්න අම්මාට අවසරය තිබෙනවා. 

පුංචි උදරාබාධයක් ඇති වෙලාවට..

සමහර අවස්ථාවල දරුවන්ට වගේම නිවසේ වැඩිහිටියන්ටත් ආහාර අරුචිය,අජීර්ණ තත්වයන් ඇති වෙන්න පුලුවනි. එවැනි අවස්ථාවලදී තැම්බුම් හොද්දක් වගේ දෙයක් සකස් කර දෙන්නත් අම්මාට පුලුවනි.

සුප්..

පොඩ්ඩන්ට ඉඳහිටවත් සුප් කෝප්පයක් දෙන්න බැරිකමකුත් නැහැ. යහමින් එළවලු එකතු කර ගෙන කැමැත්තේ හැටියට මස් ,මාළු එකතු කර ගෙන සකස් කර ගන්න සුප්වලට දෙහි යුෂ එකතු කරගත්තාම අපුරු රසයක්.ඒ වගේම පෝෂණය හොදින් අවහෝෂනය කර ගන්නත් පුලුවනි.දැන් කාලයේ ප්‍රෙෂර් කුකර් හැම නිවසකම තිබෙන නිසා අම්මාට ගත වෙන්නේ එළවලු සුද්ධ කරන සහ කපන කාලය පමණයි.

කැඳ

පුංචිම අයට බත් කැඳ වගේම සාමාන්‍ය වයසේ දරුවන්ටයි වැඩිහිටියන්ටයි කොළ කැද ලබා දෙන්න එතරම් අපහසුවක් නැහැ.කැඳ පිළියෙළ කරන විට පාරම්පරික සහල් යොදා ගැනීමත් ඉතාම වැදගත්.බත් තලප දෙන වයසේ අයට නිවුඩු සහිත සහල්වලින් බත් තලපය හසා ගන්න වගේම ඉදෙන බතෙන් කැඳවතුර ටිකක් පෙරා ගන්නත් හැකියාව තිබෙනවා. 

සලාද වර්ග

අමු එළවලු වර්ග යොදා ගෙන විවිධ සලාද සකස් කර ගන්න පුලුවනි.තක්කාලි, බීට්රූට්, කැරට් , බිත්තර එකතු කර ගෙන එයටම සලාද කොළ කීපයක් එකතු කළ විට ප්‍රසන්න පෙනුමක් තිබෙනවා.එය දරුවාට ආකර්ශණීයයි.

අතුරුපස

ප්‍රධන ආහාරවේලට පසුව දරුවාට කෙසෙල් ගෙඩියක්, පේර කැබැල්ලක් කවන්න අපහසුනම් කදිම විසදුමක් තිබෙනවා.පළතුරු වර්ග කීපයක් සංයෝග කර ගෙන සැලඩ් එකක් සකස් කර ගන්න.

සැරසිලි තිබුනොත් අගෙයි..

දරුවන්ට ආහාර සරසලා දෙන්න ඔබට පුළුවනි. ඒ වෙනුවෙන් ලොකු වෙහෙසක් නැහැ. ඔබට බත් කෝප්පයක් ගෙන එය කෝම්පිට්ටුව සේ පිඟානක මුනින් නවා එහි බිත්තර පලු වලින් ඇස් තබන්න. කැරට් පලුවක් ගෙන කට ලෙසින් සරසන්න. බත් කෝප්පයෙන් මිනිස් හැඩ රුව මවන්න. දරුවාට එය මහත් ආකර්ශනයක් ඇති කිරීමට පුලුවන්.

ඔබ ජපානය, කොරියාව වැනි ආසියාතික රටවල දරුවන්ට ලබා දෙන ආහාරවේලක තිබෙන වර්ණවත් බව දැක තිබෙනවාද..?වර්ණවත්බව නිසා ආකර්ශනය වගේම තවත් අතකින් පෝෂණය ලැබෙන අන්දමින් ඔවුන් මේ ආහාර රටාව සකස් කරනවා. ”හරි පුදුම ඉස්කෝලේ ” පොත කියවන විටත්  ගුරුතුමා පාසල් දරුවන්ගේ දිවා ආාහරය මාලු සහ එළවලුවලින් ඉතා අපුරුවට සංයෝග කළ ආකාරය ඔබට මතක ඇති.

ප්‍රධන ආහාර වේලට පෙරාතුව අතිරේක ආහාර එපා.

දරුවන්ගේ බන්ඩියෙත් ලොකු ධාරිතාවයක් නැහැ.ඒ නිසා ප්‍රධාන ආාහර වේල ලබා දීමට ආසන්නයේදී කිරි, බනිස් වැනි අතිරේක ආහාර ලබා දෙන්න එපා. බබාට බඩගිනි නම් ප්‍රධාන ආහාරවේල ඉක්මනින් ලබා දෙන්න

නිතරම තරහ සිත් එපා

දරුවා ආහාර ප්‍රතික්ෂෙප කරන හැම වඅස්ථාවකදීම අම්මා කේන්ති ගත යුතු නැහැ. සමහර විට දරුවාගේ උදරාබාධයක්, ඒවගේම අලුතෙන් දත් එන විට ඇති වෙන අපහසුතාවය නිසා දරුවා ආහාර එපා කියනවා නම් කෝටුව ගන්න සූදානම් වෙන්නත් එපා.

  • මෙහෙම ප්‍රශ්නයකුත් තිබෙනවා…

පුංචි කාලයේදී කාපු සමහර දේවල් දරුවා වැඩිහිටි වයසේදී ප්‍රතික්ෂෙප කරනවා. ඒ වගේම ඒ කාලයේදී ආහාරයට නොගත් ආහාර ගැන දැන් දරුවාගෙන් ඉල්ලුමක් ලැබෙන්න පුළුවනි මේ තත්වය වැඩිහිටි අපටත් පොදුයි. ඒකටත් හේතුවක් තිබෙනවා. අපේ දිවේ තිබෙන රස අංකුර අවුරුදු හතෙන් හතට වෙනස් වෙනවා. ඉතින් ඉස්සර කාපු දේ එපා කියන එකත්, ඉස්සර එපා කියපු දේ දැන් අවශ්‍යයි කීමත් පුදුමයක් නොවෙයි..

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article