කාන්තාවක් කියන්නේ කැපවීම් අත්හැරීම් වේදනාවන් සතුට හැමදේම දරාගෙන ජීවිතයට මුහුණ දෙන උසස් චරිතයක් කිව්වොත් වඩාත් නිවැරදියි. ස්වභාවිකවම ලොව වේදනාත්මකම අත්දැකීම විදියට සලකන දරු ප්‍රසූතිය පවා කාන්තාවට හිමි වෙන්න ඇත්තේ ඇය තුළ ඇති මේ දරා ගැනීමේ හැකියාව සුවිශේෂී නිසා විය හැකියි. ඉතිං එවන් වූ කාන්තාව මුළු ජීවිතය පුරාම නිදුක් නිරෝගීව සිටිය යුතුමයි.
ඒත් යම් යම් රෝග තත්ත්ව නිසා ඇතැම් කාන්තාවෝ පීඩා විඳිනවා සේම සමාජයට අවතීරණ වෙන්නත් බියෙන් පසුවෙනවා. එහෙමත් නැත්නම් අපහසුතා බොහොමයක් සමගින් ජීවත් වෙනවා. හැබැයි ඔවුන් පීඩාවට පත්ව සිටින ඇතැම් රෝග තත්ත්ව නිවැරදි උපදෙස් හා මගපෙන්වීම් යටතේ තමාටම මඟහරවා ගැත හැකි බව ඔවුන් දන්නේ නැහැ.
බොහෝ කාන්තාවන් සඟවා ගෙන සිටින රෝග තත්ත්වයක් ලෙස හඬ නඟා සිනාසෙද්දී, කිවිසුමක් කැස්සක් ඇති වූ විට නොදැනුවත්ම මුත්‍රා පිටවීම හෝ හදිසියේ (Urge) පාලනයකින් තොරව මුත්‍රා පිටවීම, දැකිය හැකිය. මෙසේ මුත්‍රා පිටවීමේ පාලනයක් නොමැතිකම නිසා ඇතැමුන් පැය විසිහතර පුරාම සනීපාරක්ෂ තුවා භාවිත කරනවා. තවත් කෙනෙක් වතුර පානය කිරීම අවම කරනවා. සාමජයට යොමු වෙන්නේ නැහැ. මේ ගැටලුව නිසා ශාරීරිකවත් මානසිකවත් පීඩාවට පත්ව සිටින බොහෝ කාන්තාවන් සිටිනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන.
මේ තත්ත්වයට හේතුව තුමක්ද?
යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්ති තුළින් මුත්‍රාශය යෝනි මාර්ගයට තුළට නෙරා ඒම මෙයට හේතුවයි. මුත්‍රාශය පහත් වීම ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙය වෛද්‍ය විද්‍යාවේදී ”Cystocele” ලෙස හඳුන්වනවා. මෙය සුළු තත්ත්වයක සිට තීව්‍ර තත්ත්වය දක්වා වර්ගීකරණය කෙරෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස
- කැස්සකදී කිවිසුම් යාමේදී හඬ නඟා සිනාසෙන විට හෝ ඇතැම් වි එදිනෙදා ක්‍රියාවන්හිදී මුත්‍රා කාන්දු වීම
- හදිසියේ (Urge) පාලනයකින් තොරව මුත්‍රා පිටවීම
- මුත්‍රා පිටවන වාර ගණන (Frequency) වැඩිවීම
- මුත්‍රා පිට කිරීම ආරම්භ අපහසු වීම හා පිටවීමේ වේගය අඩුවීම
- සම්පූර්ණයෙන් මුත්‍රාශය නිදහස් කිරීමට නොහැකි වීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා.
එසේම මුත්‍රාශය නෙරා ඒමට හේතු වන්නේ
- ගර්භණී බව හා දරු උපත්
- වයස්ගත වීම
- ස්ථූලතාව
- දීර්ග කාලීන බර එසවීමෙහි යෙදීම
- මලපහ පිටකිරීමේදී තැටමීම
- දීර්ග කාලීන කැස්ස
- ගර්භාෂය ඉවත් වීම වැනි ශ්‍රෝණිය ආශ්‍රිත සැත්කම් ආදියය.
