දරුවන් අතර සහජීවනය ගොඩ නගන්න.

Happy children with piggyback riding in sunset light. Girls laugh. Friendship concept .

පවුලක් වුනාම අඹු සැමියන් අතර වගේම දරුවන් අතරත් සමගියක් පවත්වා ගැනීම ඉතාම වැදගත්. අද සමහර දෙමව්පියන් අතර සමගිය සාමදානය උපරිමව තිබුනත් දරුවන් අතර සහජීවනයක් නොමැති නම් ඒ පවුල සැබැවින්ම ප්‍රසන්න පවුලක් නොවෙයි. එහෙමනම් පවුලේ දරුවන් අතර සමගියක් වගේම සහජීවනයක් පවත්වා ගන්නේ කොහොමද…?

පුංචි කාලයේ පටන්ම විය යුතුයි.

දරුවන් අතර සහජීවනය හෙවත් එකිනෙකා සමග සමගියෙන්,සාමයෙන් කටයුතු කිරීමේ පුරුද්ද ඔවුන්ගේ බාල කාලයේ පටන්ම ගොඩ නැගීම ඉතාම වැදගත්.විශේෂයෙන් පවුලක දරුවන්ගේ ආගමනය වැඩි වීම සමග වැඩිමහල් දරුවන් වෙනුවෙන් පැවැති අවධානය නොදැනීම නැති වෙනවා. ඒ තත්වය නිසාම වැඩිමහල් දරුවන් හිතන්නේ තමන්ගේ නංගී එහෙම නැත්නම් මල්ලිගේ ආගමනය නිසා නිවසේ තමන් වෙනුවෙන් තිබුන පිලිගැනීම සහ අවධානය අහිමි වූ බවයි. ඒ නිසා දරුවන් කී දෙනෙක් සිටියත් ඒ සෑම දරුවෙක් වෙනුවෙන් සමාන ආදරයක්, අවදානයක් දැක්වීම ඉතාම වැදගත් වෙනවා.

අක්කාට..මල්ලිට..නංගීට..අයියාට වැඩ සීමා කරන්න එපා..

අද බොහෝ දරුවන් අතර දකින්න ලැබෙන්නේ දැඩි බෙදීමක්.ගෙදරක් අතු ගාන්න කිව්වොත් එය අක්කාට අයිති වැඩක්.නිවසේ ඇති කරන බලු පැටියාට ආහාර ටිකක් දෙන්න කිව්වොත් එය අයියාගේ වැඩක් විදිහට දරුවන් විසින්ම ලේබල් කර ගන්නවා. නමුත් එය නොකල යුත්තක් බැව් දරුවන්ට ආදරයෙන් කියා දෙන්න.එක වහලක් යට ජීවත් වෙන එකම බතක් බුදින දරුවන් අතර වැඩ වෙනුවෙන් සීමාවන් පනවා ගැනීම එතරම් සුබවාදී නොමැති බැව් කාරුණිකව පහදා දෙන්න.

තමන්ගේ වැඩ පමණක් නොව සහෝදරයන්ගේ වැඩටත් උදව් වෙන්න.

බාලකාලයේ පටන්ම තමන් පමණක් නොව සහෝදරයන් වෙනුවෙනුත් උදව් කිරීමේ කලාව දරුවන්ට හුරු කරන්න.පවුලක් කියන්නේ එක් කෙනෙක් නොවන බව ඒත්තු ගැන්වීම ඉතාම වැදගත්.පවුලක් තුළ හැම දෙනාම එක සේ සංවර්ධනය වීම වැදගත් බැව් දරුවන්ට කියා දෙන්න. එකම මව්කුස උපන්නත් ඇතැම්  අවස්ථාවලදී දරුවන් අතර පවා ඇත්තේ තරඟයක්.පංතියේ වැඩකටයුතුවලදී වුනත් කැපී පෙනෙන සේ වැඩ කිරීම මිසක බාල දරුවන්ට උදව් කිරීමේ සහෝදරකම් අද දකින්නටත් නැති තරම්.හදිසියකටවත් බාල දරුවෙකුගේ අධ්‍යාපනයට උදව් නොකරන සහෝදරයන් ගැන අත්දැකීම් ඔබටත් ඇති.උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන වැඩිමහල් දරුවෙකුට සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබන බාල සහෝදරයෙකුගේ ගණිත දුර්වලතාවයකට උදව් කිරීමේ හැකියාව තිබුනත් කිසිසේත්ම උදව්වක් වෙනුවෙන් සූදානම් නැති සහෝදරයින් ඕනෑ තරම් සිටිති.