මේ රෝග තත්ත්වවලට විසදුමක් නැද්ද?
භෞත චිකිත්සක ප්‍රතකාර ක්‍රම හමුවේ මේ තත්ත්වයට සුදුසු ක්‍රමවේද තිබෙනවා. ඒ අතර කේගල් ව්‍යායාම, ශ්‍රෝණි ස්ථායිකරණය (pelvic stabilization), උදර මාංෂ පේශී ශක්තිමත් කරන ව්‍යායාම (abdominal strength exercises), විද්‍යුත් ප්‍රතිකාර ක්‍රම, උපකරණ (Vaginal cones) යොදාගනිමින් සිදු කරන ප්‍රතිකාර ක්‍රම ඇතුළුව සාර්ථක ප්‍රතිකාර ක්‍රම පෙන්වා දිය හැකියි.
මෙවැනි තත්ත්වයේ සිටින කාන්තාවට ප්‍රතිකර ආරම්භ කරන්නේ කොයි ආකාරයෙන්ද?
අපි මූලිකවම කාන්තාවගේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබාගන්නවා. ඒ කියන්නේ තත්සේරුවක් (Assessment). මෙහිදී ඇයට ප්‍රතිකාර ඇරඹීමට දින තුනකට පෙර දින පොතක සටහන් තබන ලෙස අපි මූලිකව උපදෙස් ලබා දෙනවා. දිනකට පානය කරන වතුර ප්‍රමාණය වගේම පිටකරන මුත්‍රා ප්‍රමාණයත් ඒ වේලාවන් සමග ඇය සටහන් කළ යුතුයි. මෙතැනදී ඇය විසින් සකසන මේ වාර්තාව පරීක්ෂා කොට රාත්‍රී නින්දේදී මුත්‍රා පිට වෙනවාද යන්න නිරීක්ෂණය කරනවා. මෙහිදී ඇය යම් මානසික පීඩාවකින් සිටිනවා ද යන්න පිළිබඳවත් නිගමනය කළ හැකියි. ඒ වගේම පානය කරන වතුර ප්‍රමාණයට සමානව පිට කරන මුත්‍රා ප්‍රමාණය නිවැරදිද යන්නත් අපි නිරීක්ෂණය කරනවා. ඒ අතර ව්‍යායාම අරඹනවා. මූලිකවම මෙවැනි කාන්තාවන් අපි යොමු කරන්නේ කේගල් ව්‍යායාම වෙතටයි.
කේගල් ව්‍යායාමයේ ඇති වැදගත්කම කුමක්ද?
ගැබිනි සමයේදීත් ප්‍රසූතියෙන් පසුවත් එතැන් පටන් ජීවිත කාලය පුරාවටම විශේෂයෙන්ම කාන්තාවකට වැදගත් වන ව්‍යායාමයක් විදියට කේගල් ව්‍යායාමය හඳුන්වන්න පුළුවන්. එසේම කාන්තාවන්ට පමණක් නොවෙයි පුරුෂ පාර්ශවයටත් මේ ව්‍යායාමය ප්‍රයෝජනවත්. කේගල් ව්‍යායාමය මුත්‍රාශය යෝනි මාර්ග වගේම ගුද මාර්ගය ආශ්‍රිත මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාමයක්. විශේෂයෙන්ම ප්‍රසූතියෙන් පසුව යෝනි මාර්ග ආශ්‍රිත තුවාල ඉක්මනින් සුව වෙන්නත් මේ කේගල් ව්‍යායාමය වැදගත් වෙනවා. නමුත් මෙවැනි රෝග තත්ත්ව බහුලව ඇති වන්නේ කාන්තාවන්ට නිසා කේගල් ව්‍යායාමයට බහුලව යොමු වෙන්නෙ කාන්තාවන් කිව්වොත් වරදක් නැහැ.
කොහොමද මේ කේගල් ව්‍යායාම සිදුකරන්නේ?
මූලිකවම වැදගත් වෙන්නේ අපි මේ ව්‍යායාමය සිදුකරන්නේ කුමන මාංෂ පේශියටද යන්න පිළිබඳව දැනුවත් වීමයි. ඒ සඳහා අප වෙත එන රෝගීන්ට උපදෙස් දෙනවා මුත්‍රා පිටකරන අවස්ථාවේදී ක්ෂණිකව නතර කර තද වන මාංෂ පේශිය හඳුනා ගන්නා ලෙස දැනුවත් කරනවා වගේම යෝනි මාර්ගය තුළට ඇඟිල්ලක් ඇතුළු කොට එහි මාංශ පේෂී සංකෝචනය සහ ලිහිල් වන ආකාරය දැනීමට සලස්වයි. අප ව්‍යායාමය ලබා දිය යුතු වන්නේ අදාල මාංෂ පේශිය වෙතටයි. කේගල් ව්‍යායාමයට යොමු වෙද්දී නම් මුත්‍රා පිට කරන අවස්ථාවේදී ව්‍යායාමයේ නොයෙදිය යුතු බවත් මුත්‍රාශය හිස්ව තිබියදී පමණක් ව්‍යායාමයේ යෙදිය යුතු බවත් හොඳින් සිහිතබාගත යුතුයි. මුත්‍රා පිට කිරීමේදී අපි ක්ෂණිකව එය නතර කරන ලෙස උපදෙස් ලබාදුන්නේ ව්‍යායාමය සිදුකළ යුතු පේශිය හඳුනා ගැනීම සඳහාම පමණයි.
කේගල් ව්‍යායාමයේදී සිදුවන්නේ යෝනි මාර්ගය අකුලා උඩට ඔසවා තත්ත්පර 8ක් වැනි කාලයක් රඳවා ගැනීමයි. එහිදී සෑම වාරයකට වරක්ම විවේක කාලයක් ලබාගැනීම අනිවාර්ය වේ. වායාමය දිනකට තුන්වරක් වරකට 10වරක් ලෙස සිදුකළ යුතුයි. එසේම මෙම ව්‍යායාමය කාලය අඩු කරමින් (තත්ත්පර 3ක් වැනි කාලයකින්) ක්ෂණිකව කිරීමට හුරු විය යුතුයි.
කාන්තාවක් කේගල් ව්‍යායාමයට මාස හයක පමණ කාලයක් යොමු විය යුතු අතරම එහිදි මුත්‍රාශයට ගැටලු නොවන ආකාරයේ ආහාර වර්ග හඳුන්වා දීම, ලිංගිකව එක්වීමේදී වේදානාකාරී නම් ඒ සඳහා සුදුසු ලිංගික ඉරියව් හඳුන්වා දීම ඉන්ද්‍රියයන් පහත් වී ඇතිද යන කරුණු ගැන සැලකිලිමත් වෙනවා.
එසේම රෝග තත්ත්වය සුව අතට හැරී ඇත්ද යන්න දැන ගැනීම සඳහා නැවතත් දින තුනක දින පොතද, මුත්‍රා පිටකරන විට ක්ෂණිකව එය නතර කොට කාන්දු වීමක් ඇත්දැයි පරීක්ෂා කිරීම ද සිදුකරනු ඇත. එසේ කාන්දු වීමක් නොමැති නම් රෝගය සුව අතට හැරී ඇති බව කිව හැක. මෙම තත්ත්වය තීව්‍ර වීමට පෙර ආරම්භයේදීම භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නම් සැත්කමකින් තොරව මෙම තත්ත්ය සුව කරගත හැකිය.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ප්‍රධාන භෞත චිකිත්සක නිලධාරිනි,කාසල් වීදිය කාන්තා රෝහල,කොළඹ 08