අපට කවුරුත් උදව් කලේ නැහැ. පංතියේ කියලා දෙන දේ තමා මමත් ඉගෙන ගත්තේ….කියන දූ පුතුනුත් සිටින බැව් කනගාටුවෙන් වුනත් දැන ගැනීම වැදගත්.

පුංචි පුංචි වගකීම් ලබා දෙන්න.

අද බොහෝ පවුල්වල වගකීම් ඇත්තේ දෙමව්පියන්ට පමණයි.දරුවන් බොහොම සැහැල්ලුවෙන් කල් ගෙවන අතර දෙමව්පියන් අනවශ්‍ය විදිහටත් වගකීම් මත පැටලී මානසිකවත් මහත් සේ වෙහෙසට පත්ව සිටිති. ඒ නිසා දරුවන්ටත් යම් යම් වගකීම් පවරා දෙන්න.

  • උදේට අක්කාට නැගිටින්න එලාම් එක තියන්න..
  • නංඟීගේ අල්මාරිය අස් කර ගන්න උදව් වෙන්න.

මේ අන්දමින් දරුවන්ගේ වයසට අනුව ඔවුන්ටත් කළ හැකි යම් යම් කටයුතු වෙනුවෙන් ඔවුනොවුන් අතර උදව් කිරිමේ පුරුදු ගොඩ නගන්න. එවිට දරුවන් අතර නොදැනීම සහජීවනයක් ගොඩ නැගෙනු ඇත.

දරුවන් අතර සහජීවනය ගො නගා ගැනීමේ වාසි තිබෙනවාද..?

  • වැඩට හුරුවක් ලැබෙනවා

ඇත්තටම තිබෙනවා.බාල කාලයේ පටන්ම නිවසේ ඔවුනොවුන් අතර සිදු වෙන සහයෝගය නිසා දරුවන්ට යම් යම් කටයුතු ගැන හුරුවක්  ලැබෙනවා.ඒ නිසාම හදිසියේවත් දෙමව්පියන්ට දරුවන්ගේ කටයුතු මග හැරී ගියත් දරුවන් විසින් ඒ කටයුතු ඉටු කර ගනු ඇත.උදාහරණයක් ලෙස කිවහොත් අම්මා අසනීප වූ දිනක රාත්‍රි පාඩම් කරන අයියා වෙනුවෙන් ආහාරපාන සකස් කිරීම වගේම අම්මා නිවස පැමිණීමට ප්‍රමාද වෙන විට බාල දරුවන් වෙනුවෙන් ආහාරපාන සකස් කර දෙන්නට තරම් සංවේදී සහෝදර පුරුක් මේ නිසා ගොඩ නැගෙනු ඇත.

  • අනාගත පවුල් ජීවිතයට පෙර හුරුවක්

බාල කාලයේදී තම සහෝදරයන් වෙනුවෙන් උදව් කරමින් ජීවත් වෙන සහෝදරයන් අනාගතයේදී සිය පවුල් ජීවිතයේදී පවා බිරිඳ සමග මනා සහයෝගයකින් කටයුතු කරන දයාබර සැමයෙකුගේ චරිතය වර්තමානයේ පටන්ම ගොඩ නගා ගනු ඇත.

  • පවුලට ආශිර්වාදයක්

පවුලක් තුළ සහෝදරයන් අතර ඇති සහජීවනය නිසා ඒ පවුලට ඇති ශක්තිය සැබැවින්ම ආශිර්වාදයක් යැයි කිවහොත් එයද සත්‍යකි.එකිනෙකා අතර කලකෝලාහල නැති මේ සහෝදර බන්ධනය පවුලට ශක්තියකි.දෙමව්පියන්ට සැනසීමකි.

ඒ නිසා බාල කාලයේදී දරුවන් අතර පුංචි පුංචි හෝ පංගු කිරීම් ඇත්නම් ඒවා සමග දරුවන්ට උස් මහත් වීමට ඉඩ නොදෙන්න.මේ අන්දමින් තමන්ගේ සහෝදරයන්ට වෙනස්කම් කිරීම වෙනුවට ඔවුන් සමග ආදරයෙන්,කරුණාවෙන් කටයුතු කරමින් සහජීවනය ගොඩ නගා ගැනීමේ වැදගත්කම කියා දෙන්න. අද එහොම වුනාට හෙට හරියාවි යැයි සිතනවාට වඩා අද දකින වරද අදම නිවරැදි කිරීම වඩාත් යෝග්‍ය බැව් අමතක කරන්න එපා.

 

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here